පැතුම් වර්ශා

"අදත් දරුවා බලා ගන්න අර ගෑණි නැද්ද...? ශික් ඊයෙත් ඔය ගෑණි නැති හන්දා මගේ දවස ඉවර වුණා... අද නම් මට බෑ ගේ අස්සට වෙලා මෙයාව බලා ගන්න... මට ඔෆිස් යන්නත් තියේ..."

අදත් උදේ පාන්දර පටන් අරන්.. සද්දේ බාත් රූම් එකටම ඇහෙනවා.. දරුවා ඇහැරෙන්නේ නැත්නම් ඇති...

"සුමනාගේ දරුවා ලෙඩින්නේ.. ඒකනේ නැත්තේ අදත්.." 

මං බාත් රූම් එකේ ඉදලම කෑ ගහලා කිව්වා..

"ඒක හරි වැඩක්නේ.. ඒකිගේ දරුවා බලා ගන්නවට ද අපි සල්ලි දෙන්නේ.. මේ ගෑණිට සල්ලි අතට ගද්දි නම් හොඳයි.. මෙතන වැඩේ කරන්න බෑ.. ඉන්නවකෝ.. මං පඩි කපනවා..."

ඒ අසරණ ගැණිට අපෙන් ලැබෙන පොඩි මුදලත් මහ මෙරක් තරම්. සල්ලි වලට ආදරේ ගන්න බෑනේ...

මං මුකුත් නොකියම ඔෆිස් යන්න ලැස්ති වුණේ නැත්නම් මේකි මාත් එක්ක හරි එල්ලේවි...

"ඊයේ මං දරුවා බලා ගත්තනේ. අද ඔයා දරුවා බලා ගන්න.."

"මොකක්...?? තමුසෙට පිස්සුද..."

"පිස්සු නෙවෙයි පැතුම්.. අද මට ඔෆිස් එකේ ස්පෙශල් මීටින් එකක්.."

"එතකොට තමුසේ මට දරුවා ඔෆිස් ගෙනියන්නද කියන්නේ..??"

"ඔෆිස් බැරි නම් ඕන අහකට ගිහින් බලා ගන්න.. ඒත් අද දවස විනාශ කර ගන්න මට බෑ.."

ඒක යකාගේ කතාවක්නේ..

"දරුවෝ බලා ගන්න තමයි අනු අම්මල ඉන්නේ.. දරුව බලන් ගෙදර ඉන්නවා..."

මහ හයියෙන් කෑ ගහලා මං කිව්වේ මගේ අවසන් තීරණය...

මගේ සද්දෙට දරුවා ඇහැරිලා අඬන්න ගත්තා..

අරකි මටත් ගස්සන් බාත් රූම් එකට රිංග ගත්තා..

ශර්ට් එකේ බොත්තම් දාන එක පැත්තකට තියලා මං දරුවා නලවන්න ගත්තා... චූටි අහිංසක මූණ දැක්කම මගේ කේන්තිය එක පාර වාශ්ප වුණා..

තාමත් අවුරුදු දෙකාමාරක් වෙච්ච මගේ රෝස මල හරිම ලස්සනයි.. ගොඩාක් හුරතල්.. මගේ වගේම තිබ්බ කැරලි කොන්ඩෙ මගේ කෙල්ලටත් ඒ විදියටම තියේ... ඉතින් මං කොහොමද මගේ බෝනික්කිට ආදරේ නොකර ඉන්නේ..

" රෝස මල, සුරංගනාවියෝ අඬන්නේ නෑ... මේ තාත්ති වගේ හිනා වෙලානේ ඉන්නේ..."

ඔහොම කියද්දි මගේ පුංචි කෙල්ල අඬන එක නවත්වන බව මං අත්දැකීමෙන්ම දන්නවා...

"තාති, අද ඔයා මාත් එක්ක ඉන්නකෝ.. මමී එපා එයා නෝටි.. තාති ඔයා ඕනි සුරංගනවිට.."

ඔහොම කියද්දි කොහොමද මං දාලා ඔෆිස් ය්න්නේ..

"ආ හරිනේ.. තාත්ත ඉන්නවනේ.."

අනු ඔෆිස් යන්න් ලෑස්ති වෙන්න ගත්තා.. මගේ කේන්තිය දෙගුණ තෙගුණ වුණත් මේ වෙලාවේ මට කර ගන්න දෙයක් නෑ..

රෝස මල මට තුරුල් වෙලා ඉන්න නිසා මේකිට මුකුත් කියන්නත් බෑ...

"එක අතකට ඔයාමයි මෙයාව බලා ගන්න ඕනි.. මතකනේ.. බැඳලා ලයිෆ් එක එන්ජෝයි කරන්නත් කලින්ම බඩට ආපු මෙයාව හදන්න මට වද දුන්න හැටි...."

තවමත් සරාගීව දිදුලන තොල් පෙති වල තද රතු පාට ලිප්ටික් කූර උල උල කියද්දි නම් මට හිතුනේ ඇදලා අරං කනට දෙකක් දෙන්න.. අනේ අම්මපා මෙකි නම්..

මං තරහව හරි අමාරුවෙන් පාලනය කර ගත්තේ මගේ පපුවේ උණුසුම හොයන මේ බෝනික්කි නිසා..

දණෙන් අගල් 3ක් උඩට තියෙන ටයිඩ් සායකුයි, ඒකටම ගැලපෙන ඔෆිස් කිට් එකකින් සරසිලා ඒකි යන්න ගියා.. දරුවට උම්ම්මා එකක් වත් නොදි...

මං කෙල්ල එක්ක පහළට ගිහින් කෙල්ලට බොන්න කිරි හැදුවා.. මං ගෙදර හින්දා එයා නම් ෆුල් හැපි එකේ..

උදේ කෑමත් කාලා අපි කාර්ටූන් බලන්න ගත්තා.. පුංචි කෙල්ල කාටූන් බලන්න හරිම ආසයි..

එළියේ මහ හයියෙන් වහිනවා.. මං ජනේලේ ගාව ඉඳ ගෙන වැහි වතුරෙන් තෙමෙන මල් ගස් දිහා බලන් හිටියා...

අහේතුකව මේ වර්ශාව මට 'ඔයා මගේ නේද මහත්තයෝ' කියලා නිතරම අහපු වර්ශව මතක් කරා..

ඒ කාලේ මං කැම්පස් යන්න බලන් හිටපු කාලේ.. කැම්පස් යන්නත් අවුරුද්දක් විතර තියෙනවනේ.. මං හිටියේ පට්ට පාලුවේ... කොහොමත් මට කෙල්ලෝ හිටියා වටේම..

දවසක් මං බයික් එකේ රස්තා පාරක් දානකොට අහම්බෙන් වගේ බස් හෝල්ට් එකේ හිටපු ලස්සන කෙල්ලෙක් දැක්කා..

ඒකි මාරම ලස්සනයි.. දිගැටි ඇස්, දිග කොණ්ඩෙ, සුදු පාට පිරුනු කම්බුල් මට අනිත් කෙල්ලෝ ඔක්කොම අමතක කරා...

මට ඕනි වුණේ ඒකිව දාගන්න.. කොහොමත් කැම්පස් ගියාම සුපිරි කෙල්ලෝ හම්බෙනවනේ..

මුලින් මට ගණන් ඉස්සුවට සති දෙකක් තුනක් යද්දි ඒකි මට සෙට් වුණා..

ඒකි ඒලෙවල් පළවෙනි අවුරුද්දේ.. මං හිතුවට වඩා දුප්පත් පවුලක.. ඒත් පෙනුම නම් මේ හිත පිස්සු වැට්ටනවා...

සති ගාණක් ඔහේ ගත වුණා.. මගදි පාරේ කතා කරනවා.. ෆෝන් එකෙන් කතා කරනවා.. ඒත් මට මදි අප්පා..

ටික දවසක් යද්දි මට තේරුණා මේකි මට උපරිමයෙන්ම ලව් බව...

දවසක් මං කතා කරා ක්ලාස් කට් කරලා මාත් එක්ක ෆිල්ම් එකක් බලන්න යමු කියලා..

මුලින් මුලින් මේකි බැ කිව්වා.. පස්සේ කැමති වුණා.. කිව්ව වෙලාවට කිව්ව තැනට මේකි ආවා.. අපි හෝල් එක ඇත්ළට ගියා..

මේකි නම් ආවේ මාරම බයකින්.. මං ගත්තෙ බොක්ස් ටිකට්.. මට නම් මේවා නතින්..

එදා තමයි මං වර්ශට එච්චර ලං වෙච්ච පළවෙනි දවස... ඒ තොල් උඩ මගේ අකීකරු ඇඟිලි ගෙනියද්දි සත්තයි ඒ තොල් වෙව්ලුවා..

එච්චර කුලුදුල් බවක් මං මෙච්චර කල් ආශ්‍රය කරපු කිසිම කෙල්ලෙක්ගෙන් විදලා නෑ...

අපේ පළමු සිප ගැනීම හරිම ළයාන්විතව ගෙවී ගියා.. සුමුදු තොල් මගේ තොල් අතර හිර වෙද්දි වර්ශා මට ඉඩ දීලා ඇස් පියා ගත්තා...

එදා ඔයා ඇස් පියා නොගත්ත නම් මගේ හිතේ අතීතය ගැන පසුතැවීමක් ඉතිරි නොවෙන්න තිබ්බා...

"තාති ච්ඕල් එකක්..."

මගේ පුංචි කෙල්ලගේ සද්දෙට තමයි මං සිහියට ආවේ..

කෝල් එක කුමාගෙන්.. කොලේජ් කාලේ ඉදන් මූ එළ ෆිට් එක මගේ..

"හෙලෝ මචන්.."

"හෙලෝ උඹ අද නිවාඩු වගේ... අනූ එක්ක තාම ලයිෆ් එන්ජෝයිද බං ඛෙල්ල ගෙදර තියලා.."

මොකද්ද මේ මූ කියන්නේ.. බාගයක් ඇත්ත.. බාගයක් බොරු...

මං කරේ ඌට ඇහෙන්න හිනා වෙච්ච එක.. ගෙදර ගිනි ඌට කියන්න බෑනේ..

"කෝ.. කෝ.. ෆෝන් එක අනූට දියන්. මං අහ ගන්නම් කැම්පස් කාලේ වගේම ලස්සනට තාම ඉන්නේ කොහොමද කියලා.."

ඇත්ත.. අපේ බැච් එකේ හිටිය ලස්සනම කෙල්ල අනූ...

"අනූ ඔෆිස් බං.. මං මේ කෙල්ල එක්ක.."

මං හිතුවේ මං අද නිවාඩු බව දැන ගෙන ඌ මාව මඩවනවා කියලා..

" පිස්සුද බං.. දැං මං ඉන්නේ හොටෙල් ඕශන් එකේ.. දැං මෙතනින් අනූ ගියා උඹත් එක්ක.. මං උඹේ මූණ නම් දැක්කේ නෑ..."

"දැං උඹ ඉන්නේ රූම් නම්බෙර් 367 වල.."

මගේ අතින් ෆෝන් එක ගිලිහුනේ ඉබේටමයි...

"තාති... "

පුංචි කෙල්ල දුවන් ඇවිත් මට තුරුල් වුණා...

දඩි බිඩියේ උඩට ගිහින් කෙල්ලටත් ඇඳුමක් අන්දවලා ගේත් වහලා දූව කාර් එකෙන් තියලා සීට් බෙල්ට් දැම්මා..

කාර් එක අර කිව්ව හොටෙල් එකට ඩ්‍රයිව් කරේ හීනෙන් වගේ..

වර්ශා උඹ මේ වැස්සක් වෙලා ඇවිත් මට හිනා වෙනවා නේද..

කොහොමද දෙයියනේ මං මෙච්චර කරුමක්කර වුණේ...??

උඹ දීපු ගින්දර තමයි මේ.. මගේ යටි හිත කෑ ගහලා කියනවා..

දරුවත් වඩන් මං හොටෙල් එක ඇතුළට ගියා.. 367 ඔව්. මේ නම්බර් එක තමයි..

අරූ කිව්වේ ඇත්ත වුණොත් මං කොහොමද දරා ගන්නේ..? කෝ මේ කෙල්ලෙක්ට අම්මෙක්...?

ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවේ හොල්මන් කරද්දි වෙව්ලන අතින් මං දොරට තට්ටු කරා...

දෙපාරක් තුන්පාරක් නැත්නම් හතර පාරක් දොරට තට්ටු කරන්න ඇති..

අවසානයේ දොර ඇරියා..

වෙන කවුරුත් නෙවේ.. අනූගේ බොස්.. මාව දැක්ක ගමන් බය වුණා..

මං උගෙන් පිටිපස්සේ කාමරේ දිහා බැලුවා.. ශික් මං මේක නොදැක්කා නම්...

අනූ ඇඳට වෙලා හිටියා ඇඟේ නූල් පොටක්වත් නැතුව... විළි වහ ගත්තේ බෙඩ් ශීට් එකෙන්...

"තාතියෝ.. අපි යමුකෝ..."

මගේ බෙල්ලෙ එල්ලිලා කෙඳිරි ගාන පුංචි කෙල්ල මාව පාලනය කරා.. නැත්නම් මෙතනම මුං දෙන්නවම ඉවරයක්  කරනවා..

කේන්තියෙන් ආපහු හැරිලා මං ගෙදර ආවා..

කඩෙන් ඔඩර් කරපු කෑමත් කවලා මං දුවව නිදි කරා..

ඇස් වලට කඳුලු එන්නේ නොහිතම.. මං මෙච්චර අසරණ වෙලා නෑ කවදාවත්ම..

තිබ්බ කේන්තියට ඒකිගේ බඩු ඔක්කොම දොරකඩට විසී කරා..

වේ.. කමේ ගියා නම් මගේ ගෙදර ඉඩක් නෑ..

සති කිහිපයක් ගත වුණා.. මං ගෙදර අයටත් හැමදේම කියලා අරකිගෙන් ඩිවෝස් එක ඉල්ලුවා..

මට විතරක් නෙවෙයි දරුවටවත් ආදරේ නොකරපු ගෑණියෙක්ගෙන් මට වැඩක් නෑ..

කෙල්ලට මං ඉන්නවා.. මට පුලුවන් පුංචි රෝස මල බලා ගන්න..

අඩුම ගානේ මේකි දරුවවත් ඉල්ලුවේ නෑ.. ඉල්ලුවා නම් මං මේකිව එතනම ඉවර කරන්න හිතා ගෙනයි මං ගියේ..

එච්චර කොහෙද මව් සෙනෙහසක්..

මං ජොබ් එක ගමට හදා ගත්තා.. වෙච්ච දේවල් වල හැටියට මෙහේ ඉන්න අමාරුයි.. දු පැටියගේ අනාගතේටත් ඒක හොඳ නෑ..

මං ගමට යන්න තීරණය කරා.. දැං ගමත් නගරයක් තරම්ම ගෙවල් වැහි වැහැලා.. අම්මත් මගේ තීරණයට ගොඩක් කැමති වුණා..

මාස දෙකක් ගත වෙද්දි මට දික්කසාදය ලැබුණා..

එදත් වැස්ස දවසක්... කැම්පස් ආවම මට ඕනි වුණේ වර්ශව අත අරින්න.. මං කැම්පස් එකට එද්දිත් ඒකි මගේ අත් දෙක අල්ල ගෙන මගෙන් ඇහුවේ 'මහත්තයෝ.. මං ඔයාගේ විතරයි නේද..??' ඒක අහලා අහලම මට එපා වෙලයි හිටියේ..

කැම්පස් එකේදි තමයි අනූව සෙට් වුණේ... අනූට තිබ්බේ මාරම සරාගි ලස්සනක්.. වර්ශාගේ වගේ අහිංසක ලස්සනක් නෙවේ... අනූව දාගන්න කොල්ලෝ පොර කෑවා..

නිවාඩුවට ආවමත් මං ගිහින් වර්ශව හම්බුනා.. තනියම කතා කරන්න ඕනි කියලා මං ඒකිව අරන් ගියේ රූම් එකකට..

පණටත් වඩා මට ආදරේ කරපු කෙල්ල එක හුස්සමකට වත් මේ සල්ලාල කොල්ලව සැක කරේ නෑ...

මගේ අතින් ඒකිගේ පිරිසිදු කම ඇඳේ රෙද්දේ වැදෙද්දි පවා ඒකි මගේ පපුවට තුරුල් වෙලා ඉල්ලුවේ 'මහත්තයෝ මාව දාලා යන්න එපා' කියලා විතරයි..

ඒකි එදා මේ පපුවේ ඔලුව තියන් ගොඩක් ඇඬුවා..

මට දැනුනේ මගේ පපුව කඳුලු වලින් තෙත් වෙනව කියලා විතරයි.. ඒ කඳුලු වල හැන්ගිච්ච ආදරේ මං එදා තේරුම් ගත්තා නම්... හුඟක් දේ අද මෙහෙම නොවෙන්න තිබ්බා...

දුවට අකුරු කියවද්දි වත් මගේ සුරංගනාවිට අම්මා නෑ.. දුකක් නොදැනුණා නම් නෙවෙයි.. දවසක ඔයා මට ගොඩක් දොස් කියයි දුවේ..

අම්මා තමයි දුවව දාන්න මොන්ටිසෝරි බැලුවේ.. මොන්ටිසෝරි බාර දෙන දවසේ මගේ පැංචිව එක්කන් මාත් ගියා මොන්ටිසෝරියට....

පාරෙන් කාර් එක නවත්වලා මං බැලුවේ මොන්ටිසෝරියේ නම ගහපු බෝඩ් එක දිහා..

"පැතුම් වර්ශා"

මට මතක් වුණේ දවසක් වර්ශා අතේ ලියන් පෙන්නපු එක.. පැතුම් වර්ශා... අපි දෙන්නනේ කියලා පිරිච්ච කම්බුල් එක්ක හිනා වෙච්ච හැටි මට මැවිලා පෙණුනා...

"තාති බහින්නකෝ.."

මගේ සුරංගනාවිට ඉවසිල්ලක් නැති හැටි..

දුව කලින් දෙපාරක් අම්මා එක්ක ආපු හින්දා දුවට මෙතන හුරුයි..

"පුතේ.. ඇතුළේ මිස් ඇති.. පොත් ටික බාර දීලා එන්න.. අපි එළියේ සෙල්ලම් කරන්නම්.."

"බායි තාති..."

පුංචි දඟකාරි සෙල්ලම් කරන්න දිව්වා..

මං ඉතින් පොත් මල්ල උස්සන් ඇතුලට ආවා... මෙච්චර පොත් වල වැඩ කරනවද මන්දා..

දෙවියනේ... ලස්සන කහ පාට සාරියක් ඇඳලා හිටියේ වර්ශා...

එදා පළවෙනි දවසේ දැක්කා වගේමයි.. හරිම ලස්සනයි.. අහිංසකයි...

එදා අපි හමු වුණු අන්තිම දවසේ පාර මැද්දේ ඔයා මං ලඟ වැඳ වැටුණා.. මගෙන් ආදරේ ඉල්ලලා.. මට එදා ඔයා ගැන දුකක් නොහිතුනේ.. ආදරේ නොහිතුනේ මගේ කරුමෙට...

"එන්න පැතුම්.. දුවගේ පොත් ගෙනාවද..?"

ඇය මගෙන් අහන්නේ ඉස්සර අපි අතර මුකුත් නොවුණ විදියට..

එයාම මගේ අතේ තිබ්බ පොත් ටික ගත්තා..

"මට සමාවෙන්න වර්ශා.."

හුඟ කලක් තිස්සෙයි මට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනි වුණේ..

"ඒ දේවල් ඉවරයි.. දූ ඔයා වගේමයි නේද..??"

එයාට ඕනි කතාව වෙනස් කරන්න...

ඇත්තටම මං මෙච්චර වද දීලා ජීවිතේම විනාශ කරලා අත ඇරලා දාපු කෙල්ල මට මෙහෙම සලකද්දි ලොකූ ආදරයක් මගේ හිතේ ඇති වුණා..

"වර්ශා.. ඔයාගෙන් සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ.. ඒත් සමා වෙලා පුලුවන් නම් මං ගාවට එන්න වර්ශා.."

බිඳී ගිය කටහඬින් මං කලේ ආයාචනයක්..

ඒ මූණේ ඇදුනේ සිනා රැල්ලක්..

"පැතුම්.. ඔයා ගියා.. යන්නම යන්න ගියා.. මගේ, ආදරේ, විශ්වාසය හැමදේම දාලා යන්න ගියා.. ඒත් අහම්බයකින් ඔයා මං ළඟට ආයේ ඇවිල්ලා.. ඒත් කොහොමද මං විශ්වාස කරන්නේ මට වඩා ලස්සන පෝසත් කෙල්ලෙක් හම්බුනොත් ඔයා මාව අත අරින එකක් නෑ කියලා.. එහෙම වුණොත් පැතුම් මට ජීවත් වෙන්න හිත හදා ගන්න බැරි වෙයි... ඊට වඩා හොඳයි මං මේ දරුවෝ එක්ක හැමදාම සතුටින් ඉන්නම්..."

ඔව්.. ඒක එයාගේ අවසාන තීරණය.. කවදාවත් මගේ වචනයට පිටින් නොගියපු පැතුම් වර්ශාගේ තීරණය...

මං දුවව මොන්ටිසෝරියට බාර දීලා කාර් එකට ආවා...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

දිග සුසුමක් හෙලලා මං මටම හිනා වුණා...

විශ්වාසය ඉත්තෙක් කරන් ජීවිතේ ප්‍රශ්න පත්‍රයක් කර ගත්තු මාව විශ්වාස කරන්න බෑ තමයි...

මං බෝඩ් එකේ තිබුණ නම ආයේ පාරක් කියෙව්වා....

"පැතුම් වර්ශා.."

ඔයා ජිවීතේ දිනලා වර්ශා....

-------------------------------------------------------

බුදු සරණයි..!!
මාධවී ජයසිංහ

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment