The Elephant hunt

The Elephant hunt 🇱🇰💔 කෙටි කතාවක්

අපි ඇයට "නීලා "යැයි නම් තබමු.. ඇගේ පාරිශුද්ධ පෙම්වතා "දන්ත" ලෙස නම් තබමු..

ඉතිං මේ කතාවේ ඇරඹුම සුන්දර සැන්දෑයාමයක ගං ඉවුරක් අසබඩය..

ඇති වෙන්න ⁣දිවුල් ගෙඩි වලින් කුස පුරවා ගත් නීලා ඇගේ මවත් ඇත් පරපුරේ පිරිවරත් සමග සෙමින් සෙමින් ගංගාව අසබඩට පැමියේ සිසිල් පැන් උගුරක් බීමටය...

හැමදාමත් නීලාගෙ මව හොඩවැල වතුරට පෙවීමට පෙර කඩා ගන්නා ලද දන්ඩක් හෝ අත්තක් වතුරට දමා සොලවා බලා හිදින්නීය... ඒ නීලා ඉපදෙන්න පෙර ඇගේ මිතුරියකට වූ අකරතැබ්බයක් කිසිදා නොමැකෙන ලෙසට නීලාගෙ මවගෙ මතකයේ රැදී ඇති නිසාවෙනි... කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ඒ ඇතින්න හොඩ වැල වතුරට එබුවා පමනයි ඇසි පිය ගසන වේගයෙන් කිඹුල් තඩියෙකු ඇගේ හොඩ වැලේ එල්ලී දුන් වේදනාව නිසා ඇය විදි වේදනාව අදටත් නීලාගෙ මවට මතකය...එදා පටන් ඔවුන් විවිධ උපක්‍රම යොදා ගත්හ...

මවගේ අඩි පාරේ යමින් සුන්දර නීලාද දන්ඩක් ගෙන දියෙහි ඔබා විමසිලිමත් වූවාය.. පලමුව නඩයේ ඉන්නා ශක්තිවන්තයා පැන් ටිකක් බී ඉවුරු කොන හිද කරදරයක් නැති බව අගවන්නට කුංචනාද කලේය.. නීලා එසැනින් දණ්ඩ පසෙකට විසි කර රිසි සේ පිරිසිදු වතුරින් කුස පුරවාගෙන හොඩ වැලින් දිය ගෙන සිරුර නහවා ගත්තාය... තවමක් ඉර බැස යන්නට හෝරා කිහිපයක් ඇත ... නීලා තම මවගේ අවදානෙන් මිදී සෙමින් සෙමින් මින් පෙර නොගිය වන බූටෑව වෙතට පියමන් කලේ තරුණ හිත තුල නලියන හිතුවක්කාර හැගීම් වලට ඉඩ දෙමින්ය.

🐘 🐘🐘🐘🐘🐘🐘🌽🍌🍆🍠🌳🍀🌿🌱

කන්කලු කුරුලු කූජනයන්ට කන්දෙමින් අලුතින් දළු දැමු ගස් අතු අනුභව කරමින් නීලා නොදැනුවත්වම බොහෝ දුර ඇදී තම සනහුරෙන් ඈතට පිය නගා ඇති බව වැටහෙද්දි ඇය පමා වැඩීය... අදුර රජ කරමින්
ඇය වටා එතෙද්දි නීලා බියට පත්වූවාය.  ඒ කවරකට වත් නොවේ.. කොටි හපුවෙකුගේ ගද දැනීය.. කොටියා ඇගේ
සතුරෙකු බව ඇය දැන සිටියාය... නමුත් අද වෙනතුරුම ඇය සිටියේ තම මව සෙවනේය ..නමුත් දැන් මවගේවත්
තමන්ගේ ඇත් සනහුරේවත් පිහිටක් ලබන්නට අවට ඔවුන් නැත....

නීලා අඩි ඉක්මන් කර එලි පෙහෙලි කල බිමකට ආවාය...

සුලග පමනක් හඩ නගා කතා කරන ඒ බිම තුල අන් කිසිවෙකුත්
නොමැති තරම්ය.... නීලා උඩු සුලග ඉව වැටී මදක් දුර පිය නැගුවාය... මින් පෙර වනයේ සිටියදී නෙකෑ මිහිරි බඩඉරිඟු කරල් ගස් පිටින් උගුල්ලා ඇය කන්න ගත්තේ කිසිවෙකුගේ බාධාවක් නැති නිසාය ... බතල අල කිහිපයකටද කෙසෙල් කැනෙන් අඩකටද ඇය වග කීවාය..

අනපේක්ෂිත ලෙස එක් වරම තමා වෙතට වේගයෙන් රතු එලි කිහිපයක් වේගයෙන් ඇදි එනවා නීලා බලා සිටියේ පුදුමයෙනි.. ඒ ගිනි පෙලි බව ඇය නොදත්තාය... ගිණි කන වැටුන නීලා එදෙස බලා ඉද්දි තමා වෙතට කොහෙන්දෝ දිව ආ සද්දන්තවයෙකු ඇගේ උරේ ගැටී වේගයෙන් කැලය වෙතට දුවන්න ගත්තේ අනතුරු හගවන නාදයක් නංවමිනි ... පියවි සිහියට ආ නීලා ද
සද්දන්තයා අනුගමනය කරමින් ඔහු පිටුපසින් දුවද්දි මද දුරක් ඔවුන් හඹා ආ ගිනි පෙලි පසුව නතර වෙනු ඇය දුටුවද නැවත ඒ දිහා බලා ඉන්නට බිය වූවාය.. එනිසා කරන්නට වෙන යමක් නොතිබූ හෙයින් ඇයට සද්දන්තයා අනුගමනය කරනු හැර වෙනත්
යමක් නොදිටීය.  .

🌿🐘🐘🐘🐘🌿

නීලා උදෑසන අවදි වෙද්දි තමන් ඉන්නේ කොහිද යන්න
වටහා ගන්න තැත් කලාය.. තමා ඊයේ ආවේ එක් සද්දන්තයෙකු පිටුපසින් බව වැටහුනු ඇය වහා නැගිට වට පිට බැලුවාය.. නැත කිසිවෙක් නැත. අතු ඉති කැඩුණු මග
දිගේ ඇය පියවර තැබුවේ සැකයෙනි...

ඇය බලාපොරොත්තු වූ අයුරින්ම සද්දන්තයා විලක බැස නෙලුම් මල් කමින් හුන්නාය... දිගු කිරි පැහැ දළ වලින් යුතු තේජවන්තයා ගාම්භීර ලෙස විල මැද්දට ගොස් දිය කෙලින්නට වූවේය.. මීට පෙර මෙවැනි හැඩි දැඩි අයෙක් නොදුටු නීලා දන්තයා දිහා ඇස් පිල්ලම් නොගසා බලා සිටියාය.  නොදැනුවත්වම ඇය පයක් ඉදිරියට තබද්දී වියලි කෝටු කිහිපයක් පෑගී හඩක්
නැගුනි... දනතයා ඉවෙන් ඒ ඇය යැයි හදුනා ගත්තද නිකමට වත් නොහැරී දිය කෙලිමින් විනොද වන්නට විය..

තමාව නොසලකා හැරිය බව දැනුන හෙයින් නීලා මොහොතක් වත්
එතැන රැදී නොයිද ආ මග සොයා නැවතත් කැලය වෙතට පා නැගුවාය..බොහෝ දුර පිය නැගුවද ඇයට තමන්ගේ පවුලේ කෙනෙකුගේ ඡායවක් වත් දැක ගත නොහැකි විය... දරාගත නොහැකි පිපාසාවත් වෙහෙසත් නිසා ඇය ගල් තලාවක් පාමුල වැතිරුනාය ...

🐘🐘🐘🐘

දවස පුරාම කැලයේ කරක් ගැසුවද ගොදුරක් සොයා ගත නොහැකි වූ නිසා කොටියා සිටියේ කුස
ගින්නේ වෙව්ලමිනි.. දිය කඩිත්තකින් පිපාසාව නිවාගෙන ගල්තලාව මුදුනේ සිට වට පිට බැලුවේ ගොදුරක් ඇස ගැටේවායි සිතමිනි.... නිසසලව තමන්ගේ ගුහාව අසල වැතිර සිටිනා තනි ඇතින්න දුටු කොටියාට අමුතු ජවයක් දැනුනි.. තොල කට ලෙවකා සෙමින් සෙමින් පාද තබමින් ගල මුදුනේ සිට කොටියා කුරුමානම් අල්ලමින්
පනින්න සුදුසු තැනක් පරික්ෂා කලේය...

මේ වෙන්න යන දේ ගැන
කිසිත් නොදන්නා නීලා නින්දට වැටි හුන්නාය.... ගතවූයේ තත්පරයකි. එක පිම්මෙන් නීලාගෙ පස්ස ගාතය වෙත පීනූ කොටියා උල් දත් වලින් ඇගේ පස්ස ගාතයේ එල්ලුනි.... අනපේක්ෂිත සිදුවීමෙන් බියටත් කලබලයටත් වේදනාවටත් පත් නීලා නැගිට දුවන්න හැදුවද කොටියා ඇවිදින් ඇගේ කනේ එල්ලුනෙන් ඇයට කර කියා ගත හැකි දෙයක් නොවීය ... ඇය හැකි උපරිමයෙන් හඩ නගන්නට වූවාය...

අතු ඉති කැඩෙන හඩ අතරින්
කොටියාටත් නීලායත් සිදුවන්නේ කුමක්ද කියාවත් සිතන්නට මොහොතක් ලැබුනේ නැත..... හොඩ වැලකට  එතුනු කොටියා උඩින් ගිහින් ගල් තලාවේ වේගයෙන් ගැටී ප්‍රාණ නිරුද්දව
බිමට වැටුනි.... හිස් කබල ගලක ගැටී පැලී ඇත...

නීලා පිටුපස හැරි බලද්දී ඇගේ පිටුපසින් සද්දන්තයා බලා හිදිනු දුටුවාය..

ඇය ස්තූතිය පලකරන්නට හඩක් නගා ඔහු දෙසට ගමන්  ගමන් කලාය... ඔහුද එය පිලිගත්තා සේ ප්‍රතිචාර දක්වා කැලය තුලට පියවර තැබුවේය නොදන්නා මහ කැලයේ තනියෙන්
ගමන්
කර කර ගත් මෝඩ කම ගැන බියවූ නීලා සද්දන්ත දන්තයා පිටුපසින් ගමන් කලාය ... ඇය ආරක්ෂාව දැනුනි.. පොකුණක් අසල දන්තයා නැවතුනෙන් ඇයද නැවතුනාය. දන්තයා විලට බැස නෙලුම් අල ගලවා නීලා දෙසට විසි කලේය.. නීලාද ඒවා අනුභව කරමින් කුස පුරවා ගත්තාය.. නැවතත් දෙදෙනාම ගමන්
අරඹන්නට පටන් ගත්හ.. කෙමෙන් කෙමෙන් තමාට මේ පරිසරය හුරු බව හැගෙද්දි ඇය දැනුනේ සතුටකි.. දන්තයා ඇයට උපකාර කර ඇත...

බර අතු කැඩෙන හඩින් තම පිරිස ලගම ඇති බව දැනගත් නීලා සතුටින් කෑ ගැසුවාය.. එය හදුනාගත්තා සේ කිහිප තැනකින්ම කුංචනාද ඇසුනි .. දන්තයා ඉන් එහාට ගමන් කලේ නැත... නීලා ඔහු පසු කරමින් වේගයෙන් කැලය තුලට දුවද්දී දන්තයා කන් සොලවමින් පිටුපා දුවන නීලා දෙස බලා සිටියේය.. නීලාගේ මව පදුරු අතරින්
දිවවිත් ඇය හදුනාගෙන තුරුලු කර ගත්තාය.. කෙමෙන් කෙමෙන් එකා දෙන්නා පැමින නීලාගේ ඇගේ හැපෙමින් සතුටින් කුංචනාද කරද්දි විශාල ඝෝෂාවක් නගමින් දුහුවිලි අවුස්සමින් ඇතෙකු දන්තයා වෙතට දිව ගියේය ...

නීලා එය වලක්වන්නට දිව යන්න හැදුවද නීලාගෙ මව එය වැලක්වීය...

දන්තයාත් තමාගේ නඩයේ ඇතාත් පොර බදිද්දී තවත් බලා සිටිය නොහැකිවූ නීලා මවද තල්ලු කොට ඒ දෙසට දිව්වාය....

වෙහෙසවූ ඇතා දන්තයාගෙන් මිදී පසුපසට යද්දි නීලා ගොස්
ඔවුන් අතර හිට ගත්තාය.

ඇය හඩ නගමින් ඒ සතුරෙකු
නොවන බව අගවන්න උත්සාහ කලාය.. අවසානයේ වෙහෙසට පත් වූ ඇතා නැවතත් කැලයට වැදුනේ දන්තයා හා සටන් කිරීම අණුවන ක්‍රියාවක් බව වැටහුන නිසාවෙනි.

🐘🐘🐘🐘🐘

දින සති මාස වලට පෙරලෙද්දි දන්තයා නිතර නිතර අලි පවුල හා ගැවසෙනු දකිනු සුලභ දෙයක් විය.. තේජවන්තයා ඇලුම් කරන්නේ නීලාට බව කිසිවෙකුටත් රහසක් නොවීය .

විටින් විට අලුත් පල වැල නෙලා නීලා වෙත දිගු කරමින් ශක්තිය විදහාපාමින් ඇගේ සිත දිනා ගන්නට දන්තයා වෙහෙසුනි... අවසාවනයේ ඇගේත් නීලාගේ මවගේත් කැමැත්ත එකිනෙකාට හිමි විය ... දන්තයාත් නීලාත් පෙම්සුව විදින්නට කැලයට පියමං කලේ දගකාර කෙලිලොල් ජීවිතයට අඩගසනා සුවද මලින් ගැවසුන කැලෑ රොද වෙතටය.

🐘🐘🐘🐘

ඇතින්නකගේ ගැබ්බර කාලය මාස 22කි.. නීලාද මහ මෙරක් තරමට තම කුස තුල දගකරනා සුරතල් පැටියා මෙලොව දකිනා තුරු නොයිවසිල්ලෙන් බලා සිටියාය.

නීලාට පෙරදාක අනුභව කල බඩඉරිඟු කරල් මතක් විය... ඇයට ගිනි පෙලි ගැන බියක් නොදැනුනි .. ඊට වඩා ඇගේ දොලදුක ප්‍රභල විය . ඇය යන ගමන් මග අදුරා ගත් දන්තයාද ඇය පිටුපසින් ගමන් ගන්නට විය .. නීලා අවසානයේ තමාට අවැසි තැනට ආවාය... උලමෙකුගේ මූසල හඩ වනයෙන් නැගෙද්දී නීලා එය ගනනකටවත් නොගෙන ඉරිගු කන්නට වූවාය.

විනාඩි කිහිපයක් ගතවන්නට ඇත... දන්තයාට අනතුරක සේයාවක් ඉවෙන් දැනුනි.. ඔහු නිවැරදිය.. වෙඩි වරුසාවක් එල්ල වෙද්දී දන්තයා දරුගැබ දරා ඉන්නා නීලාව ආරක්ෂා කරමින් වනයට දුවන්න උපකාර කලේය .

සිරුර පාසාරු කරගෙන ලේ විදිනා තුවාල වලට හිත යොමු නොකර නීලාව ආරක්ෂා කරන්න හිත ධෛර්යමත් කර ගත්තේය..

නීලා හතිදාගෙන කැලය තුලට වැදුනාය.. ඇයට දශමෙකවත් සීරීමක් නැත.

ඇය බලා සිටියේ පදුරු අතරින් ඇදී දන්තයා එනතුරුය.... දන්තයාට තවදුරටත් වේදනාව දරා ගත නොහැකි බව දැනනි..ඔහු එතැනම දණ ගහගත්තේය.. හතලිහකට ආසන්න උන්ඩ ප්‍රමානයක් සිරුරේ තැනින් තැන පාසාරු කර ගිය වේදනාව දවද්දී දන්තයා ගේ අවසන්
සුසුම වා තලයට මුසුවී ගියේය.... නීලා තවමත් එතැනම නතරව බලා හිදියේ නැවතත් නොඑන ගමන් ගිය ආදරණීය දන්තයා එනතුරුය .

දඩයම්කරුවන් මොහොතක්වත් පමා නොවී මිය ගිය දන්තයාගේ දළ කපා ගත්හ .  ..

නීලා සොවින් හූල්ලද්දීත් නීලාගේ පැටවා මොලොව එලිය දකිද්දීත් දන්තයා ගේ සිරුර පොලවට පස්වෙද්දී නීතිය නිහඩව ඉද්දීත් මිහිතලය බලා සිටියේ දඩුවම් දෙන්න සුදුසු කාලය එනතුරුය....

තවමත් ඇය බලා හිදී... දන්තයාගේ පුත්‍රයා එහෙ මෙහෙ දුවමින් දග කරනුද ඇය බලා හිදී.... කවදා හෝ පව්කාරයන්ට දඩුවම් ලැබෙනු ඇත... සමහර විට දන්තයාගේ පුත්‍රයාද දන්තයාගේ ඉරණමට ගොදුරුවේවි... නමුත් හොද මිනිසුන් කට පියන් ඉන්නා තුරු බොරුව ,අවැඩ රජ කරාවි...
සොබාදහම බලා හිදින්නේ හොද මිනිසුන් ඔවුන් වෙනුවෙන් පෙනීසිටින්න නැගිටින තුරුය.

🇱🇰 යශෝධා කළුවැල්ල.
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment