එක රැයේ බැංකොක් මනමාලී
රත්පැහැගත් අඳුරු එළි මැදින් ටැක්සි රථය ඇදෙයි.හිස සලා එක් ඉඟියක් කළ පමණින් මගේ ගමනාන්තය කුමක් විය යුතුද යන්න මෙම වීදියේ රියදුරන් හොඳින්ම දනියි.මග දෙපසෙහිම ජංගම ලෙස සහ ප්‍රදර්ශනාත්මකව සිය වෙළඳ ප්‍රචාරණයේ යෙදෙන්නියන්ය.යෙදින්නියන් කිවූවත් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය හඳුනන්නෝ පහස ලැබූවන් නැතහොත් දෙවියන්ම පමණය.
කිහිපවරක්ම මෙම ගමනෙහි පළපුරුදු අයෙකු වූ යාබද අසුනෙහි ඉඳගෙන සිටි මගේ සගයාගේ නිර්දේශය වූයේ වසරකට වරක් ඇතැම්විට මා නම් ජීවිතයට වරක් පමණක් පැමිණෙන ගමනේදී පදිකා වේදිකාවේ සරණ නොපැතිය යුතු බවයි .ඒ අනුව නියමිත තැනින් ටැක්සි නවත්වාගෙන මැදියම් සඳ එළියද ආක්‍රමණය කරගෙන ඇති විදුලි බුබුළු වැල් අතරින් කුඩා ද්වාරයක් වෙත පිය නැගුවෙමු.
සැඟවීමට හෝ හොර රහසේ කිරීමට කිසිවත් මේ වීදි සීමාවෙහි නැත.පුවරු පුරාම මිළ ගණන් සහ විශේෂාංග ඉබාගාතේ ලියවී ඇත්තේ ලංකාවේ හෝටලයක ඉඳිරිපස ටුඩේ ස්පෙශල් මෙනුව සඳහන් වෙන්නාක් පරිද්දෙනි.
******************************************
"මට බිස්නස් මීටින් එකකට තායිලන්ඩ් යන්න වෙනව..."
"ඒත් කොහොමද මේ දරුවත් එක්ක මං ඔක්කොම කර ගන්නේ...තාම මාස තුනයි මේ ළමයට...හදිසියේ අසනීපයක් වුණොත් ...."
"ඔයාට හැම එකකටම දරුවා දරුවා තමයි නිෂා .....අඩුම තරමෙ මං කෑවද බිව්වදවත් ගාණක් තියනව ද...ඒවත් අපෙ අම්මනෙ බලන්නෙ.....
රෑ තිස්සේ පොඩි එකා කෑ ගහගෙන නැගිටිනව .ඔයා එළි වෙනකන් ඒ ළමයව නළවනව...කවදද අසනීපයක් වුණාමවත් මගෙ ළඟ හිටියෙ දැන් මාස ගාණකින්...."
"ඔයාට ඕනි නම් යන්න...මං තනියම හැමදේම බලා ගන්නම්......."
හැඬූ කඳුලින් එසේ පවසා ඇය නානකාමරයට වැදී ඉකිගසා හැඬූ අයුරු තවමත් දෝංකාර දෙයි.......
"මොන බිස්නස් මීටින් ද මං දන්නව ඔය මොකටද යන්නෙ කියල ....මොන බිස්නස් මීටින් ද මං දන්නව ඔය මොකටද යන්නෙ කියල .....මොන බිස්නස් මීටින්ද......."
මා තෝරා ගත් සුරූපී යුවතිය එනතුරු සයනයට වී සිටියද හිස තදින් කකියාගෙන එන්නෙ බිරිඳගේ විලාපය සිහිපත් වීමෙනි .ජීවත් වන්නේ ජීවිතය විඳීමටය..ඇය නිසා මා විඳවූ තරම හොඳටම ඇතිය.විවාහපත්ව මාස තුනක් යාමටත් මත්තෙන් ගැබිණියක් බවට පත්වූ ඈ තවත් මාස නවයකින් පසුව මා පිය පදවියට පත් කරන තෙක් මා ඉවසූ තරම ප්‍රමාණවත්ය...
"ඔයා ඩිනර් ගත්තද.."
කෙටි පණිවුඩයක් ලැබුණු බවට දුරකතනය නාද වෙයි.
"බෙහෙත් ටික හරියට බිව්වද.."
නැවතත් එම දුරකථනයේ හඬ අඳෝනාවක් මෙන් විලාප දෙයි.
"ජර්සි එකක් දාල ඇති බෑග් එකේ ඒක ඇඳ ගත්තද..."
මා මෙහි පැමිණියේ කුමකටද වග දැන දැනත් මෙම කරදරකාරි ස්ත්‍රියගෙන් නම් ගැලවීමක් නැති අයුරකි.හිත පුරා ඒකරාශී වූ ආවේගය හා ප්‍රකෝපකාරී හැඟීම් මුසු කොට හැකිතරම් වැර යොදා දුරකථනය ක්‍රියා විරහිත කරනවා ඇරෙන්නට කළ හැක්කක් නැත....
දුරකථනය ක්‍රියා විරහිත වන නාදරටාවට මියුරු සංගීත ස්වරයන් මුසු වෙද්දී ඒ අඩ නිරුවත් දේවතාවක් බඳු රුව කුටියට පිවිසියේය....දවස පුරාම දරුවාට ආවතේව කරන බිරිඳගේ ගතින් වෑහෙන ළඳරු පුයර සුවඳ වෙනුවට බැංකොක් හි නැවුම් ඕකිඩ් මල් වල සුවඳ වහනය වෙයි.ඒ අරුමැසිය හිත් පුරා විඳ ගැනීමේ අරමුණින් යුතුව දෑසම පියාගෙන ඇගේ දෑතින් අල්ලා පපුතුරෙහි වැතිර ගැනීමට ඇයට ඉඩ හැරියෙමි....
*****************************************
රාගයේ හෝරාව ඉක්ම ගොසිනි.නමක් ගමක් නොදන්නා මුත් නම හා මිළ පමණක් දන්නා තායි යුවතියට උණුසුම් නින්දක අවශ්‍යතාවයක් නැති හැඩකි.තමන්ගේ ඊළඟ පාරිභෝගියකයා වෙත යෑම ලහි ලහියේ සූදානම් වෙමින් සිටි ඈ කෙරෙන් දිස් වූයේ සෙනෙහසේ පිපාසයක් නොව තවත් නෝට්ටු මිටියක් ගණන් කිරීමේ පිපාසයක්ම පමණි.
කුඩා ළදැරියක් මෙන් මගේ පපුතුරේ උණුසුම සොයමින් හුරතල් වන නිෂාගේ මතකයන් මගේ හිස වටා බමන්නාක් මෙන් දැනේ...
තායි යුවතිය ස්ව කැමැත්තෙන්ම උනා දැමූ මගේ රෙදිපිළි කිහිපය වහා ඇඳගත් මා දුරකථනය ක්‍රියාත්මක කරේ සිහිමුලා වූවකු පරිද්දෙනි ..
මඟ හැරුණු ඇමතුම් ගණන පනහකට වැඩි මුත් අඩු නොවේ..තුන් මස් හැවිරිදි කිරිකැටියාගේ රුව දුරකථනය අංකයට අදාළ ඡායාරූප ලෙස දිස් වේ...එනම් ඇමතුම් සියල්ල නිෂාගෙනි ..
නමුත් කෙටි පණිවිඩ ඇතත් ඒව කියවා ගැනීම අසීරුව ඇත්තේ තැනින් තැන අකුරු ගිලිහී ඇති නිසාවෙනි .නිෂා මෙසේ අපරික්ෂාකාරී ලෙස පණිවිඩ තබන්නියක් නොවේ...
"SeNa hiRa wela Bana ra amari "
නමුත් අවසාන පණිවිඩය ආයාසයෙන් යුතුව කියවාගෙන අවසන් වන විට දුරකථනය මගේ පාපකාරී දෑතින් ගිලිහී ගොස් අවසන් ය...
"බබාව බේරගන්න බැරි වුණා.දෙවියනේ අපේ බබා හුස්ම ගන්නෙ නෑ....."
-අවසානයි-
Vindya Ishani (ඉශූ)
උපුටා ගැනීමකි
No comments:
Post a Comment