💥හිංසනය💥
කෙටිකතාව
“නංගි මේ පැත්තට එන්න. ඔය මනුස්සයගෙන් කරදරයි නේද?”
“අනේ ඔව් අයියේ. ඒත් මේ බස් එකේ ඉන්න සෙනග ගොඩ අස්සේ ඔය පැත්තට එන්න පුලුවන්නම් මං මෙලහටත් ඇවිල්ල”
කෙල්ල එහෙම කියපු ගමන් කොල්ලා කෙල්ලගේ අතින් අල්ලාගෙන සෙනග අස්සෙන් කොහොමහරි ගිහින් ඊළඟ හෝල්ට් එකෙන්ම බැස්ස.
“ඇයි බැස්සේ? දැන් මේ වෙලාවට බස් එකක් හොයාගන්නේ කොහෙන්ද? ඔයා නම් මාර කොල්ලෙක්”
“හරි හරි ඉන්නකෝ නංගි මං ත්‍රීවීලර් එකකින් ගෙදරටම ගිහින් බස්සන්නම්. තියෙනවනම් මට වතුර ටිකක් දෙන්නකෝ”
“ඉස්සෙල්ලම මගේ අත අතාරින්න. බලන්න අල්ලපු පාර වොච් එකත් කැඩිලා. කවුද අයියේ ඔයා? මාව දන්නෙවත් නැතුව බස් එකෙන් බස්සගත්ත. ඒ මදිවට මගේ වොච් එකත් කැඩුවා. ගෙදරත් ගෙනිහින් දාන්නම්ලු. පුදුම මනුස්සයෙක් ඔයා නම්”
“හා හා දැන් ඔය කච කචේ නවත්තගන්නවා. ඔයා නැතුව වෙන කවුරු හිටියත් මං කරන්නේ ඒ ටික තමයි. ඔන්න එනවා ත්‍රීවීලර් එක. නගිනවා කටවහගෙන. ගෑනුන්ගේ හැටි ඔහොමමයි. හොඳක් කලත් පිරිමි අපි වැරදියි”
“කට වහන් නගින්නේ කොහොමද? මං කෙල්ලෙක්. නාදුනන කොල්ලෙක් එක්ක යන්න මට පිස්සු කියල හිතුවද? වචනෙකින් හරි උදව් කලාට ගොඩක් ස්තූතියි. මන් තනියෙම යන්නම් මේකේ”
මං වැඩිපුර කිව්වද මන්ද. පේන විදිහටනම් ඉතින් නරක කොල්ලෙකුත් නෙමෙයි. ඒත් ඉතින් අද කාලේ කොහොමද කොල්ලෙක් තියා බල්ලෙක්වත් විශ්වාස කරන්නේ.
“ඔන්න ඔතන කොළ පාට තාප්පේ තියෙන ගේ ගාවින් නතර කරන්න. කීයද ගාන?”
“එපා නෝනා. අර මහත්තය මට සල්ලි දෙන්නම් කිව්වා”
“ඉතින් මනුස්සයෝ ඒ මහත්තයව ආපහු හම්බවෙනවද. මෙන්න මේක ගන්නවා”
“නෑ නෑ නෝනා. ඒ මහත්තය අපේ පිටිපස්සෙන් එනවා කිව්වා. ඔය කියනකොටම එන්නේ”
දෙයියනේ ඇත්ත නේන්නම්. කලින් හිතුව හරි. මේ මනුස්සයට ඇත්තටම පිස්සු.තව ත්‍රීවිලර් එකක් අරන් ඇවිත්.
“මේ මේ නෝනා මහත්තය ආපහු කච කචේ පටන් ගන්න එපා. අහල පහල ගෙවල් තියෙනවනේ. මං හෙට එන්නම් හම්බවෙලා යන්න. මට වැඩ කරන තැන ඇඩ්රස් එක දෙන්නකෝ. එතනට ආවම ඕන දෙයක් කියන්න”
ඊළඟ දවසේ කොල්ලා මාව හම්බවෙන්න ඇවිත් හිටියා ලන්ච් ටයිම් එකට.
“මෙතන කතා කරන්න බෑනේ. එලියට ගිහින් කතා කරමු”
කොල්ල එහෙම කියපු එකත් හොදයි. මෙතන කොහොමත් කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයිනේ තියෙන්නෙත්. දෙන්නත් එක්කම ගියා දියතට. කතා කරන්න පහසුම සහ ළඟම තැන නිසා.
“මම සචින්”
“මම සිතුමි”
“අම්මෝ අදනම් ඊයේ තිබුන කට නෑ කෙල්ලගේ. මම නම් හිතුවේ ඊයේ තිබුන තරහ හැටියට අද දැකපු ගමන් බනින්න පටන් ගනී කියල. කොහොම උනත් මට සමාවෙන්න. නිදහසට හේතු කියන්න අවසර දෙනවද?”
“හ්ම්ම් කියන්නකෝ බලන්න”
“මේකයි නංගි. දවසක් මං ඔහොම බස් එකේ යද්දී ඊයේ වුනා වගේම වැඩක් වුනා ගෑනු ළමයෙක්ට. මම සාමාන්‍යයෙන් වැඩිය කතා නොකර ඔහේ පාඩුවේ යන කෙනෙක්. එදා ඒ අසික්කිත වැඩේ දැක්කත් මට කතා කරන්න ඕන කමක් තිබ්බත් ඒ ගෑනු ළමය කිසිම වෙනසක් නොපෙන්නුව නිසා මම මගේ පාඩුවේ ගියා. එත් පහුවදා ආරංචි වුනා ඒ ලමයව කවුද දූෂණය කරලා මරල දාල කියල. එදා මං ඒ ළමය වෙනුවෙන් කතා කලානම් අද ඒ ළමය ජිවත් වෙනවා. මට හොඳටම විශ්වාසයි ඒ මනුස්සය වෙන්නැති ඒ වැඩේ කලේ. එත් අවාසනාවට මට ඒ පාහරයගේ මූණ මතක නෑ. ඉතින් ඒ හේතුව නිසයි මට ඊයේ බලන් ඉන්න බැරි වුනේ”
“මට තේරෙනවා අයියේ. මටත් සමාවෙන්න. මාත් කෑගැහුව අයියට. ඒත් අද කාලේ කාවවත් විශ්වාස කරන්න බැරි කමටයි මන් එහෙම කතා කලේ”
“ඒකට කමක් නෑ නංගි. එහෙම තමයි ඉන්න ඕන. ඒත් ඊයේ වගේ රෑට තනියෙන් ත්‍රීවිලර් වල යන්නෙපා. පරක්කුම වෙලා තිබ්බොත් ගෙදර කාට හරි කතා කරන්න”
“ඔව් අයියේ මං දන්නවා. ඒත් ඊයේ වෙච්ච දේ එක්ක මට එහෙම නොකර ඉන්න බැරි වුනා”
“මොනවා උනත් නංගි බස් එකේ එහෙම කරදරයක් වෙනවනම් එතන ඉන්න අයට කියන්න හරි අර මනුස්සයට බනින්න හරි දෙපාරක් හිතන්නෙපා. අද කාලේ කෙල්ලොන්ගේ දුර්වල කමක් තමයි ලැජ්ජ වෙන්න වෙයි කියන බයට කතා නොකර ඉන්න එක. එත් බලන්න අර ගෑනු ළමයට වුනා වගේ වැඩක් තව කෙනෙක්ට වෙන්න පුළුවන්නේ. කෙල්ලෙක්ට හිංසාවක් වෙනකොට කෑගැහුවම අපි වගේ කොල්ලෝ ඇක්ෂන් එකක් ගන්න දෙපාරක් හිතන්නේ නෑ. ඒත් සමහර කෙල්ලෝ එහෙම වෙනවට කැමතියි. එහෙම වෙලාවට අපි මැද්දට පැන්නම අපි වෙනුවෙන් ඒ කෙල්ල ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ බය නිසයි කෙල්ලෙක්ට හිංසාවක් වෙද්දී එකපාරටම ඇක්ෂන් එකක් ගන්න අකමැති කොල්ලෝ”
“ඔව් අයියේ මට තේරෙනවා. අයියට ගොඩක් පිං ඊයේ මාව බේරගෙන ආරක්ෂිතව ගෙදර ළඟටම ගෙනත් ඇරලුවට”
“ඊයෙම මට මේ කතාව කියන්න තිබ්බ. එත් තේරුම්ගන්න පුළුවන් මානසිකත්වෙක නෙමෙයිනේ හිටියේ ඔයා. ඒකයි අද මුණ ගැහිලම කතා කරන්න හිතුවේ. සමහරවිට මාව වැරදියට තේරුම් ගන්නත් ඉඩ තියෙන නිසා”
“ඔව් ඒක ඇත්ත. මං ඊයේ හිටියේ ගොඩක් බයෙන් වගේම තරහෙන්. අයියට ගොඩක් ස්තූතියි. ගෑනු අයට හිංසා කරන ජාතියක් ජන්මයක් නැති පිරිමි අතරේ එහෙම පිරිමින්ගෙන් බේරගන්න අයියල වගේ කට්ටිය ඉන්න එක ගැනත් සතුටුයි. මාත් දන්න කියන හැම ගෑනු ළමයෙක්ටම කියනවා අයියා කියපු කතාව”
නිමි.
-ගීත්මා චතුරිකා-
උපුටා ගැනීමකි
No comments:
Post a Comment