ජේසු බිලින්දා..... සාමේ රජින්ද......

 ජේසු බිලින්දා..සාමෙ රජින්දා...

" චූටි ඔහොම ඉන්නව.. " ෂේන් ගෙට එද්දිම මමී කෑගහනව ඇහුනම ෂේන් එහෙමම නැවතුනා..

"ඇයි මමී.. "ෂේන් බයෙන් බයෙන් ඇහුව..

"අදත් ගියාද අර එහා වත්තෙ හිඟන පැටිය එක්ක සෙල්ලම් කරන්න.." මමී ඇහුවෙ ෂේන්ගෙ කනත් මිරිකල... ෂේන්ගෙ පුංචි බෝල ඇස් දෙකේ කඳුළු පිරුණ...

"ඒකගෙ අප්ප අපිට කරන්නෙම හතුරුකම්.. ඒ පොඩි ඉඩම් කෑල්ල අපිට විකුනල ඔතනින් මකබෑවුනානම් අපේ ගෙට මොන තරම් වටිනාකමක්ද ඒකෙන් එ⁣න්නෙ.. වෙන මොකුත් නෙමෙයි ඉරිසියාව.. ආයෙ එහෙම ඒ කොල්ල එක්ක සෙල්ලමට ගියොත් මම ඔයාව හොස්ටල් නවත්තනව.."

ෂේන් කියන්නෙ ඒ පැත්තටම හිටපු ලොකුම පෝසතාගෙ එකම පුතා.. ෂේන්ලගෙ ගේ තිබුන ඉඩමට යාබඳ ඉඩමෙ හිටියෙ බයිසිකල් ගරාජක් කරගෙන පවුලෙ වියදම හොයාගත්ත ගොඩාක් දුප්පත් පුංචි පව්ලක්.. ඒ ගෙදරත් හිටිය ෂේන්ගෙම වයසෙ හුරුබුහුටි කොලු පැටියෙක්... එයා විරාජ්..

"පුතා... පුතූ... "

"ඇයි අම්මා..." විරාජ් දොරෙන් කුස්සියට ඇවිත් අම්මගෙන් එහෙම ඇහුවෙ දාඩිය පෙරාගෙන..

"අදත් ගියාද පුතා අර ෂේන් බේබි එක්ක සෙල්ලම් කරන්න.." අම්ම එහෙම අහද්දි විරාජ් බිම බලාගෙන ඔළුව කසන්න ගත්ත..

"මම ඔයාට කොච්චරවත් කියනව එ් ළමයා එක්ක සෙල්ලමට යන්න එපා කියල.. ඒ මහ මිනිස්සු අපි එක්ක තරහින්නෙ ඉන්නෙ අපි මේ ඉඩම් කෑල්ල ඒ මිනිස්සුන්ට විකුණන්න අකමැති උන එකට.. ඒ හින්ද ආයෙ ගිහින් මට අහුවෙන්න නම් එපා පුතේ.." විරාජ්ගෙ අම්ම කියවන් ගියා..

එහෙමයි කතාව ගියෙ ගෙවල් දෙකේ..

ඒත් ඉතිං මේ පැටව් දෙන්නගෙ යාළුකමට නම් ඒක බාධාවක් උනේ නෑ..

"නත්තලුත් ලඟයි නේද ෂේන්.. "

"ආාා ඔව් විරාජ්.. මේ පාර නත්තලට අපේ ලොකු මමීලත් එනවලු ලංකාවට.. මට නම් අපේ පප්ප ලොකූ ගවලෙනකුයි ලොකූ නත්තල් ගහකුයි ගෙනත් දෙනව කිව්ව කඩෙන්.. අපේ ගෙදර එදා රෑට ලොකූ පාර්ටි එකක් දානව කියල පප්පා කීවා.." ෂේන් කියවන්නෙ ඇස්දෙකත් ලොකු කරන්..

"එතකොට ඔයාල පල්ලියෙ පූජාවට යන්නෙ නැද්ද.." විරාජ් ඇහුවෙ පුදුමයෙන් වගේ..

"මමී කිව්ව රෑ පූජාවට යන්න බෑ කියල පහුවදා උදේ යමු කියල.. පාර්ටි එකට ගොඩාක් සෙනඟ එනවනෙ.. අපි ජේසු බබා ඉපදුන වෙලාවට මල්වෙඩි පත්තු කරමු කියල පප්ප කිව්ව.."

"ඉතිං ඔයා ආසත් නැද්ද රෑ පූජාවට යන්න.. "

"ආසයි.. ඒත් ඉතිං මට යන්න වෙන්නෙ නෑනෙ.." ෂේන් කිව්වෙ දුකින්..

"අපිනම් යනව රෑට පූජාවට.. මම හරිම ආසයි නත්තල් පූජාව අහන්න.. මට අළුත් ඇදුමකුත් අරන් දෙනවනෙ.. මම ඒකත් ඇදන් අම්මයි තාත්තයි එක්ක පල්ලි යනව.." විරාජ් කියන්නෙ හරීම සතුටින්..

"ඔයා ගවලෙනක් ගන්නෙ නැද්ද.." ෂේන් අහන්නෙ බෝල ඇස් දෙක තවත් ලොකු කරල..

"ගන්නෙ නෑ අපි කඩෙන්..මමයි තාත්තයි හදනව.. අපි පුංචි ගවලෙනක් වගේම පුංචි නත්තල් ගහකුත් හදනව.." විරාජ් එහෙම කියල ෂේන් දිහා බලල හිනාඋනා..

නත්තල් දවස උදාවෙන්නෙ හැමකෙනෙක්ගෙම හිත් වලට සතුටක් එකතු කරමින්..

"පීටර් එහෙනම් ඔයා රෑ වෙන්න කලින් ගිහින් අරක්කු ටිකයි බියර් ටිකයි අරන් පොක් බීෆ් වගේ බයිට් ටිකකුත් අරන් එන ගමන් කෑම පැකට් ටිකත් අරන්ම එන්න...එ් ගමන් පල්ලියට ගිහින් ෆාදර්ට බොරුවක් කියල සල්ලි ටිකක් දීල එන්න.. නැත්නම් දහම් පාසලේදි පුතාව ඉස්සරහට ගෙන්නල පූජාවට ආවෙ නැත්තෙ ඇයි අහයි.. පාර්ටි නිසා පූජාවට එන්නෙ නෑ නොකිය ඔයා මොකක් හරි බොරුවක් කියන්න.." හිල්ඩා මැතිණිය තම සැමියාට උපදෙස් දුන්න..

සවස හයට පමන පීටර් මැතිතුමා නිවසින් පිටත් උනේ ඒ වැඩ ටික කරගෙන ඉක්මනින්ම නිවසට එන්න හිතාගෙන..

රාත්‍රී අටහමාර වන විටත් පීටර් මහතා නිවසට නොපැමිණි නිසා හිල්ඩා මහත්මිය කලබල වෙලයි හිටියෙ.. දුරකථනයට ඇමතුවත් දුරකථනය විසන්ධි වී තිබුනා..

"ඇයි මමී තාමත් පප්ප නැත්තෙ.. " ෂේන් හිටියෙත් බයවෙලා...

සාදයට පැමිනි පිරිසත් මේ කලබලය අස්සෙ කම්මැලිකමෙන් සහ බඩගින්නේන පීඩා වින්ද.. පැමින සිටි අයට සංග්‍රහ කරන්නටවත් නොහැකි තරමට හිල්ඩා මහත්මිය නොසන්සුන් වී සිටියා...

"අපි යමු අනේ යන්න.. මේ ළමයිත් බඩගින්නෙ.. දැම්ම ගියොත් අපිට මගින් කෑම කාලා රෑ පූජාව පටන් ගන්න කලින් පල්ලි යන්නත් පුළුවන්.." එහෙමයි පිරිස අතර කතාව ගියෙ..

ඇවිත් හිටිය පිරිස හෙමින් හෙමින් විසිරිලා ගියා.. හිල්ඩා මහත්මියයි ෂේනුයි නිවසේ තනිඋනේ සේවකයන්ට පවා නත්තලට නිවාඩු ලබාදී තිබුන නිසයි..

"මමී ඇයි මමී අඩන්නෙ.."

"පප්ප තාම නැත්තෙ ඇයි පුතා.. ෆෝන් වැඩ කරන්⁣නෙත් නෑ..අපි කෝමද පුතා ප්පපව හොයාගන්නෙ.. සේරමල පල්ලි ගිහින්.. කාටද අපි උදව්වක් ගන්නවත් අඩගහගන්නෙ.." හිල්ඩා මහත්මිය කියවන් ගියෙ දැනුන අසරණකම නිසාමයි..

"මමී.. ඔයා බනින්නෙ නැත්නම් මම ගිහින් විරාජ්ලට කියන්නද.." ෂේන් අැහුවෙ සැකයකින් වගේ..

"ප්..පුතා.. අපිට බනීද ඒ ළමයිගෙ තාත්ත.." හිල්ඩා මහත්මිය ඇහුවෙ ⁣දැනුන අසරණකම නිසාමයි..

"නෑ මමී.. අපි එයාලට කියල බලමු.. ඉක්මනින් යමු.. නැත්නම් එයාලත් පල්ලි යයි.." එහෙම කියපු ෂේන් එලියට බැහැල දුවගෙන ගියේ විරාජ්ගෙ ගෙදර පැත්තට... ඒ පස්සෙන්ම හිල්ඩා මහත්මියත් ඒ පැත්තට ගියා..

ෂේන් යනකොටම විරාජ් අළුත් ඇදුම් එහෙම ඇඳගෙන අම්මයි තාත්තයි එක්ක පල්ලි යන්න එලියටත බැහැල හිටියෙ..

"ආනේ.. ෂේන්.. ඇයි මේ.. පාර්ටි එක ඉවරද.. අපිනම් පූජාවට යන්න හදන්නෙ.. ගවලෙනේ වැඩ ඉවර වෙද්දි පරක්කුත් උනානෙ..." විරාජ් කියවන් යද්දි ෂේන්ට හයියෙන් ඇඩුන..

"අනේ ඇයි මේ දරුව අඩන්නෙ.." විරාජ්ගෙ අම්ම ඇහුවෙ පුදුමයෙන් වගේ.. එතකොටම තමයි එතනට හිල්ඩා මහත්මිය ආවෙ..

"අන්න ෂේන් ඔයාලගෙ මමී එනව.. ඔයාට බනී.. ඔයා දැන් යන්න.." විරාජ් බයෙන් එහෙම කිව්ව..

"නෑ පුතා.. මම ආවෙ බනින්න නෙමේ.. බැනුම් අහගෙන හරි උදව්වක් ඉල්ල ගන්න.." හිල්ඩා මහත්මිය හරි හෙමීට එහෙම කිව්ව..

"ඇයි මැඩම්.." විරාජ්ගෙ තාත්ත එහෙම ඇහුවෙ මෙතන මොනවම හරි ප්‍රශ්නයක් වෙලා කියල හිතට දැනුන නිසයි...

"අනේ මේ අපේ මහත්තය හවස හයට විතර ගෙදරින් ගියා බඩු වගයක් ගේන්න කියල.. තවමත් ආවෙ නෑ.. කෝල් කරාට ෆෝන් එක වැඩත් නෑ.. පාර්ටි එකට ආපු අයත් ඉදල ටිකකින් යන්න ගියා පල්ලි යන්න කියල.. අනේ මම මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරිව ඉන්නෙ.." හිල්ඩා මහත්මිය ඇඩෙද්දිම කියවගෙන ගියා..

"එහෙනම් ඔයාලත් ⁣මැඩම් එක්ක එහෙට වෙලා ඉන්න.. මම ගිහින් සර්ව බලල එන්නම්.." එහෙම කියපු විරාජ්ගෙ තාත්ත තමන්ගෙ බයිසිකලයේ නැගල පිටත්වෙලා ගියා..

"අනේ අපි ඇවිත් ඔයාලට පූජාවට යන්නත් නැතිව ගියා නේද.." හිල්ඩා මහත්මිය කියවන් ගියෙ විරාජ්ගෙ අම්ම දිහා බලාගෙන..

"අපි හෙට උදේට පල්ලි යමු මැඩම්.. හැමදේම වෙන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතනෙ.. අපි යමු ගෙදරට.. මයිකල් සර්ව බලල ඉක්මනින්ම එයි.."

"මට සමාවෙන්න මයිකල්.. මම මහ නරක මිනිහෙක්.. මම ඔයාලගෙ මේ ඉඩම් කෑල්ල මට නොදුන්න කියල ඔයාල එක්ක මොනතරම් වෛර බැන්දද.. ඒත් අන්තිමට මාව අසරණ උන වෙලාවෙ මගෙ පෝසත් යාළුවොවත් පෝසත් නෑයොවත් හිටියෙ නෑ මගෙ පිහිටට.. මයිකල් තමයි හිටියෙ මගෙ පිහිටට.." පීටර් මහතා කියවන් ගියෙ ඇස්වලට උනපු කඳුළු පිහිදගන්න ගමන්මයි...

"මම කිසිම දවසක සර්ල ගැන තරහක් තිබ්බෙ නෑ සර්.. මේ හැමදේම මගේ දෙවියන් වහන්සේගේ කැමැත්ත.. සාමය අරන් ජේසු බබා ලෝකෙට ආපු දවස සමරන වෙලාවෙ ම⁣ට මේ විදියට මගේ අසල්වැසියා වෙනුවෙන් යමක් කරන්න ලැබුන එක සතුටක් සර්.. ඉක්මනින්ම සනීපවෙලා ගෙදර යන එක ගැන හිතමු දැන්.." මයිකල් එහෙම කියල ෂේන් බබාගෙ ඔළුව අත ගෑවා..

"අනේ මටත් සමාවෙන්න විරාජ්ලගෙ අම්මයි තාත්තයි.. මම මේ දරුවො දෙන්නගෙ යාළුකමත් කඩන්න හැදුවෙ.. මහත්තයා හැප්පිල පාරෙ වැටිල ඉද්දි මයිකල් එතනට නොගියනම් මොනවයින් මොනව වෙන්න තිබුනද.. මයිකල්ල ඒ වෙලාවෙ පල්ලි යන්න හැදුවෙ.. ඒ ගමනත් නොගිහින් මයිකල් ගියෙ අපි හැමෝගෙම වෙලාවට.." හිල්ඩා මහත්මිය කියවගෙන ගියා..

මයිකල් මහතාට වූ අකරතැබ්බය ආරංචි වුන ලොකු ෆාදර්ත් ඇවිත් හිටිය මේ වෙලාවෙදි රෝහලට..

"ජේසු බබා ඉපදුන දවසෙ රෑට පාර්ටි දාල මත්පැන් බීල මස් මාංශ එක්ක නත්තල සමරනව කියල කිව්වට ඇත්තටම සැබෑ නත්තලේ අරුතටම අනුව නත්තල සමරන්නෙ මයිකල්ල වගේ මිනිස්සු..සාමය ගැන දෙවියන් වහන්සේ උගන්වපු විදියටම ඒක අනුගමනය කරන එක තමයි අපි නිතරම කලයුතු වන්නේ.." ලොකු ෆාදර් එහෙම කිව්වම හැමෝම ඒකට එකඟවෙලා හිස වැනුව..

එතකොටම ෂේන් සහ විරාජ් උඩ පැන පැන හයියෙන්ම

"ජේසු බිලින්දා... අපේ සාමේ රජින්දා...." කියල කෑගහද්දි හැමෝටම හිනාවක් ගියා...

- නෙතුලි-
උපුටා ගැනිමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment