🌹💕දඬුවම💕🌹
කඩා හැලෙන්න ඔන්න මෙන්න තියන වැහි වලාකුළු අස්සෙන් ලැබුන පුංචි ඉඩෙන් බිම බලන්න දගලන ඉර එලිය උසාවි බිමට අරං ආවෙ මුස්පේන්තු බවක්.කිසිම කිසි දෙයක් නැති හිස් වෙච්ච හිතත් අරං උසාවි ගේට්ටුවෙන් එලියට ආවෙ කොයි පැත්තට යන්නද කියාවත් හරි හැටි නිනව්වක් නැතුව. කොයි පැත්තට හැරුනත් තව හෝරා කිහිපයකින් මේ නුවර අහස යටින් මා නික්ම යා යුතුය.
ජීවිතය ආදරය හැගීම් දැනීම් සිතුම් පැතුම් හැම දෙයක්ම මෙහි අතැර දමා නික්ම යා යුතුය. කුරා කූඹියෙකුට වත් වරදක් නොකර , පරම්පරාවක් ඉදිරියේ අපරාධකාරියක් වූ මා මේ මොහොතේ සිට ජීවිතාන්තය දක්වාම එයට දඩුවම් විදිය යුතුය.
පාර මාරු වී රේල් පාරත් පසුකර මම උඩ පාරට පැමිණ වැවරවුම දක්වා යන බසයකට ගොඩ වූයේ අන්තිම වතාවට දළදා මාලිගාවට යාමටය.. අවුරුදු එකොලහක මතක සටහන් මේ ආදරණීය නගරය පුරා විසිරී ඇත.
ජීවක මුතුබණ්ඩාර…. උසස් පෙල ජීවවිද්‍යා පංතියේදී අහම්බෙන් මුණ ගැහුණ දගකාර චරිතයක් . උසස් පෙලින් පසු අතහැර යාමට සිටි මේ නගරය තුල මා හට ආදරණීය නවාතැනක් සැපයූයේ ඔහුය. ඒ දැඩි බාහුවෙහි එල්ලී මා පිය නොනැගූ බිම් අගලක් මේ ආදරණීය නගරය තුල නැති තරම්.ය . මා මුතුබණ්ඩාර වලව්වේ චූටි මැණිකේ වන්නේ ඒ ආකාරයටය. අෂ්ඨක ,මගුල් බෙර පාවඩ මතින් මම අංජලී මුතුබණ්ඩාර වූයෙමි. තවත් වසරක් ආදරය මැදින් ජීවිතය ගලා යද්දී වියන් ඇද අසල බිත්තියේ එල්ලූ ළදරු පිංතූරයේ මකුළුවන් දැල් බදින්නේ නැන්දම්මාගේ මුහුණ අදුරු පැහැ ගන්වමිනි.
“මේ පාර වත් නැද්ද ලමයො” ඒ නැන්දම්මාගේ මාසික ප්‍රශ්නයයි.අංජලී මුතුබණ්ඩාර නම නොලියවුන වෛද්‍ය මධ්‍යස්ථානයක් නැති තරමය. පඩුරු වෙන් කෙරූ දෙව් කෙනෙක්, කිරි ආහාර නොපිදූ බෝධියක් නැති තරමය. සුවද විලවුන්, ආලේප බෝතල් එකින් එක ඈත් වෙද්දී නානා විද කසාය බෝතල් අවුරුදු ගානක් තිස්සෙ මා ලග තනි රැක්කේය.
ගැහැණියක් මවක් විය යුතුමද එය නියතයක් ද? නියමයක්ද? නීතියක්ද?.. ඒ කෙසේ වෙතත් දරුවෙකු නොලද වරදට මුතුබණ්ඩාර පරම්පරාව ඉදිරියේ මා අපරාධකාරියක් වී අවසානය. මා පෝරුවක නංවා තැලිපිළි පැලදවූ ඔවුහු විත්ති කූඩුවක් මතදී මගේ ගැහැණුකම අවලංගු කර දැමූහ.
ජෝයිබෝට් එක ලගින් බැස ගත් මම මාලිගාව අසලින් සතියකට වරක් හෝ දෙවරක් අප මල් මිලදී ගන්නා පිච්චමල් ආච්චි ලගට ගියෙමි.”නෝනෙ මොකද අද තනියම”ඒ ඇගේ ලෙන්ගතුකමයි. නමුත් අද සිට ලෝකය ඉදිරියේ මා මේ පැනයට පිලිතුරු දිය යුතුය.
~~~~~නිමි~~~~~~
තාරුකා කුලතුංඟ
No comments:
Post a Comment