කෙටි කතාවකි
"චූටි මැනික සෙල්ලම් කරනවද"
මම ඇහුවෙ මගේ බන්ඩියේ ඉන්න පැටියගෙන්.
අදට මගේ බඩට මාස හතයි.ඒත් අද ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නවද කියලත් අමතකයි
දවස් ගානකින් ඔයාගේ සුවදක්වත් ලබපු නැති ඇදේ මම හාන්සි වුනේ කියාගන්න බැරි දුකකින්
මේ හැමදේම හිතෙද්දි මගේ හිත දුවගෙන ගියේ ඔයාගෙ සුවඳ පිරුන අතීතෙට.
"ඇයි මැට්ටෝ ඔහොම බලන්නෙ"
මම ඔයාගෙන් ඇහුවෙ කිරි වෙහෙරෙ මලුවෙ ඉඳගෙන ඉද්දි
"මගෙ මැට්ටිගෙ ලස්සන"
"අනේ ඉතින් දැං ආදරේ කරන්න පටන් අරන් අවුරුදු තුනකුත් වෙන්න එනවා.තාම ලස්සන බලනවද"
මම එහෙම කිව්වෙ හීනියට ඔයාගෙ අත කොනිත්තලා
"කල්ප ගානක් ගියත් මගෙ මැණිකගෙ ලස්සන බලලා ඉවර කරන්න බෑ."
එහෙම කියපු ඔයා මගෙ අත අරගෙන ඉම්බෙ හරි ආදරෙන්.එදා ඔයා කිව්වෙ බොරුවක් කියලා මට නිකමටවත් හිතුනෙ නෑ.හිතන්න ඕන කමක් තිබුනෙත් නෑ
ඔයාගෙ ආදරෙන් පිරිලා ඉතිරිලා ගිය මගේ ජීවිතේ එක දවසක් හැමෝගෙම ආශිර්වාද මැද්දෙ මම ඔයාට බාර දුන්නා.
එදා ඔයත් ගොඩක් සතුටින් හිටියෙ.ඒක මට දැනුනා.
ඒ මංගල රාත්‍රියේ හිතින් විතරක් නෙවෙයි ගතිනුත් මම ඔයාගෙම වුනා.ජීවිතේ රැකගත්තු හැමදේම මම එදා ඔයාට පූජා කලා
"මගෙ මැනිකට ගොඩක් පින් මගෙ ලඟට පිරිසිදු කෙල්ලෙක් විදියට ආවට"
ඔයා මාව තුරුල් කරන් කිව්වා මට මතකයි
"පින් එපා මහත්තයෝ.මේ ඔයාගේ අයිතිය."
"රහසක් කියන්නද මගෙ මැට්ටිට"
"හ්ම්ම්කො"
"ආදරෙයි අහස තරම්"
ඔයා කියපු එ් වචන තුන මම පන වගේ විශ්වාස කලා.
දවසක් ඔයා මගෙ ලඟ ඉඳගෙන කව්වා ඔයා අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා කියලා.
"කොහෙන්ද මහත්තයෝ ඕවට සල්ලි"
"මගෙ බයික් එක විකුනලා හොයාගන්නවා"
ඔයා එහෙම කිව්වෙ ලොකු හුස්මක් හෙලලා.මම දැනන් හිටියා ඔයා ඔයාගෙ බයික් එකට කොයි තරම් ආදරේ කරනවද කියලා.
"බයික් එක විකුනන්න ඕන නෑ අයියේ"
"එහෙනම් කොහෙන්ද මැනික සල්ලි"
"මගෙ රත්තරං බඩු ටික බැංකුවෙ තියමු."
එදා ඔයා ඇස් දෙක ලොකු කරන් මම දිහා බැලුවා මට මතකයි.
"එ්...ඒ...ත්....සුවිනි..."
"මගේ බඩු ටිකයි අම්මලා මට දුන්න ඒවයි බැංකුවේ තිබ්බම ලක්ෂ තුනක් විතර ගන්න පුලුවන් වෙයි.ඒ මදිද පන"
"නෑ...හ්...ඒ වැඩිත් එක්ක.ඒත් ඔයාගෙ බෙල්ල අත් පාලුවට යයිනෙ මැනික"
"අපෝ...ඕක මොකක්ද මැටිටෝ......ඔයා බිස්නස් එකක් පටන් ගෙන සල්ලි ගොඩක් හම්බ කරලා මට ඒවා ආයෙත් අරන් දෙන්න"
මම කිව්වෙ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන.
ඔයා බිස්නස් එක පටන් ගන්න බිල්ඩින් එකක් ගන්න ගිය දවස.
මම පිච්ච මල් දාපු වතුර වීදුරුවක් ඔයා ඉස්සරහට ආවා.ඒක අරගෙන උගුරක් බීපු ඔයා මගෙ නලලත් ඉබලා බයික් එකට නැග්ගෙ පරිස්සමින් ඉන්න මැනික කියාගෙනමයි.
කාලෙ හරි ඉක්මනට ගෙවිලා ගියා.ඔයාගෙ බිස්නස් එක එන්න එන්නම සරු වුනා.
දවසක් මම ටවුන් එකට ගියේ ගෙදරට ඕන බඩු ටිකක් ගන්න.බඩු ටික අරගෙන ගෙදර එන්න බස් එකට නැග්ගෙ අතින් කටින් බෑග් ටික එල්ලගෙන
බස් එක ස්ටාට් කරලා අද්දනකොට තමයි මම දැක්කෙ ලස්සනම ලස්සන චෙක් වැටුන ෂර්ට් එකක් රෙදි කඩේක ඩමියකට අන්දලා තියෙනවා.
ඔයාට ඔෆිස් එකට ටයි එකත් දාලා අඳින්න ලස්සනට තියෙයි.එහෙම හිතලා බෑග් ටික ආයෙත් අත් දෙකෙන් උස්සගෙන මම බස් එකෙන් බැස්සෙ බස් එක යන අතරතුරමයි
"මේ ගෑනුන්ට පිස්සුද මන්දා.බහින්න ඕන නම් බෙල් එකක් හයි කරලා තියෙනවා ඇස් පේන් නැද්ද.මැරෙන්න ඕන නම් ගෙදර ඉඳන් වහ බෝතලයක් බොනවා.මෙතන අපිට වද දෙන් නැතුව"
බස් එකේ කොන්දොස්තර මොන මොනාදෝ කිය කිය බනිනවා.ඒත් මගෙ ඔලුවෙ තිබුනෙ ඔයාට අර ෂර්ට් එක අරන් දෙන විදිය ගැනයි.
මම ඉක්මනට කඩේ අස්සට දුවගෙන ගිහින් එතන හිටිය කෙල්ලෙක්ට කිව්වා ඒ ෂර්ට් එකම අරන් මට දෙන්න කියලා.
ඩමි එකෙන් ගලවලා මගේ අතට දුන්න ඒ ෂර්ට් එක මම අත ගෑවෙ හරි ආදරෙන්.ඉක්මනට දුවලා ඇවිත් ඔයාට ඒක අන්දලා හැඩ බලන්න මට ඕන වුනා.
මම කවුන්ටර් එකට ගිහින් සල්ලි දීලා එන්න හදනකොටම හුරු පුරුදු රූපයක් ලග ඇස් නතර වුනා.
ඒ වෙන කවුරුත් නෙවෙයි ඔයා.මට දැනුනෙ හරි සතුටක්.මම ෂර්ට් එක අරන් ඔයාගෙ ලඟට දුවගෙන එන්න හදද්දිම කොහේදෝ ඉඳන් ආව කෙල්ලෙක් ඔයාගෙ අතේ එල්ලුනා.
ඔයා වෙනුවෙන් ගත්ත ෂර්ට් එක මගෙ අතින් බිමට වැටුනෙ මටත් නොදැනිම. කකුල් දෙක පන නැතුව ගිහින් මම වැටෙන්න යද්දි ලඟ තිබුන කනුවකට හේත්තු වුනේ මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව.
එදා ගෙදර ඇවිත් මම ඒ ෂර්ට් එක අල්මාරියේ මගේ රෙදි අස්සෙ හැංගුවා.අදටත් ඒක ඒ විදියටම තියෙනවා.
ඔයා ගෙදර ඇවිත් වොෂ් එකක් දාගෙන කුස්සියට ආවෙ මැනික මට රසම රස තේ එකක් හදලා දෙන්න කියාගෙනමයි.
ඔයාට වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න මම ගොඩක් උත්සහ කලා.එදා ඔයාට මගෙ ඒ වෙනස තේරුනේ නෑ.
මම තේ එකක් හදලා දුන්නා.
"අද උයන්න එපා කෙල්ල.මම මඟින් ඩිනර් එක ගත්තා."
ඔයා එහෙම කියනකොට මගෙ හිත කෑලි තුන හතරකට බිඳිලා ගියා.අර කෙල්ල එක්ක ඔයා ඩිනර් එක ගන්නවා මගේ ඇස් දෙක ඉස්සරහ මැවුනා.
අනික ඔයා ඩිනර් අරන් ආවට මේ ගෙදර කෑවෙ නැති තව කෙනෙක් ඉන්න එක ඔයාට අමතක වුනා.එදා මමත් බඩගින්නෙම නිදාගත්තා.
සතියක් විතර යද්දි මම දැකපු නරක හීනයක් කියලා අතීතය අමතක කරලා දාලා ඔයා දිහා අලුතින් බලන්න මම හැඩ ගැහුනා
ඒත් ඔයා දවසින් දවස වෙනස් වුනා.
දවසක් උදේ ඔයා ඔෆිස් ගියා.කන්න කියලා බත් එක අතට ගනිද්දිම ඔක්කාරෙට වගේ ආවා.දවල් වෙලා තනියම හොස්පිට්ල් එකට ගියේ ඔයාට කතා කරාම මම බිසී එන්න වෙන්නෑ සුවිනි කියලා කියපු හින්දා.
දන්නවද එදා තරම් මම සතුටු වුන තවත් දවසක් නැති තරම්.අනිත් හැම අම්මෙක් වගේම මාත් සතුටු වුනා.ඔයාව තාත්තියෙක් කරන්න මට පුලුවන් නේද කියලා හිතෙද්දි ඒ සතුට දෙගුන තෙගුන වුනා.
ඔයා ගෙදර ආපු හැටියෙම මම දුවගෙන ගිහින් ඔයාව බදාගත්තා.
"මහන්සියි සුවිනි කෝ අයින් වෙන්න"
එහෙම කියලා ඔයා මාව පැත්තකට කරලා කාමරේට ගියා.රෑට කෑම කන්න ඔයා ආපු වෙලාවෙ මම බත් එකත් අරන් ඔයාගෙ ලඟින් ඉඳගත්තා
"මම කවන්නද මහත්තයට"
මම ඔයාගෙන් එහෙම ඇහුවෙ ඔයා ඉස්සර මම ලඟ තියගෙනම බත් එකම මට කියලා කවාගත්තු එක මතක් වෙලා.ඔයා හරි ආසයි එහෙම කන්න.
"මම දැන් පොඩි ළමයෙක් නෙවෙයිනි.මගෙ අතින් කන්න මම දන්නවා"
ඔයා එහෙම කියනකොට මගෙ හිතට දැනුන වේදනාව ගැන කියන්න වචන නැති තරම්
"අයියේ මම ඔයාව තාත්තෙක් කරන්න යන්නෙ"
ඔයා ඇස් දෙකත් ලොකු කරගෙන මම දිහා බැලුවා.මම හිතුවා ඔයා ගොඩක් සතුටින් කියලා.ඒත් මූනෙන් නම් එහෙම දෙයක් පෙනුනෙ නෑ.ඔයා හ්ම් කියලා කාමරේට ගියා
දන්නවද මම ගොඩක් ඇඩුවා.ඇඩුවා නෙවෙයි ඇඬුනා.ඔයාව වෙනස් කරපු අර ගෑනිට මම වෛර කලා.ඒකි තමයි මගෙ ආදරේ මගෙන් උදුරගත්තෙ.
එක ගෙදර හිටියත් එක කාමරේ එක ඇදේ හිටියත් ඔයා මාත් එක්ක වචන දහයක් කතා කලේ නෑ.මාත් එක්ක තනියට හිටියෙ මගෙ ඉපදෙන්න ඉන්න දරු පැටියා විතරයි.
"මගෙ රත්තරනේ ඔයාගේ තාත්තියා නරක කෙනෙක් නෙවෙයි.එයා අපි දෙන්නට ගොඩක් ආදරෙයි.ඒත් පුතු තාත්තියට ගොඩක් වැඩ.ඒකයි අපි දෙන්නව බලන්න එන් නැත්තෙ.
මම මගේ බන්ඩියේ ඉන්න නොදරුවට එහෙම කිව්වා.ඒ එයත් මම වගේම එයාගේ තාත්තියට ආදරේ කරන්න ඕන නිසා
දවසක් ඔයා ගෙදර ආවෙ කාර් එකකින්
"කාගෙද මහත්තයෝ මේ කාර් එක"
"අපේ.හොදයි නේද"
"අනේ ඇත්තටම හරි ෂෝයි."
මම කිව්වෙ ඇත්තටම ආසාවකින්
"ඒත් මහත්තයෝ කෝ බයික් එක"
"ආහ් ඒක මම මගේ යාලුවෙක්ට දුන්නා.දැං කාර් එක තියෙනවනේ"
මම ඔයාගේ ඒ බයික් එකට ගොඩක් ආදරේ කලා.ඔයා ඒක දුන්නා කියද්දි මට දුක හිතුනත් කිසිම දෙයක් කිව්වෙ නැත්තෙ ඔයාගෙ සතුට නැතිවෙයි කියලා හිතලා.
"එහෙනම් අපි මේ කාර් එකෙන් ඉස්ඉස්සෙල්ලම දලදා මාලිගාවට ගිහින් එමුකො නිමේෂ් අයියේ."
"බෑ සුවිනි හෙට අපේ කම්පැනි එකේ අලුත් ප්රොජෙක්ට් එහෙකට අග්‍රිමන්ට් සයින් කරන්න යන්න ඕන.මම හිතන් ඉන්නෙ කාර් එකේම යන්න
මතකද මහත්තයෝ ඔයාගේ බිස්නස් එක පටන් ගන්න මගේ උකස් කරපු රත්තරං බඩු ටික.එ් ටික තාමත් බැංකුවෙ.අඩු තරමේ පොලියවත් ගෙවලා නෑ.හෙට අනිද්දට සින්න වෙයි.
එදා මගෙ ක්ලිනික් දවස.මම හොස්පිට්ල් ගිහින් ගෙදර එන්න හදනකොට තමයි හිතුනෙ ඔෆිස් එකට ගිහින් ඔයාවත් බලලා එන්න.බඩකුත් උස්සගෙනම මම පයින් ගියේ ටැක්සි එකක ගියාම බඩ හෙල්ලෙන නිසා.ඔයාට කාර් එකක් තිබුනත් මම අපේ දරු පැටියවත් බඩේ තියන් පයින් ගියා.
ඔෆිස් එකේ ඔයාගේ රූම් එක හොයාගෙන ගිය මට දකින්න වුනේ මම හීනෙන්වත් හිතපු නැති දෙයක්.
ඔයාගේ රූම් එකේ හිටියේ එදා මම රෙදි කඩේදි දැක්ක කෙල්ල.මගේ හිතේ ඔයා ගැන විශ්වාසයක් තිබ්බනම් එදා ඒ වෙලාවෙදි ඒකත් නැතිම වුනා.
"නිමේෂ් අහන්නකෝ මම දන්න තැනක හොද ෆ්ලැට් එකක් තියෙනවා.ගමුකො"
ඒ කෙල්ල ඔයාට කියනවා මට ඇහුනා.මම පපුවට අතක් තියගත්තෙ ඒ වචන මේ පපුවට දරාගන්න අමාරු නිසා.
"ඕ...කේ......අපි ගමු නවෝදි."
ඔයා එහෙම කිවුවා.දරාගනන කොයිතරම් අමාරු උනත් මගෙ පනගෙ කටින් ඒ වචන ටික කියවෙනවා මට ඇහුනා.
ඔලුවෙන් පොඩි කරකැවිල්ලක් ආව නිසා මම එහෙමම එතනින් ගිය කෙල්ලෙක්ගෙ ඇඟට වාරු වුනා.
"මැඩම්......දැං හොඳයිද"
එහෙම ඇහුවෙ මගෙන් ඔයාගෙ ඔෆිස් එකේ හිටපු පොඩි කෙල්ලෙක්.
"ආ.....හ්......දැං හොදයි."
"මේ මේ මැඩම් අපේ නිමේෂ් සර්ගෙ වයිෆ් නේද"
"කසාද සහතිකේට විතරයි"
ඒක මම හිතලා කිව්වා නෙවෙයි පන කියවුනා.අනේ ඔයාට අපහාස කරන්න හිතන් කිව්වා නෙවෙයි.හිතේ තිබ්බ දුකටයි කියවුනේ.
"මං දනනවා මැඩම් ඉන්නෙ ගොඩක් දුකින් කියලා.ඒත් මැඩම් ඔය නවෝදි කියන එකී අපේ සර්ව රවට්ටගෙන ඉන්නෙ.මේ ඔෆිස් එකේම වැඩ කරන නිතුම් කියලා කොල්ලෙක් එක්කත් නවෝදි මිස් යාලුයි.සර් ඇරෙන්න අනිත් හැමෝම මේක දන්නවා.ලගදිම සර් දැනගනියි.එදාට සර් ආයෙත් මැඩම ලගට එයි"
ඒ කෙල්ල එදා මගේ හිත හැදුවා.එදා මට ඔයා ගැන දුක හිතුනෙ ඔයාගේ නවෝදිත් ඔයාව දාලා ගියොත් මම අද මේ විදින දුකම ඔයාටත් විදින්න වෙන නිසා.අද මේ දුක බෙදාගන්න කවරුත් මගෙ ලග නැති වුනාට එදාට ඔයාගෙ ලග ඒ දුක බෙදාගන්න මම ඉන්නවා.
මම ගෙදර ඇවිත් ඇති වෙනකල් ඇඩුවා. ඒ ඔයා නිසා.දන්නවද මගෙ බන්ඩිය ඇතුලෙ ඉන්නෙ දූ පැටියෙක්ලු.එයා ඔයා වගේම ඇති.අහිංසක අැස් දෙක.චුට්ටි නහය.නා දලු පාට තොල් දෙක.මම හිතින් මවා ගත්තා.
මම හවස අමාරුවෙන් කුස්සියට ගිහින් ඉඳි ආප්ප තැම්බුවා.ඒ ඔයාගේ ආසම කෑම නිසා.පොල් සම්බෝලෙකුයි කිරි හොද්දකුයි හදලා කෑම මේසෙට ඇරියා.
"අනේ නිමේෂ් එක කටක් කමුකො.ඔයා ආස නිසාමයි හැදුවෙ"
"සිංහල තේරෙන් නැද්ද සුවිනි මට එපා"
"අනේ ......"
"තොට තේරෙන්නෙ නැද්ද ගෑනියේ..එපා නම් එපා.හැදුවා නම් ගිහින් කාගන්නවා මට වද නොදී"
කවදාවත් නැතුව ඔයා මට එහෙම කෑ ගැහුවා
තවත් නම් ඉවසන්න බෑ.
"ඇයි නිමේෂ් මට මෙහෙම කරන්නෙ මම මොකද්ද ඔයාට කරපු වැරැද්ද "
"වැරැද්ද...උඹගෙ ජීවිතේම වැරැද්දක් තමයි යකෝ.මගෙ ජීවිතේ කාලකන්නි කරන්න ආපු ගෑනියෙක් තෝ"
ඔයා එදා ඒ කියපු වචන ටික මගෙ පපුවට ඇනපු පිහිපාරක් වගේ.වහ බෝතලයක් අරගෙන බොන්න හිතුනත් මගෙ දරු පැටියා වෙනුවෙන් ඉවසුවා.
දවස් ගානක් ඔයා ගෙදර ආවෙ නෑ.මම ෆෝන් එකට කෝල් ගත්තට වැඩ කලේ නෑ.ඔෆිස් එකට ගද්දි තමයි කිව්වෙ ඔයයි නවෝදියි දෙන්නම ඔෆිස් අාවෙ නෑ කියලා
සමහර විට ඔයාලා දෙන්නම කොහේ හරි යන්න ඇති.එහෙමයි මට හිතුනෙ.
මම ඇහැරුනේ බඩේ යටි පැත්තෙන් ආව වේදනාවක් නිසා.අදට නිමේෂ් ඔයා ගෙදරින් ගිහින් දවස් දෙකයි.
මම ඇදෙන් නැඟිටලා අමාරුවෙන් ෆෝ න් එක අරන් ඔයාට ගත්තට වැඩ නෑ.
තවත් නම් වේදනාව ඉවසන්න බෑ.මම ගෙදර දොර වහගෙන එලියට ආවෙ ටැක්සියකින් ඉස්පිරිතාලෙට යන්න.
දාහක් වේදනා විදලා මම අපේ දෝනිව බිහි කලා.ඔයා අන්තිම මොහොතෙ ගෙන්නගත්තෙ මගෙ පැටියට උප්පැන්නෙ තාත්තගෙ නම දාන්න.
"ඇයි හොස්පිට්ල් එන්න කලින් මට කෝල් නොකලෙ"
ඔයා අහද්දි මට පුදුමත් හිතෙනවා
"ෆෝන් එක වැඩ කලේ නෑ නෙ"
"ආහ්...මම කොළඹ වැඩ වගයකට හිරවෙලා හිටියෙ"
ඔයා ඒ බොරුව මම දිහා බලන් නැතුවම කියනවා
අපේ චූට් දෝනි දැහැමි සෙහන්සා.මම ඒ නම දැම්මෙ
මාස 9ක් විතර ඔයා නැතුව ඔයා එක්ක මම හිටියා.
ඒත් අපේ දෝනිව එක සැරයක් ඔයා වඩාගෙන නැහැ
දන්නවද දෝනි කියපු පලවෙනි වචනේ තාත්තා.
අද මම දෝනිව බදාගෙන හයියෙන් ඇඬුවා.ඒ මගේ දෝනිට එයාගෙ තාත්තගෙ අාදාරේ නැති නිසා
එතකොටම කෝල් එකක් ආවා.ඒ ඔයා ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කියලා
මගෙ ඔලුවට හෙනයක් වැදුනා වගේ දැනුනෙ.දෝනිවත් අරන් හොස්පිට්ල් එද්දි ඔයාගෙ කකුලක් සම්පූර්ණයෙන් බැන්ඩේජ් කරලා
අවුරුදු දෙකක් තිස්සේ හිත ඇතුලෙ හිර කරගෙන හිටිය දුක් කන්දරාවම ඔයාව දැකපු වෙලේ පිටවුනේ ලොකු ඇඩුමකින්.
"අඩන්න එපා මැනික.සමාව දෙනවා නේද ඔයාගෙ මහත්තයට"
මම ඇඩුම හිර කරගෙන ඔලුව වැනුවා.
"තා...ත්...ති..."
දෝනි ඔයාගෙ අතකින් අල්ලලා කියනවා..ඔයා කදුලු පිරැන ඇස්වලින් හිනාවෙනවා මම දැක්කා
"දෝනිව මෙතනින් තියන්න මැනික "
මම ඇඳේ ඔයා ලඟින්ම දෝනිව තිබ්බ
"මට සමාවෙන්න මගෙ රත්තරං දොනියෝ"
ඔයා මගේ....නෑ නෑ අපේ චූටි දොනිව තුරුල් කරන් කියනවා
චූටි දෝනිත් නුහුරු නුපුරුදු එයාගෙ තාත්තිගෙ උණුහුමට ගුලි උනේ හරි ආදරෙන්...
.
සමාප්තයි.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment