එකම ලේ

එකම ලේ

මම ජයන්ත සුරිය බණ්ඩාර ..
පරම්පරාවෙන් ලොකු දේපලකට උරුමකම් කියපු, පරම්පරාවේ තත්වේ ලොකුම දේ කියලා හිතන අම්මෙක්ගේ තාත්තෙක්ගේ
එකම පුතා.

අම්මලා තාත්තලා ජීවිතේ ගැන කොහොම හිතුවත් මට ඕනා උනේ ජීවිතේ විඳින්න,
සතුටින් ඉන්න. හැමෝම එක්ක හොඳට කතා බහ කරලා සතුටින් ඉන්න.
හොඳට ඉගෙනගෙන මගේම කියලා දෙයකින් ජීවිතේ පටන් ගන්න..

මොනවද පුතා.. ඔය ඉගනගත්තා ඇති නේද?
දැන් මේ දේපොළ ටික බලාගෙන පිළිවෙලක් උනොත් නරකද?

ඔය මගෙන් තාත්තා නිතරම අහන ටික... තාත්තා හිතන්නෙම මම ඉගන ගත්තා ඇති.
සල්ලි දේපල තියනවා ඇතිවෙන්න. දැන් මම ඒවා බලාගන්න ඕනා කියලා.
තාත්තාට ඕක කෙලින්ම කීවට වැඩක් නැති හින්දා මම එක කියන්නේ අම්මට...

අම්මා බලන්නකෝ තාත්තා හැමදාම එකම දේ කියනවා..
මට තව ටිකක් ඉගන ගන්න දෙන්න කියන්නකෝ..
කැම්පස් යන්න කොහොමත් මම පාස් වෙනවා
මට එක විශ්වාසයි..

අනේ මන්දා බං පුතේ උඹත්...
තාත්තා කියන දේ ඇති වරද්දකුත් නෑ
මොකද ඉතින් දැන් ඔය ඉගන ගත්තා කියලා
උඹ ආණ්ඩුවේ කන්තෝරු වල වැඩ කරන්න යන්නද?...
එහෙම ගිහින් මේ දේවල් බලාගන්නේ කවුද?
ඔන්න ඔය තාත්තා කියනවා වගේ ඕක අත ඇරලා දාලා...
මෙන්න මේවා ටික බලාගෙන හිටියානම්.
ඕනේ නම් මම කපු මහත්තයාට කතා කරන්නම්.
අපිට ගැලපෙන තැනකින් කටයුත්තක් බලන්න කියලා..

අම්මා තාත්තාට හපන්.. ඉගන ගන්න එක නවත්වන්න විතරක් නෙමේ.
මට කසාදයකුත් කරලා දෙන්න හදන්නේ..මම
තවම මේ අවුරුදු 20 ක පොඩි කොල්ලෙක් කියන එක තේරුම් ගන්න බැරි හැටි.

අනේ අම්මා මට බෑ දැන්ම බඳින්නවත් ඔය කියන දේවල් වත් කරන්න..
කැම්පස් යන්නම ඕනා මට.
කැම්පස් කියන්නේ මගේ ජිවිතේ තිබුන එක විදිහක හීනයක්...
--------------------------------------------------

අහ්හ් ජයන්ත... තමුන් ලොකු සල්ලිකාරයෙක්ලු නේද?
මොකද කාර් එකකින් වගේනේ බහින්න තිබ්බේ..
බස් වල යන එක තමුසෙලට මහා මදි කමක් වෙන්න ඇති නේද?

කැම්පස් එකට ආව පලවෙනි සතියෙම සීනියර් අයියා කෙනෙක් එහෙම අහනකොට
මට හිතුනේ මොකට මම සල්ලි කාරයෙක් උනාද කියලා

අනේ නෑ යාලුවා.
අම්මලා තාත්තලාට සල්ලි තිබ්බා කියලා මට මොනවත් එහෙම
අමුතු දේවල් නෑ..
කැම්පස් එක කියන්නේ හැමෝටම එක විදිහට සලකන තැනක් කියලා අහලා තියන නිසාමයි
මම ගොඩක් මෙහෙ එන්න මහන්සි වෙලා වැඩ කලේ.
සල්ලි තිබුනා කියලම හැමෝටම දැනුම කියලා කියන දේ ගන්න බැහැනේ.
මට ඕනා උනේ මහන්සි වෙලා වැඩ කරලා මගේම තැනකට එන්න.

හ්ම්ම් එහෙම හිතනවානම් හොදයි.
මොකද සමහරු හිතාන ඉන්නේ සල්ලි මහා ගොඩක් තිබ්බම
ලෝකෙම දේවල් තමන්ගේ කියලානේ.
එහෙම දේවල් මෙහෙ නෑ තියන හැමදේම ගැන හැමෝටම තියෙන්නේ එකම අයිතියක්.
ඒවා මතක තියාගෙන වැඩ කරනවානම් ප්රශ්න ගොඩක් අඩුවෙයි..

කැම්පස් ගැන මම හිතන හිතපු මතේ එහෙම පලවෙනි සති දෙක ඉවර වෙනකොටම හිතට දැනුන එක එක විදිහක ලොකු සහනයක් උනා..
ඔය අතරේ මගේ හිතේ......
ඔව් ඔව් ආදරයක්...
කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා!
--------------------------------------------------

ලක්ෂ්මි....
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන..
පොඩ්ඩක් පුලුවන් නම් කියනවද ?

කියන්න ජයන්ත. මේ වෙලාවේ මොනවත් වැඩක් නැහැ.
අහගෙන ඉන්න පුළුවන්. මොකක් හරි ප්රශ්නයක්ද?

"හ්ම්ම් ඔව් ලක්ෂ්මි
පොඩි ප්රශ්නයක්.
මම දන්නේ නෑ ඔයා මේකට කොහොම උත්තර දේවිද කියලා.
ඒත් කැම්පස් එකට ආව දවසෙම මගේ හිතට ඔයාව දකිනකොට අමුතු හැගීමක් දැනුනා.
එක අද වෙනකොට මට තේරිලා තියනවා මම ඔයාට ආදරෙයි කියලා."

ජිවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක්ට ආදරෙයි කියලා එහෙම කියන්න පුළුවන් උනේ කොහොමද මන්දා..

මොනවද ජයන්ත ඔයා ඔය අහන්නේ..
හිතන්නවත් පුළුවන් දේවල්ද?
ඔයාලා කවුද අපි කවුද?
කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන ඇයි ඔහොම අහන්නේ..

මොනවද වෙන්න බැරි දේවල් ලක්ෂ්මි...
වෙන්න බෑ කියලා දේවල් මෙතන නැහැනේ...

මොකද නැත්තේ ජයන්ත..
ඔයා ලොකු සල්ලිකාර පවුලක එකම පුතා.
මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන පවුලක බාල ළමයා..
ඔයා සිංහල
මම දෙමළ.
ඔයා ඉගන ගන්න ආවේ වෙනසක් ජිවිතයට ඕනා නිසා..
ඒත් මට මේ ඉගන ගන්නවා කියන එක මගේ මුළු අනාගතයම..
කොහොමද අපි ඔහොම දෙයක් කතා කරන්නේවත්..

ඔය දේවල් මොනවත් ප්රශ්නයක් වෙන්නේ නෑ ඔයා දෙමළ මම සිංහල කියලා හිතන්නේ මොකටද?
ඔයා , මම , අපි දෙන්නම ශ්රීලාංකික.

ඔය දේවල් එහෙම හිතන්නේ නැහැනේ අපි දෙමාපියෝ.
ඒ නිසා තේරුමක් නැති දේවල් කතා නොකර ඉමු ජයන්ත..

ලක්ෂ්මි එහෙම කීවාට ඉතින් එහෙම අතහැරලා දන්න පුළුවන් විදිහේ බැදීමක් නෙමේ මගේ හිතේ ලක්ෂ්මි ගැන තියෙන්නේ වගේම
ලක්ශ්මිත් දෙමළ කියන දේට මිසක් මට ඇති අකමැත්තක් නෑ කියන එක හොදටම තේරිලා තිබුන නිසා මම පුළුවන් හැමවෙලේම
බැලුවේ ලක්ෂ්මි ව මගේ කරගන්න.
--------------------------------------------------

අම්මෝ මම බයේ හිටියේ මේ ගණන්කාර කෙල්ලගේ ආදරේ මට ලැබෙන එකක් නෑ කියලා...
මාර ගණන් උස්සලානේ හිටියේ...

අනේ එහෙම එකක් නෙමේ ජයන්ත
ඔයා ගැන මටත් කැමැත්තක් හිතුනේ ඔයාව දැකපු මුල්ම දවසේ.
ඒත් හිත හදාගත්තා ඔයා වගේ කෙනෙක් උරුම නෑ කියලා හිතාගෙන..

එහෙම වෙලා නැහැනේ ළමයෝ.. අද මේ ඉන්නේ අපි දෙන්න එකට..
මොනවටද බය වෙන්නේ..

බය නැතිව නෙමේ මට...
ඔයාලගේ ගෙදරින් දැනගත්තම මොනවා වෙයිද කියලා මට හිතාගන්න බෑ
එදාට මට ඔයාව නැතිවෙයි කියල මගේ හිත කියනවා ජයන්ත.
ඇත්තටම මට ඔයාව නැති වෙයිද?

එහෙම වෙන්නේ නෑ ලක්ෂ්මි.
බොරුවට හිතන්න එපා ඒ ගැන .
මම කොහොමත් ඉක්මනට ගෙදර එක්ක මේ ගැන කතා කරනවා..
කොහොම උනත් මම ඔයාව නැති කරගන්නේ නෑ.....මොනවා උනත්.
--------------------------------------------------

අම්මා , තාත්තා... මට දෙන්නා එක්කම වැදගත් දෙයක් කතා කරන්න ඕනා.
ලබන මාසේ මගේ උපාධිය ඉවර වෙනවා.
ඒ වගේම මට කෙනෙක් අදුන්වලා දෙන්න ඕනා.
මුලින්ම කියනවා මේක ඔයාලගේ ඔය හිතාන ඉන්න තත්ත්ව උඩ තියාගෙන බලන්න එපා කියලා.
මොකද ඇත්තටම මම ආදරේ කරන කෙල්ල ගොඩාක් දුප්පත්.. ඒ වගේම දෙමළ පවුලක
හොද වැදගත් ගැහැණු ළමයෙක්.

මම හිතුවා වගේම තාත්තාගේ අම්මාගේ මුණු හොද උනේ නෑ මම එක කීවාට පස්සේ .

මොකක්ද උඹ ඔය කියන්නේ උඹ හදන්නේ අපිට අපේ නෑයන්ට මුණ දෙන්න බැරි කරන්නද?
උඹට රටේ ලෝකේ එක සිංහල කෙල්ලක් හිටියේ නැද්ද?
හොයාගන්න. දෙමළ කෙල්ලෙක්ම හොයාගත්තෙ.
එකා යකා කියන එක ඔප්පු කරන්න හදන්නේ නැතිව දැන්ම ඕක නවත්වලා දාපන්..
උඹට බඳින්න ඕනා නම් ඕන විදිහේ කෙල්ලෙක් මම හොයලා දෙන්නම්..
හැබැයි අපි පන පිටින් ඉන්නකන් ඔය දේ උඹට කරගන්න දෙන්නේ නැ.
කරනවානම් අපේ මිනී උඩින් තමා.

මේකයි තාත්තා, මම මොනවත් ඒකට කියන්න යන්නේ නෑ...
මට මේ සම්බන්දෙ නවත්වන්න කොහොමටවත් බෑ
කවදාහරි බඳින්නේ මේ කෙල්ලවම තමා.
දවසක ඔයාලා එයාව ඔයාලගේ ලේලි එහෙම නැතිනම් දුව කියලා පිලිගනීවි..
එතකන් මම බලාන ඉන්නම්..
--------------------------------------------------

කාලය එහෙම ගෙවිලා ගියා.,.
අවුරුද්දකට විතර පස්සේ දවසක...

පුතා අම්මට හොඳටම අමාරුයි..
ඩොක්ටර්ස්ලා කියනවා ඉක්මනට අම්මාට ලේ දෙන්න ඕනා කියලා.
මෙහෙ ලේ හොයාගන්න අමාරුයිලු..
අම්මාගේ නෑයන්ට කතා කරලා බැලුවා..
කවුරුවත් කැමති නෑ ලේ දෙන්න..
එත් අදම ලේ දෙන්න ඕනා..
O- තියන කෙනෙක් හොයාගන්න ඕනා ඉක්මනට..

හරි තාත්තා කලබල වෙන්න එපා මම ඉක්මනට එන්නම්..

ලක්ෂ්මි... මට ඉක්මනට යන්න වෙනවා.
අම්මාට සනීප නැහැලු.
ලේ දෙන්න කෙනෙක් හොයාගන්න ඕනා O - තියන

ඉතින්.. මගෙත් තියෙන්නේ O- තමයි.
මට පුළුවන් ලේ දෙන්න..
--------------------------------------------------

කොහොමද අම්මා දැන්...
දැන් හොදයි නේද තත්වේ..

කොහෙන්ද ඔය තරම් ඉක්මනට ලේ හොයාගත්තේ පුතා.
වෙලාවට ලේ ලැබුන නිසා ජිවිතේ බේරගන්න පුළුවන් උනේ කියලා ඩොක්ටර්ස් ල කිවේ.

ලේ ලැබුනේ නම් ඔයාලා අකමැති මගේ අනාගත බිරිඳගෙන්
අම්මගේ ඇඟේ දැන් දුවන්නේ සිංහල ලේ දෙමළ ලේ කියලා එකක් නෑ අම්මා
එකම ලේ. මනුස්ස ලේ.. ජාතියක් කියලා වෙන් කරන්න බෑ..
--------------------------------------------------

අද දවස..
ජිවිතේ වැදගත්ම දවස. හැමදෙයකින්ම පස්සේ අද මමයි ලක්ෂ්මි කසාද බදිනවා.
මොනවා උනත් අම්මලා තාත්තලාට දරුවෝ තරම් වටිනා දෙයක් මේ ලෝකේ කොහෙවත් නෑ.
කොයි තරම් අකමැත්තක් ප්රශ්නයක් උනත් අන්තීමේ හිතන්නේ දරුවන්ගේ සතුට ගැන.
අනෙක් අතට අපි හැමෝම මිනිස්සු . හැමදාම ජිවත් වෙන්න ආව අයවත් හැමදාම ඉන්න පුළුවන් කමක් තියන අයවත් නෙමේ
අද සිංහල වෙලා ඊලග ආත්මේ දෙමළ වෙන්නත් පුළුවන් , මුස්ලිම් වෙන්නත් පුළුවන්.
හැමෝම එක විදිහට මනුස්සයෝ විදිහට හිතනවානම් මේ ලෝකේ ඇත්තටම ලස්සන වෙයි මීට වඩා ගොඩක්..

-සඳරු - Devaka Sadaruwan

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment