කෙටි කතා
අපේ චූටි කෙල්ලට යාළුවො ගොඩයි. සමනල්ලු, කුරුල්ලෝ, පුංච් ලේන්නු විතරක් නෙමෙයි, වලාකුළු, හඳ හාමි, තරුකැට ඔක්කොම අපේ චූටි කෙල්ලගෙ යාළුවො. හැමදාම රෑට හඳ හාමි එක්ක, තරුකැට එක්ක අපේ කෙල්ල කතා කරනවා, සෙල්ලම් කරනවා. අපේ කෙල්ල කොහේ ගියත්, හඳ හාමියි, තරුකැට අපේ බබා පිටිපස්සෙන් එනවා, හොඳ යාළුවො වගේ.
එක දවසක් පාන්දරම, අපේ චූටි කෙල්ල සමනල යාළුවොයි, කුරුළු යාළුවොයි එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. දවසම දුවලා දුවලා සෙල්ලම් කෙරුවා. මේ වෙනකොට කට්ටියම ඉන්නේ කැලෑවේ, ටිකක් ඇතුලේ. චූටි කෙල්ල කලබල වෙලා. "අපි මේ කොහෙද ඉන්නේ? " බබා ඇහුවට, යාලුවන්ට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ. ඒගොල්ලොත් බබා වගේම කලබල වෙලා.
දැන් හෙමින් හෙමින් කරුවල මෝදු වෙනවා. කෙල්ලට ගෙදර යන පාර හොයාගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. මේ අතරේ, දිග දවසක වැඩ ඉවර කරපු ඉර මාමා, ටිකක් නිදාගන්න යන්න හිතුවා, තමන්ගේ වැඩ කටයුතු හඳ හාමිට බාර කරලා. හෙමින් හෙමින් හඳ හාමි අහසට ගොඩ වෙනකොට ඉර මාමා අහසින් හෙමිහිට බැහැලා ගියා. තමන්ගේ අතේ තිබුණු මල්ලට අත දාපු හඳ හාමි තරුකැට අහුරක් අරගෙන පාලු කළුවර අහසට විසිකලා. හැම තැනම පැතිරුණු තරුකැට දිලිහි දිලිහි හඳ හාමිගේ තනිය නැතිකළා.
තමන්ගේ වැඩ ටික අහවර කරපු හඳ හාමි යාලු චූටි කෙල්ල ඉන්නවද කියල බැලුවා ටිකක් කතා කරන්න. හැබැයි ගෙදර මිදුලේ චූටි කෙල්ල පේන්න හිටියේ නැහැ, වෙනදා වගේ. "චූටි කෙල්ල අද නිදි ඇති වේලාසනම" හඳ හාමි හිතුවා.
මේ අතර අපේ චූටි කෙල්ලයි, යාළුවො ටිකයි හොඳට බයවෙලා. ඇතින් ඇහුන නරියන්ගේ හූ හඬ, බස්සන්ගේ හඬ, ඉගිල්ලෙන වවුල්ලු තවත් බය වැඩි කරා. කරන්න කිසිම දෙයක් නැතුව අසරණ උණු අපේ චූටි බබාගේ ඇස් වලට කඳුළු පිරුණා. නිල් පාට ඇස් අගින් ගිලිහෙච්ච කඳුළු බින්දුවක්, හෙමිහිට රෝස පාට කම්මුල දිගේ රූටගෙන ඇවිල්ලා බිම බලාගෙන උන්න අපේ කෙල්ලගේ කකුල ළඟ බිම රැඳුනා. කඳුළු බින්දුව දිහා බලපු කෙල්ලට තමන්ගේ යාලු හඳ හාමිගේ චායාවක් කඳුළු බින්දුවේ පෙනුනා.
අහස දිහාට තමන්ගේ ඇස් යොමුකරපු අපේ චූටි කෙල්ල, හඳ හාමිට තමන්ගේ දුක කිවුවා. හැබැයි හඳ හාමිට මේ කිසිම දෙයක් ඇහුනේ නැහැ. තවත් දුක හිතුණු චූටි කෙල්ල මහා හයියෙන් "අනේ හඳ හාමි, අපිට ගෙදර යන්න උදවු කරනවද?" කියලා කෑගැහුවා. එකපාරටම කලබල වෙච්චි හඳ හාමි එහේ මෙහේ අත පත ගාලා කණ්නාඩිය හොයන්ඩ පටන් ගත්තා, හරියට වයසක සීයා කෙනෙක් වගේ. කණ්නාඩි කුට්ටම දාගෙන, ඇහැත් පොඩිකරලා, සද්දේ එන දිහා හඳ හාමි බලන්න පටන් ගත්තා. ටික වේලාවකින්ම තමන්ගේ යාලු චූටි කෙල්ලව හොයාගන්න අපේ හඳ හාමිට පුළුවන් උනා. කැලෑවේ ඉන්න චූටි කෙල්ලව දැකපු හඳ හාමි හොඳටම බය උනා. "අනේ චූටි කෙල්ලේ, මොකද මේ මහා රෑ, මහ කැලෑවේ කරන්නේ?" හඳ හාමි ඇහුවා. තමන්ට වෙච්ච අකරතැබ්බය අපේ චූටි කෙල්ල හඳ හාමිට විස්තර කළා. මේ විස්තරේ අහපු හඳ හාමිට හරියට දුක හිතුනා.
මොහොතක් කල්පනා කරපු හඳ හාමි, අපේ චූටි කෙල්ලට දිග කෝටුවක් හොයාගන්න කිවුවා. ඊට පස්සේ කරුවල අහසේ විසිරිලා තිබුණු තරු දිහාවට හැරුණා. අහසේ හිටපු දීප්තිමත්ම තරුවෙ කනට කොඳුරලා හඳ හාමි මොනවද කියනවා අපේ චූටි කෙල්ලට පෙනුණා. එත් එකක්ම එක පාරටම අහසින් බිමට පැන්න තරුකටය වේගයෙන් චූටි කෙල්ලගේ අතේ තිබුණු කෝටුව දිහාවට ඇවිල්ලා කොටුවේ අග්ගිස්සේ එල්ලුනා. අපේ චූටි කෙල්ලට හරිම පුදුමයි. ඒවගේමයි අනිත් යාලුවන්ටත්. දැන් පුංචි කෙල්ලගේ අතේ අලුත් පන්දමක්, ලෝකෙම කරන්නට තරමටම එළිය. දැන් හඳ හාමි අහසේ අනිත් තරුත් එක්ක කතාවක්.
කතාව අහවර කරපු හඳ හාමි චූටි කෙල්ල දිහාවට හැරුණා. "මගේ චූටි කෙල්ලේ, ඔය අතේ තියෙන පන්දමින් පුළුවන් ඔයාගේ පාර එලිය කරන්න. මගේ අහසේ ඉන්න තරු යාළුවො යන්න ඕන පැත්ත පෙන්නයි. ඒ සලකුණු තියෙන දිහාවට යන්න. ඉකමනටම ගෙදර යන්න මගේ චූටි කෙල්ලට පුළුවන් වේවි." හඳ හාමි කිවුවා. මේ ඔක්කොම දේවල් අදහගන්න බැරුව අපේ චූටි කෙල්ල පුදුම වෙලා හිටියත්, හඳ හාමි කිවුව දේවල් කරන්න මොහොතක්වත් පමා උනේ නැහැ. මේ අතරේ අහසේ තරු කැට ලොකු දිලිහෙන ඊතල හැඩයටක් කළු අහසේ මවලා කෙල්ලටයි යාලුවන්ටයි යන්න ඕන මග පෙන්නුවා. මේ සලකුණු විදිහට ගිය කෙල්ලගේ පාර තරු පන්දමින් එළිය උනා. සන්තෝසෙන් උඩ පැන පැන ගිය චූටි කෙල්ලගේ අතේ තිබුණු තරු පන්දම වටේ සමනළ යාළුවො නැටුවා. ඔක්කොමටම හරිම සතුටුයි.
පොඩි වේලාවකින්ම අපේ චූටි කෙල්ල ගෙවල් පේන මානයට ආවා. චූටි කෙල්ලගේ අම්මයි තාත්තයි ගොඩක් බයවෙලා, චූටි කෙල්ලව හැම තැනම හොයනවා. මේ අතරේ හඳ හාමි දිහාවට හැරුණු චූටි කෙල්ලයි, යාළුවොයි, හඳ හාමිට ස්තුති කළා. ලස්සන හිනාවකින් මුහුණ සරසගත්ත හඳ හාමි චූටි කෙල්ල දිහා බලා උන්නා. තරුකැට ලොකු හිනාවෙන මුහුණක් කළු අහසේ මවලා තිබුණා. මේ එක්කම, චූටි කෙල්ලගේ අතේ තිබුණු කෝටුවේ එල්ලිලා හිටිය තරුව, හිනාවකුත් එක්ක අහසට පැනලා අනිත් තරු යාළුවො ලඟට යන්න ගියා. ඒත් එක්කම තරු කැට ඔක්කොම අහසේ විසිරුණා.
අපේ චූටි කෙල්ල එක පාරටම, වේගයෙන් අම්මයි තාත්තයි හිටපු දිහාවට දිවුවා. පුංචි කෙල්ලව ඈතින් දැකපු අම්මටයි තාත්තටයි ඉහේ මලක් පිපුනා වගේ. වේගයෙන් දුවලා ඇවිල්ලා කෙල්ලව බදාගත්තා. "කොහෙද ගියේ මගේ චූටි කෙල්ලේ. අපි හොඳටම බයවෙලා හිටියේ." අම්මා කිවුවා. අපේ චූටි කෙල්ල වෙච්ච් ඔක්කොම අම්මටයි, තාත්තටයි විස්තර කළා. මේ ඔක්කොම හිනාවෙවී අහගෙන හිටපු අම්මයි තාත්තයි "අපේ චූටි කෙල්ලට හොඳටම නිදිමත පාටයි. අපි ගිහිල්ලා දැන් නිදාගමු." කියලා කිවුවා. අම්මයි තාත්තයි අපේ චූටි කෙල්ල බොරුවක් කිවුවා කියලවත් හිතුවද?
ඉංග්‍රීසි බසින් පළවුණු කතාව සිංහලයට අනුවාදනය කර ඇත.
සියලු හිමිකම් ඇවිරිණි. 2017.
කතාව පිලිබඳ ඔබේ අදහස් පහත comment කරන්න.
😁☺️👆😬😂😎😀😅💞
Liza 👆❤️
No comments:
Post a Comment