ආයේ නුඹ නෑ කියා

"ආයේ නුඹ නෑ කියා"
කෙටි කතාව

"උඹට මාව ගැලපෙන්නෙ නෑ. උඹ මාව අත ඇරලා යයි" ඉස්සර මගෙ පොඩි වෙනසක් දැනුනම ඔයා තරහෙන් කිව්වෙ එහෙමයි නේද?

ඉස්සර මට රිදෙයි කියල බයේ මගේ චූටි ඇඟිල්ලෙන් ඔයා අල්ලන්නෙ.. 😊😊 ඒ අතීතය කොච්චර සුන්දරද?

"මේ රිසාල්ට් එනවලු.. කාටද රිසාල්ට් ආව ගමන් කියන්නෙ?" ඔයා අහනවා.

"වෙන කාටද අපෙ අම්මට." මමත් විහිලුවට කියන්නෙ.

"අම්මට පස්සෙ?" ඔයා මූණ ටිකක් අවුල් කරන් අහනවා.

"අම්මගෙන් පස්සෙ අක්කටනෙ අනේ." මම නෝන්ඩියටත් එක්ක කියන්නෙ.

"හා... ඊට පස්සෙ?" බලාපොරොත්තු පුරෝගෙන ඔයා අහනවා.

"ඊට පස්සෙ ලොකු අයියට.. එයාගෙ වයිෆ්ට.. ලොකු අම්මට.. ආයෙ....." මම ඉතින් කල්පනා කරනවා. මූණත් එල්ලගෙන ඔයා නැගිටල යනවා. මට ඉතිං දුකයි. කොච්චර වැඩ තිබුනත් ඒ අස්සෙත් මගෙ හැමදේම අහගෙන ඉන්නවනෙ.

"මේ... ඉතිං ඇහුවෙ නැහැනෙ එකක්." මම දුවගෙන ගිහින් අතේ එල්ලිලා අහනවා.

"අත අරින්න... පාරෙ මිනිස්සු හිනාවෙයි ඔයාට." ඔයා කියනවා. මම අතේ එල්ලිලාම ඉද්දි ඔන්න ඔයා මගෙ ඔලුව ආදරෙන් අත ගානවා.

"හොඳ මැණිකනෙ මගේ.. මට නම් කමක් නෑ. මම ආසයි මගෙ කෙල්ල මගෙ අතේ එල්ලිලා ඇවිදිනවට. ඒත් ඔයාට නරක නාමයක් ආවොත් ඒක පව්.. ඒ නිසා අත අරින්නකො." ඔයා ආදරෙන් කියද්දි මගෙ හිතෙත් ඉතිං ආදරේ දෝරෙ ගලනවා.

"හරි එහෙනම්." මම ඔයාව අත ඇරලා එහාට වෙනවා.

"මොකටද ඔච්චර එහාට ගියේ?" ඔයා හිනාවෙවී අහනවා.

"අතේ දුරින් ඉන්න එක කෝකටත් හොඳයිලුනේ..." මම ඇදලා පැදලා කියද්දි ඔයාට හිනයි.

"හරි හරි. අර මොකද්ද මට අහන්න අමතක උනා කිව්වෙ?" දැන් සේරම තරහ හොඳයි. ඔයා අහනවා.

"රිසාල්ට් බලන්නෙ කවුද කියල ඇහුවෙ නැහැනෙ ඔයා." මම ඔය ඇස් දිහාම බලාගෙන කියනවා.

"ඇත්තටම කවුද බලන්නෙ? ආ වෙන කවුද ඔයානෙ බලන්නෙ?" ඔයා කියනවා.

"මැට්ටා... මම නෙමෙයි. රිසාල්ට් බලන්න ඕනෙ ඔයා. ඔයා ඉතිං මගේ සර්නෙ... ඔයාම රිසාල්ට් බලන්න." මම කියද්දි ඔය මූණෙ හිනාව පිරිලා.

එහෙම ආදරෙන් ඉඳලා මම ගෙදර එන්නෙ පුදුම ලෝබකමකින්. 😇😇

"ස්නේහා බලනවා." ඔයාගෙන් මැසේජ් එකක්.

"හා ඉතිං..." මම රිප්ලයි කරනවා.

"මම මේක බලන්නෙ ඔයා නිසා." ඔයා ආයෙම මැසේජ් එකක් එවනවා.

"මම නිසා? ඇයි ඒ?" මටත් පුදුමයිනෙ.

"ස්නේහා ඔයා වගේ... මගෙ පබාවතී..." ඉස්සර ඔයා කියන්නෙ මම උපේක්ෂා වගේ කියලා. මම රණ්ඩු වෙනවත් එක්ක. ඔයා එතකොට කියන්නෙ....

"හරි හරි මූණ විතරයි. වැඩ නෙමෙයි." ඔයා හිනාවෙවී කියනවා. මාත් ඉතිං හිනාවෙනවා.

"මගේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක පාරෙ යන්න බෑ. මම කබ්බා වගේ.. එයා සරුංගලේ වගේ යනවා. ඉස්සර චාර්ටඩ් ක්ලාස් යද්දි එයා ඉස්සර වෙලා යනවා මම පස්සෙන් යනවා." ඔයා මගෙ අහිංසකකමට ආදරේ කරද්දි එහෙමයි කිව්වෙ.

"ඉතිං ඔයා මාත් එක්ක යන්නත් ලැජ්ජයිනෙ..." මම කියද්දි ඔයා හයියෙන් හිනාවෙනවා.

"හිනා නෙමෙයි. මම කිව්වෙ ඇත්තනෙ." මම මූණ පුම්බන් කියද්දි ඔයා මගේ කම්මුල් දෙකෙන් දෙපැත්තට අදිනවා හිනාවෙවී.

"මෝඩයෝ රිදෙනවා." මම ඔයාගෙ මූණම පහුරු ගානවා කැගහ ගහ.

"නියම ගුරු ගෞරවය." ඔයා මාව අත ඇරලා කියනවා.

"ගුරුවරයා එහෙනම් ගුරුවරයා විදියට ඉන්න එපැයි. මොකටද මේ පොඩි කෙල්ලො එක්ක මඟුල් නටන්න ආවෙ." මම තරහෙන් කියන්නෙ.

"මගෙ මැණිකට ආදරේ හිතුනනෙ." ඔයා මගෙ චූටි ඇඟිල්ලෙන් අල්ලගෙන කියනවා. මට එතකොට තරහ අමතක වෙලා හිනායනවා. මගෙ මෝඩයගෙ වැඩ වලට.

දවසක් ඔයා කෝල් එකක් ගත්තා....

"කැම්පස් යද්දි යාලු වෙලා ඉඳපු ගෑණු ලමයා ගෙදරට කියලා පරණ ඒවා. එයාලා ප්‍රපෝසල් එකක් ගෙනත්. සුදු මැණිකේ මම මොකද්ද කරන්න ඕනෙ?" ඔයා ඇහුවා.

"බඳින්න වයසත් හරි නේද? ඔයාට මොකද හිතෙන්නෙ?" මම එහෙම ඇහුවා. අනේ මම හිතුවෙ විහිලුවක් කියලා. 😔😔 ඔයා හැමදාම එක්කො ක්ලාස් එකේ කෙල්ලෙක් චිට් එකක් එව්වා කියයි.. ඇහැක් ගැහුවා කියයි. විහිලු කරලා මාව අවුස්සන්නනෙ ඔයාට ඕනෙ.

"දැන් අම්මටත් වයසයි.. එයාටත් ඉක්මණට ලේලි කෙනෙක් ඕනෙලු." ඔයා කිව්වා. වටෙන් එන්නෙ ඔයාට ඉක්මණට බඳින්න ඕන කියන්න. මම හිනා උනා. මට අද වගේ මතකයි.

"එහෙනම් ඉතිං ඉක්මණට බඳින්න වෙනවනෙ." මම ඒ හිනාවෙන්ම කිව්වා. ඔයා වෙනදත් විහිලු කරනවා. මගෙ ආදරේ වැඩි කරගන්නනෙ ඒ.. ඔයා එහෙම නොකරත් අනේ මම ආදරෙයි.

"සුදු මැණිකේ ඇත්තමයි මේ..." ඔයා ඒ ටික කියද්දි ඔයාගෙ හඬ බිඳුනා.

"ඒ කියන්නෙ?" මමත් ගල් ගැහුනා. ඒත් මම කතා කලා.

"ඇත්තටම මේ ඉරිදට එයා එනවා මෙහේ. එයා දැන් ටීචර් කෙනෙක්." ඔයා කිව්වා.

"එහෙනම්..... ඔයා එයාව බඳින්න. කමක් නෑ... මාව බඳින්න හිටියොත් ඔයාට තව අවුරුදු හයක්වත් ඉන්න වෙනවා. එතකොට ඔයාට...." මම එහෙම්මම කතාව නැවැත්තුවෙ ඔයාගෙ හිත රිදෙයි කියලා.

"ඔව්... එතකොට මම වයසට යනවනෙ... ඒත් මට ඔයාව අමතක කරන්න බෑ..." ඔයා ඇඬුවා. මට ලෝබයි. දුවගෙන එන්න තරම් හිත.

"අනේ අඬන්න එපා. අපි ආයෙම හම්බෙමු. ලබන ආත්මෙදි හරි..." මාත් අඬ අඬමයි කිව්වෙ.

"මම එයාට බෑ කියන්නම්." ඔයා කිව්වා.

"එපා... කැම්පස් යද්දි සිද්ද උන දේවල් ඔයාමයි මට කිව්වෙ. ඔයා එක්ක යාලු වෙලා ඉඳලා නැවත්තුවෙත් එයාමනෙ. ඒත් තාමත් එයාට වෙන කෙනෙක් ගැන හිතන්න බැරුව ඇති. ඒකනෙ එහෙම එන්නෙ. කමක් නෑ. එයාව බඳින්න. මම වෙනුවෙන් ඉන්න එක ඔයාටයි අම්මටයි වෙන අසාධාරණයක්." මම හිත හයිය කරන් කිව්වෙ. අනේ මම හිත ඇතුලෙන් අඬපු තරමක්.

"ඉරිදයින් පස්සෙ අපි බලමු වෙන දෙයක්." ඔයා එහෙම කියලා ආයෙම මොන මොනවද කතා කරලා කෝල් එක කට් කරා. කොට්ටෙ පෙඟෙනකන් ඇඬුවා මම. එළි වෙනකන්ම එක සීරුවට.

"අපි දෙන්නගෙ වයස් පරතරය ගොඩක් වැඩියි. කවද හරි ඒක අපිට බලපායි." මුලදිම මම ඔයාට කිව්වා. ඔයා ඇහුවෙ නෑ. මම ඔයාට වඩා අවුරුදු නමයක් බාලයි. අපේ ගෙදරින් කීයටවත් කැමති වෙන්නෙ නෑ. මම ඔයාට කියද්දිත් ඔයා ඒ ප්‍රශ්න මග අරිනවා.

"සුදු මැණිකේ... මම ඔයාට ආදරෙයි... මට ඔයාව ඕනෙ. වයස කියන්නෙ ඉලක්කම් විතරනෙ." ඔයා ඉස්සර හරි හරි පණ්ඩිත කතා කියලා ඒක මට අමතක කරවනවා. අන්තිමට ඒත් මට උනේ මොකද්ද කියල පේනවද? 😭😭😭

"සුදු මැණිකේ... කසාදෙ තීන්දු උනා. අම්මට ඉහලින් වචනයක් කියන්න බැරි නිසා ඉවසුවා. මම මොකද්ද කරන්නෙ?" ඔයාගෙන් මැසේජ් එකක් ආවෙ ඉරිදා රෑත් වෙලා. ඇඟම පණ නැති උනා. රිප්ලයි එකක් යවාගන්නවත් බැරුව ඇඟිලි තුඩු වෙව්ලුවා.

"මම.... අයියේ..." එච්චරයි ටයිප් කරගත්තෙ සෙන්ඩ් කරා.

"ඔයා කෙලින් වචනයක් දුන්න නම් මට මෙහෙම කරන්න වෙන්නෙ නෑනෙ. අම්මට කියමු කියලා මම කියද්දි ඔයා තමයි පහු කලේ." ඒ පාර මටම බනිනවා. එවෙලෙ නම් කේන්ති ගියා.

"හරි ඉතින් ඔයාට නරකක් උනේ නෑනෙ ඒකෙන්. කසාද බැඳල සතුටින් ඉන්න. ආයෙ මම නෑ." මැසේජ් එකක් ගහලා සිම් එකත් ගලවල තලල තලල දැම්මා. කාමරේ දොරත් වහගෙන ඇඳට වැටුනා නින්ද ගියේ කීයටද දන්නෙත් නෑ.

පහුවෙනිදා ගෙදර ෆෝන් එකට කෝල් එකක් අරන් ඔයා කියල තිබුනා රිසාල්ට් අවුට් වෙලා මගෙ රිසාල්ට් බලන්න කියලා. මම සද්ද නැතුව හිටියා. හවස් වෙනකන්ම රිසාල්ට් බැලුවෙවත් නෑ මම. ඒ කේන්තියටමයි.

"සුදු නෝනා... මොකද මේ? රිසාල්ට් බලන්නෙ නැද්ද?" අම්මා අහනවා.

"මට ඕන ඇති රිසාල්ට් එකක් නෑ අම්මා. යන්නකො මෙතනින්." අම්මටත් බැනල එලවගෙන මම ඇඳට වැටුනා. ගෙදර ෆෝන් එකට කෝල් එකක් ආව ඇහුනා. අම්මා කතා කරනවත් ඇහුනා. පැහැදිලි නෑ. එච්චර ඇහුම්කන් දුන්නෙ නෑ.

"සුදු නෝනා... ඒ තුනයි." අම්මාගෙ සතුට දැනුනා ඒ කටහඬින්ම.

"හා..." මම එහෙම කියලා සද්ද නැතුව හිටපු විදියටම හිටියා. දවස් එක දෙක ගෙවුනා... ඔහේ ඉන්නන්වාලෙ හිටිය මිසක් ඒ ගැන හැඟීමක් තිබුනෙ නෑ. කට්ටිය ආවා සතුටට පාටියක් දැම්මා. කැම්පස් පාටියක්. මම පාස් වෙලානෙ.. මොකට පාස් උනාද මම. මට හිතුනෙ එහෙම.

මාස හතරයි ගෙවුනෙ... අලුත් සිම් එකක් දාගෙන මම ෆෝන් එකක් යූස් කලා. ඔයාට නම්බර් එකවත් දුන්නෙ නෑ.

"සුදු මැණිකෙ... පේපර්ස් ටිකක් තියෙනවා. බලල දෙන්න පුලුවන්ද? මට එක්සෑම් එකක්." ඔයාගෙන් මැසේජ් එකක්. මට කේන්තිත් ගියා. ඒ උනාට පව්නෙ. පහුවෙනිදා ආදරණීය මතක රැඳුනු පාර දිගේ ගිහින් ක්ලාස් එකට ආව මම.

"සුදු වෙලා..." ඔයා ඉස්සර වගෙම ආදරෙන්. මම ගණන් ගත්තෙ නෑ.

"පේපර්ස් කොච්චර තියෙනවද?" මම ඇහුවා.

"වැඩිය නෑ. මම ටිකක් බැලුවා.." ඔයා මගෙ ඇස් දිහා බලාගෙන. මට ලාවට පෙනුනා. මම ඒත් අහක බලාගෙනම හිටියා.

"හ්ම්ම්..." මම සද්ද නොකරම ඉන්න එක හොඳ නැති නිසා කිව්වා.

"ඉතුරු ටිකත් මම බලාගන්නම්. ලබන සතියෙ ටික දෙන්නම්." ඔයා කියද්දි මට ආවෙ පුදුම කේන්තියක්. ඒත් මේ මගේ අයියා නෙමෙයිනෙ. මම බිම බලාගෙනම හිටියා. ඉස්සර වගේම ඔයා එක ඇඟිල්ලකින් මගේ අත අතගෑවා. මගෙ ඇස් ඉස්සුනේ ඉබේටමයි.

"පොඩ්ඩක් ඉන්න." මට එහෙමම ඉන්න කියලා ඔයා මගේ ෆොටෝ එකක් ගහගත්තා ඔයාගෙ අලුත් ෆෝන් එකෙන්. මට කට කොණකින් හිනාගියා.

"එයාට සල්ලි තියෙනවනෙ. නේද?" මම ඇහුවා. ඔයා සද්ද නැතුව හිටියා.

"පේපර්ස් ටික මෙහෙ තියල යන්න. මම ඇවිත් ගෙනියන්නම්." මම එහෙම කියලා නැගිටලා ආවා. ඔයා බලන් හිටියා. එතනම එහා පැත්තෙ බිල්ඩින් එකේ වීදුරුවෙන් මම දැක්කා. ඒත් හැරුනෙම නෑ.

තව මාසයයි ගෙවුනෙ. ගෙදරට ඉන්විටේෂන් එකක් ආවා. කාර්ඩ් එකේ ලියල තිබුනෙ මගෙ නම. හොඳට බැලුවෙ මනමාල යුවලගෙ නම්. රත්තරං පාට අකුරෙන් ලියල තිබුනෙ ඔයාගෙ නම.......

"මම එන්නෙ කොහොමද? සොරි මට එන්න වෙන්නෙ නෑ." මම මැසේජ් එකක් දැම්මෙ වෙඩින් එකට කලින් දවසෙ.

"අපි පැනල යමු." ඔයාගෙන් ආව මැසේජ් එක.

"මම කැමති නෑ තවත් කෙල්ලෙක් අසරණ කරන්න. මට අයිති නැති දෙයක් මගෙ කරගන්න තරම් මම කුහක නෑ. හොඳින් ජීවත් වෙන්න. සතුටින් ඉන්න. බුදු සරණයි." ඒ මගේ රිප්ලයි එක. ආයෙ මැසේජ් ආවා. එකක්වත් බැලුවෙ නැතුව ඩිලීට් කරා.

කසාද බැඳලා පස්සෙ සතියෙ ඔයා ක්ලාස් කරලා තිබුනා. මම ආවෙ නිකමට. අකවුන්ට් ක්ලාස් එකට යනගමන්.

"ආව එක හොඳයි. ආ මෙන්න." ඔයා කාඩ් දෙකක් දික් කලා මට. මම හිනාවෙලා ගත්තට ඒ මොනවද කියල දැක්කම මගෙ පපුව කීරි ගැහුනා.

"ලස්සනයි. මම මේ කාර්ඩ් දෙක ගන්නද?" මම ඇහුවා. ඔයා හිනා උනා. දකුණු අතේ දාල තිබුන වෙඩින් රිංග් එක දැක්කම මට තවත් වාවගන්න බැරි නිසාම මම ඔයාට වැඳලා දුවලා ගියා. අදටත් මගෙ ලඟ ලැමිනේටින් කරලා ඔයාලගෙ තැන්ක් යූ කාර්ඩ් දෙක තියෙනවා. ලස්සනයි. 🙂🙂

අන්තිමට මට කියපු හැම කතාවක්ම බොරු කරලා ඔයා ලස්සනට ඔයාගෙ පළවෙනි පෙම්වතියගෙ අත ගත්තා. හැමදේම දරාගෙන ඉවසගෙන හිටියට මේ හිත තාමත් අඬනවා... පාලු හිතිලා දුක හිතිලා... ඒත් ඉතිං... ඔයා... මාව රැවැට්ටුවනෙ. 😔😔

හැමදාම හොර හොරාට ෆේස් බුක් අකවුන්ට් එකට ඇවිත් බලන්නෙ මොනවද අලුත් විස්තර කියලා.. ඒ ආදරේට. දැන් ලස්සන දුවෙකුත් ඉන්නවා. ඔයා මට එව්වනෙ ෆොටෝස්. නමත් ලස්සනයි... හැබැයි දෝණි ඔයා වගේ නෑ. එයා අම්මා වගේ.
____________________________________________________________________

මග අරිනව කියල හොඳටම දැනගත්තම අයින් උනේ පස්සෙන් යන්න යන්න අගේ අඩුවෙනවා කියලා හිතලා. 😓😓 අන්තිමට මම තනි උනා. මගේ අගයකුත් නැත්තටම නැති උනා.

ඉස්සර කියපු කතා සේරම බොරු නේද? ඔයා එයා එක්ක ආදරෙන් ඉඳල තියෙනවා. වයස හරි නිසා ඔයාමයි එයාට මැරි කරමු කියල තියෙන්නෙ. නේද? කමක් නෑ. රැවටුනත් මම ඇත්තටම ආදරේ කලා. අදටත් සමහර වෙලාවට හිත රිදෙන්නෙ ඒ මතක මතක් වෙලා.

දැන් ඔයා දියුණුයි. දක්ෂ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක්. ඔය ක්ෂේත්‍රයේ ඉහළටම යන්න ලැබෙන්න කියල සුබ පතනවා. පරිස්සමෙන්.

කවදහරි දවසක ඉස්සෙල්ලා මම යයි කියල ඔයා කිව්වෙ. ඒත් අන්තිමට මටත් කලින් ඔයා ගියා. අවසාන ගමනවත් ඔයාට කලින් මට යන්න ලැබෙයි කියල බලන් ඉන්නවා. සත්තයි ආදරෙයි තාමත්. ඒකයි මේ තරම් දුක 😓😓

නිමි.

තෙරුවන් සරණයි!
Sherangi Shanika.
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment