#අත #හැරුනු #ජීවිතය
" අමා... අමා... "
" මං මෙහෙ සයුරි.. වරෙන්.. "
" මේ ඉන්නේ.. මොකක්ද උඹ අර කරපු ගොං තකතීරු වැඩේ ගෑනියේ.. "
දෙයියනේ.. සයුරි කොහොමද ඒ ගැන දැනගත්තේ.. දැං ඉතින් හරි..
" ඇයි බං.. මොකෝ මේ.. "
මං නොදන්නවා වගේ ඇහුවේ කියාගන්න දෙයක් නැතුවට..
" උඹ මොකෝ අර කොයින්ට උඹේ චණ්ඩිකම ප්‍රසිද්ධියේ පෙන්නන්න ගියේ ගොනෝ.. "
" මං වෙන මොනවා කරන්නද බං.. මහ පාර මැද්දේ දුවගෙන ඇවිත් මගේ අතින් අදින කොට උඹ කියන්නේ මට සිල් සමාදන් වෙන්නද.. "
" හරි ගොන් ගෑනියේ ඒක ඇත්ත.. ඒත් උඹ සෙනග ඉස්සරහා ඌට ගැහුවේ ඌ කවුද කියලා නොදැන නෙමෙයිනේ.. යකෝ ඌ බස්නායක නිළමෙගේ පුතා.. "
හිත තිගැස්සිලා ගියා.. ඔව්.. සයුරි දන්නේ කොයින් කියන්නේ බස්නායක නිළමෙගේ පුතා කියලා විතරයි.. සයුරි නොදන්නේ මගේ මුළු ජීවිතේම කොයින් කියලා විතරයි..
දෙයියනේ මගේ පවුකාරකම.. එයා මගේ පණ.. එයා මගේ මුළු ලෝකෙම.. සෙනග මැද්දේ මං මේ අතින් එයාට ගැහුවේ.. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.. මටම තරහයි දැං මං එක්ක..
" නිළමේ මේක දැනගත්තොත් අමා උඹ ඉවරයි... බලපන් උඹ කරන වැඩ.. ඇයි උඹ අර අහිංසක අම්මටයි තාත්තාටයි ඔච්චර ගින්දර දෙන්නේ.. "
සයුරි කලේම බනින එක.. මං කලේම මුකුත්ම නොකියා අහන් හිටපු එක.. සයුරිටම ඇති වෙලා වෙන්න ඇති එයා යන්න ගියේ..
මං ඇස් තදට පියාගෙන ඇද විට්ටමට හේත්තූ උනා.. වෙච්ච දේවල් තාමත් හීනයක් වගේ.. මං ඒ හැමදේම මුල ඉදලා මතක් කරගත්තා..
' හර්ෂණ සූරියබණ්ඩාර.. '
අපි නම් කිව්වේ ' කොයින් ' කියලා..
අද වගේම මතකයි.. එදා මං එයාව මුලින්ම දැකපු දවස..
රස්සාවකට යන්න කොතැනට ගියත් අහන්නේ පරිඝණක පුහුණුව ගැන.. ඒ මුකුත්ම නොදන්න දුප්පත් කෙල්ලෙක්ට රස්සාවක් හොයාගන්න එක ලේසි උනේ නෑ.. ඒ නිසාමයි අම්මා අතේ තිබුණ අන්තිම තුට්ටු දෙකත් එකතු කරගෙන පන්තියකට ගියේ සයුරි එක්ක..
හිතේ සැනසිල්ලේ පන්තියේ වාඩි වෙලා විනාඩි දෙකක් යන්න හම්බුනේ නෑ.. නපුරු කොල්ලෝ ටිකක් අපිව විහිළුවට ගත්ත හැටි..
" අඩේ මේං අලුත් නෝනලා දෙන්නෙක් වැඩලා පන්තියට.. "
එහෙම පටන් ගත්ත විහිළුව ඇස්වලට කඳුළුත් ගේන තරමට එදා මාව අසරණ කලා..
" අපි උඹලා දෙන්නව සාදරයෙන් පිළිගන්නවා.. හැබැයි ඔයා.. නැගිටිනවා.. සිංදුවක් කියනවා මුලින්ම.. "
එහෙම කියපු නපුරු පාට කොල්ලා දිහා එකම එක පාරක් බලලා මං සින්දුවක් කියන්න ගත්තේ අඬ අඬ.. මෙච්චර අසරණ කමක්.. මුළු පන්තියම හිනා වෙනවා.. ඒත්.. එයා විතරක් ඇස් පියාගෙන අහන් ඉන්නවා..
" ඒ කොයින්.. ඇස් ඇරපන් මචං.. සිංදුව ඉවරයි.. "
හැමෝම එයාගෙ පැත්තට හැරෙද්දී මං සයුරිගෙ අතින් අල්ලගෙන පන්තියෙන් එළියට දිව්වේ තවත් ඉවසන් ඉන්න බැරිමතැන.. ඒ නපුරු ඇස් වල අයිතිකාරයා මගේ හිතට ඒ වෙනකොටත් ගෙනාවේ තරහක්..
" යමං බං පන්තියට.. කොල්ලෝ ඔහොම තමයි.. සිංදුවක් කිව්වා කියලා උඹට මුකුත් නැති උනේ නෑනේ.. අනික උඹ තරම් හොඳට සිංදු කියන්න පුළුවන් එකෙක් මේ පැත්තේ ඉන්නවද.. ඉතින් සිංදුවක් කිව්වම මොකෝ.. "
සයුරි නිසාමයි මං ආයෙමත් පන්තියට ගියේ..
දවස් හරි වේගෙන් ගෙවීගෙන ගියා.. ඒ නපුරු ඇස් දෙකට මටත් හොරා මගේ හිත ආදරේ කරන්න පටන් අරන් තිබුණා..
ඒත්..
අඩුමතරමේ මං ඒ නපුරාගෙ මූණවත් බැලුවේ නෑ.. එකම එක වචනයක් කතා කලේ වත් නෑ..
මං ආදරේ කලා.. මේ මුළු ලෝකෙටම හොරෙන්.. ඒ නපුරු ඇස් දෙකට..
මාස තුනක කෝස් එක හරිම ඉක්මනට ඉවර උනා.. ඒ අන්තිම දවසෙවත් මං කිසිම කෙනෙක් එක්ක කතා නොකලේ ඇයි කියලා මං වත් දන්නේ නෑ.. සමහරවිට ඒ මගේ හැටි.. හෙන ලොකු සීන්..
කෝස් එක ඉවර උනාට පස්සෙයි ඒ නපුරු ඇස් නොදැක මට කොච්චර පාළුද කියලා හරියටම දැනුනේ..
එහෙම ගෙවිච්ච දවස් දෙක තුනකට පස්සේ දවසක උදේ පාන්දර මං ගෙදර දොර ඇරලා එළියට එද්දි පුංචි කඩුල්ල ඉස්සරහා ඉදන් මං දිහා බලන් හිටපු ඒ ඇස් දැක්කම.. සත්තයි.. හිත පිරිලා ඉතිරිලා ගියා.. කෑ ගහලා අඬන්නමයි මට හිතුනේ.. ඒත්.. විනාඩියක් දෙකක් බලන් ඉදලා කාර් එකට නැගලා එයා යන්න ගියේ වචනයක්වත් කතා නොකර..
මට රස්සාවක් ලැබුණා.. මං සතුටින් හිටියා. ඒත් ඒ නපුරු ඇස් නොදැක හොදටෝම විදෙව්වා..
දවසක්.. මට උණ ගත්තා.. ඇස් වලින් කදුළු ගලනවා...ඉස්පිරිතාලෙන් ලේ බලන්න දීපූ තුන්ඩුව අතේ ගුලි කරන් මං ගෙදර ආවා.. දවස් දෙක තුනකට පස්සේ ආයෙමත් රිපෝර්ට් අරන් බෙහෙත් ගන්න ගියේ හිතේ දෙගෙඩියාවෙන්..
ඩොක්ටර් ලස්සනට හිනාවෙලා ලොකු කතාවක් පටන් ගත්තා..
" පුතේ.. අපේ වෘත්තීය වගකීමක් ඕනෙම කෙනෙක්ට එයාට වැලදිලා තියෙන ලෙඩ රෝග ගැන නොසඟවා කියන එක.. ජීවිතේ අනිත්‍යයි.. අපි ඉපදෙනවා.. අපි මැරෙනවා.. ඒ අතරමැද කාලේ හිනාවෙනවා අඬනවා ඔහේ ගෙවනවා.. අපේ කියලා බදාගන්න දේවල් අතාරින්න අපිට දවසක් එනව.. අද වෙන්නත් පුළුවන්, හෙට වෙන්නත් පුළුවන්.. කවදමහරි යන්න වෙනවා.. "
" ඇයි ඩොක්ටර්.. මොකක්ද ප්‍රශ්නෙ.. බොරු කියලා රවට්ටනවට වඩා ඇත්තම කියන එක හොඳයි ඩොක්ටර් "
කතා කරන්න වචන කොහොම ආවාද මංදා.. හිතම ගිණි ගනිද්දී මං එහෙම ඇහුවා..
" පුතාට කැන්සර් එකක්.. හොඳ කරන්න අමාරු.. "
" ඒ කියන්නේ.. "
" අපි බෙහෙත් කරමු.. ඒත් විශ්වාස කරන්න අමාරුයි දරුවො.. "
" ඇත්ත කියන්න ඩොක්ටර්.. මට තව කොච්චර කල් තියෙනවද.. "
" ඇත්තම කිව්වොත් දරුවො මාසයක් "
මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුනා.. කොහොමද මේවා අම්මට තාත්තාට කියලා ගින්දර දෙන්නේ මං.. එදා මුළු හවස් වරුවම පන්සලේ කෙලවරකට වෙලා කාටවත් නොපෙනෙන්න මං හොඳටෝම ඇඬුවා..
" අමා.. "
ඒ වෙලාවේ ඇහුණ කටහඬට තිගැස්සිලා ගියා මං..
" හර්ෂණ "
එයාට නොපෙනෙන්න කඳුළු පිහදගෙන මං නැගිට්ටා..
" ඔයා පන්සලට එනවා දැකලා මං මේ ආවේ.. පැයකටත් වඩා මං බලාගෙන හිටියා අමා.. ඇයි අඬන්නේ.. මොකක්ද ප්‍රශ්නේ.. "
මුකුත්ම කියා ගන්න හයියක් නැතුව ඒ නපුරු පාට ඇස් ඉස්සරහා එදත් මං ගොළු උනා..
එයා මුකුත්ම නොකියා මං ළගින්ම වාඩිවෙලා මාව ඒ සිරුරට වත්තම් කර ගත්තා.. ඒ පපුතුරේ උණුහුමට වෙලා මං ඉකි ගගහ ඇඬුවා..
අඬාගන්න තවත් කඳුළු නැතුව මං නිශ්ශබ්ද වෙද්දී ඒ කටහඬ මට ලඟ ලඟම ඇහුනා..
" අමා.. මං ඔයාට ආදරේ කරනවා.. "
මගේ මුළු ලෝකෙම කළුවර උනා වගේ.. මේ මොහොතේ මේ සතුට මට මහමෙරක් වගේ දුකක් ගෙනාවා..
රත්තරං මං ආදරෙයි ඔයාට.. ඔය නපුරුකමට.. ඔය ඇස් දෙකට.. ඒත් කියන්නේ කොහොමද මමත් පිච්චි පිච්චි මෙච්චරකල් ආදරේ කලා කියල.. මට බොරු බලාපොරොත්තු දෙන්න බෑ.. මං ජීවත් වෙන කෙල්ලෙක් නෙමෙයි.. ඉතින් මේ හීන මට බර වැඩියි..
එතනින් නැගිටලා මං යන්න හදද්දීම එයා මාව අතින් ඇදලා නවත්තපු පාර මගේ අතේ තිබුණ ෆයිල් එක විසිවෙලා ගියා.. ඒකේ තිබුණ රිපෝර්ට්ස් හැම තැනම ඉහිරුනා.. මං පුළුවන් ඉක්මනට ඒවා එකතු කරද්දී එයත් ඒවා එකතු කරලා මගේ අතට දුන්නා..
" ඇයි අමා මට මේතරම් රිද්දන්නේ.. එදා ඒ කරපු පුංචි විහිළුව නිසාද මේ තරම් පළි ගන්නේ.. ඒක වැරැද්දක් නම් ඒ වැරැද්ද හදා ගන්න මට විදිහක් කියන්න.. මං තමුසෙට ආදරේ කරනවා.. "
තවත් හිටියොත් පෑරෙන්නේ මගේ හිතමයි.. රිදෙන්නේ මගේ හිතමයි.. ඉතින් මං දුවගෙන ගෙදර ආවේ මහා නොලැබීමක, පවුකාරකමක වේදනාව හිත පුරා හංගගෙන..
හරිම අමාරුවෙන් සතියක් ගෙවා ගත්තා.. නිතරම උණ.. ඇස් වලින් කඳුළු ගලාගෙන යනවා.. ඇඟට තෙහෙට්ටුයි.. මං රස්සවෙන් අයින් උනා.. අම්මලා හිතුවෙ ඔෆිස් එක වහලා කියලා.. රස්සාව නැති දුකට මං අඬනවා කියලා.. අඩුමතරමේ සයුරිටවත් මං මේ ගැන කියන්න ගියේ නෑ..
අද බෙහෙත් ගන්න ගිහින් එද්දියි ආයෙමත් හර්ෂණ මගේ ඉස්සරහට ආවේ.. හැම බැඳීමක්ම අත අරින්න හදන මට මෙහෙමම මැරිලා යන්න නොදී හිත පාරන තරම් මේ ආදරේ..
ඒ ඇස් මඟඇරලා යන්න හදද්දී අතින් අල්ලලා එයා මාව නතර කර ගත්තා.. වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.. හිතලා කලෙත් නෑ.. හිතේ හිරවෙලා තිබුණ හැම දුකක්ම දරාගන්න බැරි තරහක් වෙලා එළියට ආවා.. මගේ අත නැවතුනේ ඒ කම්මුලක.. මහ පාරේ.. සෙනඟ ගොඩේ.. උනේ මොකක්ද කියලා තේරෙද්දි මං පරක්කු වැඩියි..
" මට මගේ පාඩුවේ ඉන්න දෙන්න හර්ෂණ "
ඒ නපුරු ඇස් හරි අසරණ විදිහට මං දිහා බලන් ඉදිද්දී මං එතනින් එන්න ආවා..
ආදරේ හිත රිද්දන තරම්...
ජීවිතේ හිත පාරන තරම්..
දෙයියනේ මොන පවකටද මේ.. මට මේ තරම් දඬුවම්..
බෙහෙත් පෙති ටික එක හුස්මට බීලා මං නිදාගන්න ඇදට බර උනා..
--------------------------------
ගේ දොරකඩ වාහන දෙක තුනක් නතර වෙන සද්දෙට මං එළියට බැස්සා..
දෙයියනේ.. හර්ෂණ.. සූරියබණ්ඩාර නිළමේ.. හැමෝම..
මං දුවගෙන ඉස්සරහට ගියා..
" සොරි හර්ෂණ.. අනේ මං හිතලා නෙමෙයි ඒ වෙලාවේ ඔයාට අත ඉස්සුවේ.. අනේ මහත්තයෝ මට සමාවෙන්න "
කරපු වැරැද්ද දැං හිත රිද්දනවා හොදටෝම වැඩියි.. නිළමෙට තරහා යන්න ඇති.. ඒකයි මාව හොයන්න ඇවිත් ඇත්තේ.. දෙයියනේ මගේ වැරැද්දකට අම්මා තාත්තා පලි නෑ.. ඒකයි මං නිළමෙගෙන් සමාව ඉල්ලලා ප්‍රශ්නෙ විසඳන්න හැදුවේ..
" කෝ ළමයෝ අම්මා තාත්තා.. "
" අනේ පිං සිද්ධ වෙනවා සර්.. ඇති තරම් මට බනින්න.. ඒත් අම්මලට ගින්දර දෙන්න එපා.. මමයි වැරදි "
මං එහෙම කියද්දිම හර්ෂණ මට පැත්තට අඬ ගැහුවා..
මං ඒ නපුරා ළගට ගියේ දුකින්.. තරහින්..
" අමා.. මගේ අම්මයි අප්පච්චියි ආවේ ඕවා කතා කරන්න නෙමෙයි "
" එහෙනම් "
" ඊට කලින් මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා "
" මොකක්ද "
මං ඇහුවෙ වෙව්ලන කටහඬින්..
" තනියම මැරිලා යන්න හදන්නේ ඇයි අමා තමුසේ වෙනුවෙන් මං බලන් ඉදිද්දි "
" මොකක් "
" ඔයා හංගන දේවල් මං දන්නවා අමා.. එදා පන්සලේදි මං මෙඩිකල් රිපෝර්ට් එකක් දැකලා ඒක මං ළඟ තියාගත්තා අර කොල ගොඩෙන්.. මං ඒක ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් චෙක් කලා අමා.. මං ඔය හංගන හැමදේම දන්නවා "
කඳුළු ඔහේ ගලාගෙන යද්දී මං ඒ ඇස් දිහා බලාගෙන හිටියා..
" මේවා මං අම්මලටවත් කිව්වේ නෑ හර්ෂණ.. ඔයාලා ආවේ ඇයි.. මේවා එයාලට කියන්නද.. මේ දවස් දෙක තුන නිදහසේ ජීවත් වෙලා මට මැරිලා යන්න දෙන්න හර්ෂණ.. පිං සිද්ධ වෙයි.. ඔයාලා මෙතනින් යන්න.. "
මං එහෙම කියද්දී හර්ෂණගේ තාත්තා ගේ දිහාට ගියේ මං ගැන කිසිම දුකක් නැති ගානට.. ඒ එක්කමයි මේ කලබලේ ඇහිලා අම්මා එළියට ආවෙත්..
" බස්නායක නිළමේ.. "
අම්මා පුදුමෙන් බලන් ඉදිද්දි නිළමේ අම්මා එක්ක කතා කලා.. හැමෝම ගේ ඇතුලට යද්දී හර්ෂණ මගේ අතින් අල්ලගෙන මාත් එක්කම ඇතුලට ආවා..
" මේ මගේ පුතා.. හර්ෂණ.. නොදන්නවා වෙන්න බෑ නේද "
හර්ෂණගේ තාත්තා කතාව පටන් ගත්තා..
" දන්නවා නිළමේ "
" දරුවව පුළුවන් තරම් හොඳට මං අපි හැදුවේ.. කිසිම කෙනෙක්ගේන් වැරැද්දක් නාහන්න.. අද කාලේ වෙන උන් වගේ රස්තියාදු ගැහිලි අනං මනං මුකුත්ම නෑ.. ඒකමයි මං බය නැතුව එයා ගැන කතා කරන්නේ "
" ඉතින් මහත්තයෝ "
" ඉතින් මේකයි.. කෙලින්ම කියන්නම්කෝ.. පුතා කැමතියි මේ දුවව කසාද බඳින්න "
අම්මයි තාත්තයි පුදුම උනා..
අදහන්න.. ඒත් ඊටත් වඩා පුදුම උනේ මං.. හැමදේම දැනගෙනත්, මට ඉතුරු සති තුනක් විතරයි කියලා දැන දැනත් ඇයි දෙයියනේ මං නිසා ඒ ජීවිතේ කළුවර කරගන්න හදන්නේ.. අනේ හර්ෂණ.. මමත් ආදරෙයි තමයි.. ඒත් මං මහ පවුකාර කෙල්ලෙක්.. දෛවය සතුට මං ලඟට ගෙනත් දීලා ජීවිතේ ඈතට අරන් ගිහිං.. අනේ මේ හිත රිදෙන තරම්..
" නැහැ හර්ෂණ.. මට බෑ.. මට කසාද බදින්න බෑ.. "
මං පුළුවන් වේගෙන් කාමරේට දිව්වා.. නොහිතපු විදිහට හර්ෂණ මාත් එක්කම ආවා..
" එක පාරකට අහන්න අමා.. කිසි කෙල්ලෙක් මේ හිතේ නැවතුනේ නෑ.. එදා මුලින්ම දැකපු දවසේ ඒ වෙච්ච දේට මට සමාව දෙන්න.. තමුසේ මගේ හිත අරන් ගියේ අන්න එදා.. මැරෙනවා නම් මගේ හිත මට දීලා මැරෙන්න.. එහෙම බැරි නම් තමුසෙට කලින් මං මැරෙන්නම්.. මාව ලැජ්ජා කලාට කමක් නෑ අමා.. තාත්තා මෙහෙ ආපූ නම්බුව ඉතුරු කරන්න.. තමුසේ මට ආදරෙයි.. ඔය ඇස්වල පිරිලා තියෙන්නේ මට තියෙන ආදරේ.. හෙට මං ඔයාව බඳිනවා.. මං එළියේ ඉන්නම්.. අන්තිම පාරට හරි උත්තරේ දෙන්න.. බෑ කිව්වත් තරහක් නෑ.. මං ආයෙමත් ඔය ඇස් ඉස්සරහට නෑවිත් ඉන්නම්.. මං තමුසෙට ආදරේ කරනවා.. එච්චරයි.. "
හර්ෂණ ගියේ මාව අතරමං කරලා දාලා.. ජීවිතේ ළඟ ආදරේ ළඟ මං අතරමං වෙලා..
නුඹ මගේ වන
එක පැයත් මට මහමෙරක්..
කල්පයක් වගේ
ගෙවී යයි මට සති තුනක්..
දරාගන්නට
බැරිව ලැතැවෙමි අතාරින්නට හීනයක්..
ලෝබයී.. අතාරින්න ලෝබයි.. ජීවිතේ අතාරින්න මට ලෝබයි..
පැතූ එකම ආදරේ මගහැර ගන්න මට ලෝබයි..
මැරෙන්න කලින් ඒ සීත සුසුමක වෙලෙන්නට මට ආසයි..
කදුළු මුහුදක නුඹේ දෑත් මත මියෙන්නට මං ආසයි..
ලබන ආත්මෙවත් මේ වගේ ආදරයක් මට හොයාගන්න බැරි වෙයි..
මේ තමයි ආදරේ..
මෙච්චර නිහතමානී කමක්..
ඉතින් කොහොමද මගඇරගන්නේ මං..
හර්ෂණ.. හැමෝටම මේ වගේ අවංකව ආදරේ කරන්න බෑ.. ජීවිතේ ලඟ ගොඩක් අය පරදිනවා..
මමත්.. මේ මමත් පැරදුනා.. ඒත් ඔයා මාව දිනෙව්වා.. මට ජීවිතේ හොයලා දුන්නා.. ඒ තරම් කැපවීමක්..
විශ්වාස කරන්න.. මං ආදරෙයි..
හර්ෂණ.. මගේ ජීවිතේ.. හැමදේම අතාරින්නම්..
හිතුවා හිතුවා හිතුවා.. මං හොදටෝම හිතුවා..
දැං ඔයා මගේ හිත අවුස්සලා දාලා..
මට මගේ ආදරේ අතාරින්න බෑ..
මං මැරිලා යන්නම්.. ඔයාගෙම වෙලා මැරිලා යන්නම්.. මේ සති තුන අපිට හොදටෝම ඇති වෙයි..
මං දුවගෙන ගිහින් ඒ පපුතුරට තුරුළු උනා.. ඒ නපුරු ඇස් මගේ ඇස් දෙකට එබුණා..
අදහන්න.. ඒ ඇස්වල ආදරේ පිරිලා.. ඒත් ඒ ආදරේ කඳුළු වලින් බොඳ වෙලා..
" මං ඔයාගේ තමයි මහත්තයෝ.. මං ආදරෙයි.. "
ඒ හදගැස්ම දැනෙන තරමටම මං ඒ පපුතුරට ගුලි උනා..
-- නිමි --
-- දිනේත්‍රා --
උපුටා ගැනීමකි
No comments:
Post a Comment