කෙටි කතාව
ඇය
"අඩෝ හසිතයා, යමන් බං, පඩි නේ අද. යමං යමං. ඒක පට්ට පොට් එක යකෝ"
"වදේ යකෝ තොපෙන්"
"පැය 3යි යකෝ. අනික ප්‍රශ්න අමතක වෙන්නත් එක්කම වරෙන් බං"
"හා හා යමන්කෝ"
නිසල් මාවත් ඇදගෙන ආවට මොකද මම මේ වෙන මෙලෝ මගුලක් දන්නෙ නෑ. වටපිට හරි පිලිවෙලයි. දොරවල් ගොඩයි. හිත ගැස්සුනේ නෑ කිව්වොත් බොරු. මොකද මෙහෙම තැනක් මම දැකල නෑ මීට කලිං. මෙතනට එන්න තිබ්බ එකම හේතුව #පැතුමි එයාව අමතක වෙන්නයි මේ ගමන ආවේ.
ඒ මගේ පලවෙනි ආදරය. ඒ වගේම මගෙ බිරිඳ.අපි කසාද බැඳලා මාස 3යි. ඒත්, එයාට මගෙන් සෑහෙන්න බැරි උනා. වෙන මිනිස්සු එක්ක යන්න ගත්තා.වසර 3ක් ආදරේ කරල කසාද බැන්ඳත්, එයාව හරියට තේරුම් ගන්න මට බැරි උනා. අපි ඩිවෝස් උනා. මම ගොඩාක් ආදරේ කලා.ඒ අඩුව ගොඩාක් දැනුනා මට.
මිස්ටර් හසිත. රූම් නම්බර් සික්ස්ටීන්. ශී ඉස් වෙයිටින්ග් ෆෝර් යූ.
ඒ හඬින් මාව ගැස්සිලා ගියා.
මම කිව්ව රූම් එකට ගියා. කෙල්ලෙක්, ම්ම්ම් හ්ම් නෑ ලස්සන කෙල්ලෙක්.නංගි කියන්න පුලුවන් පුංචි කෙල්ලෙක්. තාම මූණ දැක්කෙ නෑ
දැක්කත් වැඩක් තියන එකක් ද,
දන්න විදියට කිව්වොත් මේ
ගණිකාවක් නේ.
ලස්සන හොටෙල් එකක හිටියත්, මුඩුක්කුවක් ඇතුලෙ කරන දේමනෙ මෙයා කරන්නෙත්.
මම උගුර පෑදුවේ එයාව මගෙ පැත්තට හරවගන්න.
ඉතාමත් කෙටි ඇඟටම තද වෙච්ච රතුපාට ගවුමකින් සැරසී සිටි ඇය මගේ පැත්තට හැරුනා.
බුදුඅම්මෝහ්. මෙයා පැතුමි වගේමනෙ.
ගවුමේ කරපටිය උරසෙන් පන්නමින් මා වෙත ආ ඒ රුවැත්තිය මට හැඟුනේ මගේ පැතුමි වගේමයි...
ඕක ගලවන්න එපා. මෙතනින් වාඩිවෙන්නකෝ.
ඒ ඇඳුමට ඇතුලෙන් තියන දේවල් වලට වඩා, ඒ ඇඟට ඇතුලෙන් තියන හදවත දකින්නටයි මට ඕන උනේ.
ආව වැඩේ කරගන්න තරම් මානසිකත්වයක් මට තිබ්බෙ නෑ. ඇත්තටම පැතුමිගෙන් පස්සෙ වෙන පහසක් ලබන්න මට බෑ හිතුනා..මේ පොඩි කෙල්ලට මෙහෙම උනේ ඇයි කියලා දැනගන්නයි ඕනි උනේ මට...
"නංගී. මේ සල්ලි තියාගන්නකො."
නංගි කිව්වම ඒ මූණ මලක් පිපුණා වගේ.
"මහත්තයා රිසෙප්ශන් එකට පේ කරලනේ ආවේ, ඇයි මට සල්ලි."
"කමක් නෑ. පැය 3ක් තියනවා. මට ඔයා එක්ක කතා කරන්නයි ඕනේ."
ඇය ගැස්සුනේ ඇයි කියල හිතාගන්න බෑ.
"ම.. මහ.. ත්තයා පොලීසියෙ න්.. නෙ...හ්"
ඇය බය වෙලා. වෙව්ලනවා. ඒ ඇස් වල මහා දුකක් හිර වෙලා.
"නෑ නෑ. මම ඉන්ෂුවරන්ස් කම්පැනි එකක වර්ක් කරන්නෙ. බය වෙන්න එපා. මට වයිෆ් කෙනෙක් හිටියා. එයාව මට නැති උනා. ඒ දුකට මම මෙතනට ආවෙ.ඒත් යාලුවෝ බලෙන් එක්කන් ආව නිසා. මට ඔයාව දැක්කම මගෙ පැතුමි මතක් උනා.ඉතින් ඔයා ගැන දැනගන්න හිතුනා."
ආව හේතුව කෙටියෙන්, එකහුස්මට කියාගෙන ගියේ මේ කෙල්ලගෙ බය නැති කරන්නයි.
කිසිම හැලහොල්මනක් නැතුව මේ කෙල්ල මං දිහා මහා පුදුමෙන් බලං ඉන්නවා.
"අම්මෙක් දරුවෙක්ට උපත දෙන්න විඳින දූක මම දන්නව නංගි. ඒ නිසා මම කෙල්ලෙක්ව වෙහෙසලා මගේ අවශ්‍යතාව සපුරගන්න තරම් තිරිසනෙක් නෙමෙයි. ඒ නිසා බය වෙන්න එපා. පුලුවන් නම් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න"
"පැය තුනට මෙතනට එන මිනිස්සු යන්නෙ තමන්ට ඕන හැමදෙයක්ම කරගෙන.මේ කාමරේට හිරවෙච්ච කෙනා විතරයි ඒකෙ වේදනාව, දුක දන්නෙ. මේක මහා අපායක්.මහත්තයා මේ දේවල් වලට අලුත් කියල මුලදිම මට දැනුනා."
"නංගී.මං හසිත, කැමති නම් අයියා කියන්න. නම කියනවට වඩා ඒක ලෙංගතුයි.
හරී. දැං ඔයාගෙ විස්තර කියන්නකෝ.."
මම ඒ යුගල යහනේ හරිබරි ගැසී වාඩි උනේ දිග කතාව නිදහසේ අහන්න ඕන නිසා.
"මම දිලූශි.කියන්නෙ දිලූ කියලා. මම කොළඹ ආවෙ ජොබ් එකකට.මල්ලියි නංගි තාම ඉගෙනගන්නවා. තාත්තා හේනෙ වැඩ. වැස්ස නැති නිසා හේනෙ පාලුවට ගියා. ජීවත් වෙන්න ගොඩාක් අමාරු තත්ත්වයට අපේ පව්ල වැටුන. ඒ නිසාම අපේ ගමේ හාමු මහත්තයගෙ පුතා තමයි රස්සාව හොයල දුන්නෙ. මේ හෝටලයෙමයි. අර පහල ඉන්න ගෑණු ලමය වගේම මාත් ලස්සනට සාරි ඇඳලා ආව.මේ හෝටලයෙම නතර වෙන්නත් දුන්නා."
දිග හුස්මක් අරන් ආයෙ කතාව පටන් ගත්තා. මෙයාගෙ හිතේ ලොකූ සැනසීමක් තියනවා. මේව කියාගන්න බැරිකමින් මේ නංගි ඉඳල තියෙන්නෙ.
"අයිය දකින්න ඇති නේ මේ රූම් පේලියේ ඒ කොනේම ම රූම් එක. ඒකෙ ඇඳ කැඩිලා කියලා කම්ප්ලේන් එකක් ආවා. මැඩම් කිව්වා මට බලල එන්න කියලා.ඒව බලන්න කට්ටිය හිටියත් මාවම මැඩම් යැව්වෙ ඇයි කියල තේරුම් ගද්දි මම ගොඩාක් පරක්කුයි. ඒ රූම් එකට ගියාම උස මහත කලු මිනිස්සු තුන් දෙනෙක් හිටියේ. මට එච්චරයි අයියේ කියන්න පුලුවන්. "
පවුල ගොඩදාන්න ආව අහිංසකීට මේ පාපතරයන් කරපු අපරාදය මොකද්ද??
ඒ හීනි ඇස් අගින් මෝදු වෙච්ච කඳුල මගේ අතිනම පිසදැම්මෙ ඒ මගේම නංගි කියල පපුවටම දැනුන නිසා.
ප්‍රශ්න ගොඩයි හිතේ...මම එකින් එක ඇහුවා
"මාස කීයක් රස්සාව කලාද නංගී"
"මාස?? නෑ අයියේ. දවස් 14යි හරියටම"
"එතකොට මේ තත්ත්වයට පත්වෙලා කොච්චරකල්ද? "
"අයියා 17 වෙනි කෙනා."
"එක දවසට 17 යි ද මේ සිද්දිය වෙලා?"
"අයියේ. දවස් 6ක් වගේ තාම.. එකදවසට එන්නෙ එක්කෙනෙක් විතරක්ම නෙමෙයි.
ඒ වගේමයි එක පාරකට එන්නෙ එක්කෙනෙක් විතරක්මත් නෙමෙයි"
දෙවියනේ. මොනාද මේ කන් වලට ඇහෙන්න මට. කෙල්ලෙක් මේ තරම් වේදනා කොහොම දරාගෙන ඉන්නද??
මම දෝතින්ම ඔලුව බදාගත්තේ දැනුන තද වේදනාවට.
මම දෑස් වසාගෙන ඔහේ හිටියා. මට නින්ද ගිහින්. සනීපෙට ඔලුව අතගානවා දැනුනමයි ඇහැරුනේ. මට ගොඩාක් වෙලා නින්ද ගිහින්.
"අයියේ. තව පැයකාලකින් ඔයා යන්න ඕනේ.ගොඩාක් පිං මගේ හිත සැහැල්ලු කරාට.. මේ වගේ කාලකණ්ණි පැය 3ක සැපක් ගන්න එන්න එපා මහත්තයෝ. කසාදයක් බැඳගෙන ලස්සනට දරුවො එක්ක ජීවත් වෙන්න."
"නංගී. ඔයාට මෙතනින් එලියට එන්න පුලුවන්ද?"
"එහෙම තහනම් අයියේ. මාසෙට දවසක් යන්න දෙනවා. මෙහ වාහනයකින් යන්න ඕනේ. MC එකට විතරයි යන්න පුලුවන්.ඕන දේවල් ගන්න යන්නෙ එදාට තමයි.මේ සඳුද තමයි මේ මාසෙ දවස.ඒ යද්දිත් එක්කෙනෙක්ව එවනව අපිව බලාගන්න."
"මෙන්න මගේ නම්බර් එක. මට මැසේජ් එකක් දාන්න ඔයා.වෙන්න ඕන දේ මම කියන්නම්."
"මෙහෙම එලියත් එක්ක සම්බන්ඳකම් පවත්වන්න අපිට තහනම්."
"මතක තියාගන්න. මේ දුක ඔයා විඳින්නෙ තව ටික කාලයක් විතරමයි.ඒ නිසා කරුණාකරල මට මැසේජ් එකක් දාන්න නංගි.."
ඒ නලල උණුසුම් කර මම එලියට ආවේ හිතේ මහා ගොඩාක් ප්ලෑන් තියාගෙන.
එදා, දිලූ කිව්ව දවස. එයාලා ආවා. MC එකට. වෑන් එකක ආවේ. ඔක්කෝම 6ක් ආවා. වාහනේ ඩ්‍රයිවර් එයාලා එක්කම, ඒත් ටිකක් ඈතින් හිටියා මගේ උදව්වට නිසල් ආවේ මගේ පෙරැත්ත නිසාමයි.
මම කියූ විදියටම දිලූ යාලුවට විස්තරේ කියලා.
"මේ කාලකණ්ණි මුඩුක්කුවෙන් උඹ හරි ගැලවියං දිලූ. මම නවත්තන්නෙ නෑ. සතුටින් ඉඳපං"
හැමදේම හොඳට සිද්ද වෙනවා.කට්ටියම හිටියේ ඇඳුම් සාප්පුවක. දිලූ එයාගෙ යාලුවා එක්ක අනික් කට්ටියට එහායින් ඇඳුම් තෝරනවා.
එකපාරටම නිසල් දුවගෙන ඇවිත් අර ඩ්‍රයිවර්ගෙ ඇඟේ හැප්පුනේත්,
දෙන්නත් එක්කම ඇඳුම් රැක් එකක් කඩාගෙන බිම වැටුනෙත් එකපාරටමයි.
තමා අතින් සිදු වූ වරදට නිසල් අපූරුවට සමාවගෙන ඒ මනුස්සයව නොමග යවපු ඒ මොහොතේම දිලූ යාලුව එක්ක එලියට පැනගෙන දිව්වේ පහලමහලට. ඒ මගේ අනුදැනුම ඇතිව.
ඒ වෙද්දි කාර් එක සූදානමින් හිටි මම ඔවුන් දෙදෙනා සමගම MC එකෙන් පිට උනා. පැය කාලක් ඇතුලත නිසල් ඇමතුමක් ගෙන පැවසුවේ ඔහුද නිරුපද්‍රිතව බයික් එකෙන් පැනගත් බවත් අර මනුස්සයා දිලූ හා අනික් කෙනාව සොයන බවත් ය
කෝමහරි මම කාලකන්නි වෙන්න ගිය ජීවිත 2කට පණ දුන්නා
දිලූගෙ ඇත්ත තත්ත්වය දන්නෙ එකම එක්කෙනයි. ඒ නිසල් විතරයි.
ඌව ගඟේ මුහුදෙ දැම්මත් ඒක කාටවත් කියන්නෙ නෑ කියල මම දන්නවා. අම්ම තාත්තගෙ ආදරේ පොඩිකාලෙ ඉඳල අහිමි වෙච්ච මට, පැතුමිගෙන් ජීවිතේ කලකිරුණු මට, දිලූගේ ආදරේ මහමෙරක් උනා. මම දිලූව පරිස්සම් කලා ගොඩාක්. ඩොක්ටර් කෙනෙක්ට දිලූව පෙන්නලා HIV Negative කියල දැනගත්තෙ කෙල්ලගෙ හිතේ බය අයින් කරන්නයි.
"මේ කරන දේවල් වලට ගොඩාක් පිං මගෙ මහත්තයෝ."
දිලූ හැමවෙලේම කියන්නෙ මේකමයි.
අද අපේ Registration එක. ලොකුවට මගුල් ගන්න තරම් හිත හදාගන්න දිලූට බෑ. අදටත් දිලූගෙ ගෙදර අය මේව දන්නෙ නෑ. අපේ කසාදෙන් පස්සෙ මගෙ පුංචි ගෙදරට දිලූ එක්ක ආවා.මගේ ගෙදරට හඳ පෑව්වා. වැඩට යද්දි බත් එක අතට දීලා දිලූ මට දණගහල වඳිනවා. හවසට ආව ගමන් තේ එක අතට දීල මගේ ලඟටම වෙලා ඔලුව අතගානවා...
නිවාඩු දවසට මම දිලූව අරගෙන කොහේ හරි යනවා. එක්කො දිලූලගෙ ගෙදරට යනවා.
දිලූගෙ ගෙදර අයවත් මේ ගැන දන්නෙ නෑ. දැං මට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඉන්නවා.
දිලූගෙ මල්ලි නංගි දිගටම ඉගෙනගන්නවා.
ඉතින් මේ ආදරේට මම හරි ලෝබයි.
අපි දෙන්නගෙම අතීතෙ ගොඩාක් අඳුරුයි. ඒත් අපේ අනාගතේ ගොඩාක් එලියයි.
ඉතින්
ඔන්න ඔහොමයි ඇය ගේ දෛවය ගෙතුනේ.
චලනි අවිශ්කා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment