🌹💕අහඹු ඉසිඹුව🌷💕
පෝදා පෑයූ සද එදා තරම්න මනරම් ය.සදකිරණින් නැහැවෙන ගහකොළ මත තැවරී ඇත්තේ අමුතුම කාන්තියකි. වටකුරුව දිලෙන සද දෙස බලා සිටීමට ඇත්තේ නොසන්සිදුනු ආශාවකි. එදා පුන්චි කෙල්ලක ලෙස සදට පෙම්බැදි මා තුරුණු විය ,මැදි විය පසුකර මහළු වියට ලගාවී ඇති නමුදු තවමත් සදට ලොබ බදිමි.
මගේ සමාධි සිත බිදිමින් වරින් වර පන්සලේ ඝණ්ධා නාදය ඇසේ. නිවසට නුදුරින් පුන්චි කදු ගැටිත්ත ඉස්මත්තේ පිහිටි පන්සලේ ගල්තලාව මත ඉහළින්ම චෛතය්‍යරාජයාණන් වහන්සේ සුදෝ සුදින් බැබළේ….
එවර මගේ සිතුවිලි දැහැන බිද දැමුවේ ඝණ්ඪානාදය නොව දුරකථනයේ නාදයයි…
“හෙලෝ…” හෙලෝ අම්මා….” ආ සමදරා….”ඒ මගේ එකම දියණියයි.. ඈ දරුවන් සහ සැමියා සමග පිටරට පදිංචියට ගොස් අවුරුදු දොකහකටත් වඩා වැඩිය…
” අම්ම සිල් ගන්න ගියේ නෑ අද…”
“යන්න තමා හිටියෙ . ඉහත් පාත් වෙන්බ බැරුව කොන්දෙ අමාරුවක් ඇල්ලුව. ඉදගත්ත තැනින් නැගිට ගන්න බැ. මේ වේදනාවත් එක්ක හිත එකළාසයක් කරන් සිල් රකින්නෙ කොහොමද…?”
” අයියල ගෙදර නැද්ද අම්මා..”
” පන්සල් ගිහින් යාළුවෙකුගෙ ගෙදර රෑ කෑමකට ආරාධනා කරාලු ඒකටත් ගිහින් ඔය එනව කීවෙ…””අම්ම එහෙනම් රෑට කාල නිදියගන්න බුදුසරණයි…”
විමුක්ති ඔහු මගේ එකම පුතුය. ඔහුගේ බිරිය දිනිතිය .. සමදරාට දුවකු සහ පුතෙකු සිටින අතර විමුක්තිට පුතාලාම දෙදෙනෙකි….විමුක්තිලා රැගත් මෝටරිය පන්සල කරා ඇදෙද්දී මගේ සිතින් මා පන්සලට පියමං කලෙමි.
වෙලේ නියර මතින් ඇවිද ගොස් පුන්චි ඇලපාරෙන් එගොඩ වී ගල්තලාව මතට නැගී ගල්තලාවෙ අවසානය පන්සලේ වත්තයි….පුන්චි සන්ධියේ අක්කලා දෙදෙනා සමග මා දහම්පාසල් ගියේ මේ මාර්ගයෙන් මිස ගුරු පාර දිගේ නොවේ….
“අදත් පැන්න නේද චූටි මැණිකෙ ඇලට ඒදණ්ඩෙන් නොයා.. බලන්න ළමාසාරිය ඔක්කොම තෙමිල..”ඇලෙන් එගොඩ වීමට ඒදණ්ඩ මත යාමට මා අකමැතිය.. මට අවැසි ඇලේ සීතල ජලයේ පහස ලැබීමටය. සුදු වැලි කැට යටි පතුල් ස්පර්ශ වද්දී දැනෙන කිතිය සේම මාලු පැටවුන් කකුළට කොටද්දී ඇලෙන් එගොඩ විමට නොසිතේ…
” චූටි මැණිකෙ තෙමාගන්නව මදිවට මටත් තෙමෙන්න වෙනව.. ඇලට බැස්සොත් ගොඩට එන්න හිත නැ . පරක්කුවෙනව නොවැ.”සිරියා ද ඇලට බැස මා ඔසවා ඇලාකණ්ඩිය මතින් තබයි.
ඇලේ පතුල විනිවිද පෙනෙන සේ ඇලේ දිය යළි නිසොල්මනේ ගලා යයි..එදවස අප පන්සලට ඇරලීමට සිරියාද අප සමග පැමිණේ… සිරියා අප නිවසේ උදව්වට සිටි ගැහැණු අයගෙන් කෙනෙකි.. අක්කලා දෙදෙනෙක් පමණක් සිටි පවුලේ බඩපිස්සි මා නිසා මහගෙදර මටම උරුම විය..
අරවින්ද සමග මාගේ විවාහය වූවේ ප්‍රේම සම්බ්ගන්ධයක් මතය.. අප්පච්චී ගමේ වංශවත්ව ජීවත් වූ පුද්ගලයකු වුව අපේ ගමට ආසන්න ගමේ සාමානය්‍ය පාන්තික පවුලක එකම දරුවා වූ අරවින්ද හා විවාහයට ලොකූ විරොධයක් නොපෑ මුත් අරවින්දාගේ මව නම් සුළු විරෝධයක් පෑවාය.”” අපට පෑහෙන්න පුලුවන් පවුල් නෙමෙ අරවින්ද.. අනික කේන්දරත් ගැළපෙන්නෙ නැ. හතේ කේන්දරයක්….”
ඇය අරවින්දට පවසා ඇත..
” අපෙ අම්මගෙ මනස්ගාත මාලතී.මම නම් කේන්දර විශ්වාස කරන්නෙ . ඔයා දන්නවද අර ගල්වැඩපළේ පියදාස අංකල්ගෙ පුතා කසුන් ගෙදරවත් තියාගන්න හොද නැ අම්නට තාත්තට අපලයි කීවනෙ.. ඒ වුනාට ඒ කොල්ල ඉගනගෙන කැම්පස් ගිහින් අද ඒ පවුල ගොඩ දැම්මෙ ඒ කොල්ලනෙ..”” මමත් ඕව විශ්වාස කරන්නෙ නැ. අපේ ගෙදරින් ඔයාට අකමැතිත්නැ අරවින්ද ඔයා අම්ම එක්ක කතා කරල තීරණයක් ගන්න . ”
මා එලෙස පැවසුවෙ අරවින්දගේ මව පිළිඹද නොපහන් හැගීම් මසිත පිළිසිදෙද්දීය..අවසන අරවින්ද සමග මා විවහ වී අරවින්දගේ නිවසේ පදොංචි වූ මුත් දරුවන් ලොකු වූ පසු මගේ මහගෙදර පදිංචියට ආවෙ අම්මාගේ සහ තත්තාගේ වියෝවෙන් පසු මහගෙදර පාළුවට යන නිසාවෙනි.මහගෙදර පදිංචියට පැමිණ අවුරුදු කිහිපයකින් මා සමග දරුවන් තනිකර අරවින්දා මෙලොවින් සමුගත්තේ හදිසියේ හැදුණු හදවත් රෝගයක් හේතුවෙනි.
අද විමුක්තිගේ බිරිය මාගෙන් දුරස් සේම මාද අරවින්දගේ මවගෙන් දුරස්ව කාලය ගෙවූ අයුරු මතකය…විමුක්තිලා යන ගමනකට බිමනකට මාවත් කැටුව යයි කියා මගෙ සිත බලාපොරොත්තු වුවද ඔවුන් මා මේ නිවසේ තනිකර යද්දී හිතට දැනෙනේ මහත්වූ වේදනාවකි. කෑම බීම බෙහෙත් ආදී සියළු අවශය්‍යතා ඔවුන් සොයා බලා ඉටුකලද මේ යයි පවසා ගත නොහැකි තැවුලක් මසිත විය.
පුතා සහ ලේලිය ඔවුන්ගේ ගමන් බිමන් සදහා මා කැටුව යාවී යයි මට සිතීමට අයිතියක් නැත. මන්ද මා අරවින්දගේ මව එලෙස කැටුව යාම ප්‍රතික්ශේප කල ලේලියක් වන නිසාය….” මාලතී අම්ම තනියමනෙ ගෙදර අපි අම්මවත් එක්ක යමු…”. පිස්සුද අරවින්ද අපි දවස් ගානක් ඉන්න යනව නෙමෙනෙ උදේ ගිහින් හවස ගෙදර එනවනෙ .අපි ඉක්මනින් ගිහින් එමු .”
නිහඩවම අරවින්ද විත් රථයට ගොඩ වූවා මිස මට කිසිත් නොපැවසුවද ඔහුගෙ සිතේ මා පිළිඹද කෙබදු හැගීමක් ඇතිවන්නට ඇතිදෝ කියා වැටහෙන්නේ ඔහුගේ මව සේම මාද හුදකලා වූ මොහොතකය…අරවින්දගේ මව පිළිඹද වූ නොපහන් හැගීම මත මා ඇයගෙන් පළිගෙන ඇත්තේ සියුම්ව නොවේද ….? ” මට ඉන්න එකම කොල්ලගෙ දරුව.. උන් අතපත ගාල හදන්න මට අයිතියක් නැති හැටි සුමනක්කේ…”
අරවින්දගේ මව දිනක් ඔහුගේ නැන්දා සමග පවසනු මා අසාගෙනය…” ඇයි ඒ ලීලක්කෙ..”” නැ ළමය වඩාගන්න. හැදුවොත් අත හෝදලද අම්මෙ අහනවා ..ළමයට කවන්න හැදුවොත් නැ මං කවන්නම් කියනව.. හුරතල් කරන්න ගත්තොත් පුතා නිදිමතේ කියල යසට ඉන්න පොඩි එකාව ගිහින් නිදිකරනව . අරවින්දට ඕව කියන්නත් බැ .ඊලගට උන් අතර ප්‍රශ්න .මන්ම මේව හිතේ දරන් ඉන්නවා…”
අරවින්දගේ මවගෙන් මා ඇගේ මුණුබුරු මිණිබිරියන් ඈත් කිරීමේ වේදනාව එදා මට පසක් නොවීය…. ආච්චි අනේ අමල්බිසෝ කතන්දරේ කියන්නකො.. “විමුක්ති ඇයට ඇවිටිලි කරන අයුරු මට මතකය.” ඊයෙත් ඒක කීවනෙ මගෙ වස්තුවෙ “” අනෙ කමක් නෑ ආච්චි අම්මෙ කියන්නකො..”
අපද පොඩි කාලයේ එලෙසය .අක්කලා දෙදෙනා සමග ආච්චි අම්මා වටකරගෙන කතා අසයි. කවි කියයි. එකම කතාව දහ දොළොස් වතාව ඇසුවද අද අසනවා මෙන් උද්‍යෝගයෙන් සවන් යොමා සිටියි.
විමුක්තිද අරවින්දගේ මව සමග සිටීමට කැමතිය.” කොයි වෙලෙත් ආච්චි ආච්චි ආච්චි… ඔය නාකි ගෑණි අස්සෙ රිංගන්නෙ නැතුව ඉන්න බැ ..මෙන්න මෙහෙ වර උඹව නිදිකරන්න නැත්නම් රෑ යාමයක් වෙනකල් වදදෙනව…”
අම්මා සමග නොරිස්සුමට මා විමුක්තීටද බැන වදී….මා කොතරම් වැරදිද කියා සිතෙන්නේ අදය.. මේ හුදකලා වන ඉසිඹුව තුල අතීතයේ සොදුරු හැගුම් සේම මගෙන් සිදු වූ වැරදිද මට සිහිකරවයි…..
මා සමග මගේ දරු මුණුබුරන් සිටීනම් ඔවුන් හා පවසන්නට කවි කතන්න්දර ගොන්නක් මසිත ඇත. නමුදු ඒ එක් කතන්දරයක් වුව ඇසීමට එක් දරුවෙක්වත් මා අසල නැත. දුවගෙ ළමුන් ලංකාවට පැමිණෙන්නේ කලාතුරකිනි. ඒත් මසක නිවාඩුවකටය. ගෙදර සිටින විමුක්තිගේ දරුවන්ට මා සමග ගෙවීමට කාලයක් නැත. පාසල් ගොස් නිවසට පැමිණ ඊලගට දුවන්නේ අමතර පන්ති වලටය. රෑ බෝවි ගෙදර පැමිණෙන ඔවුන් දකින්නේද දවසට වරක් හෝ දෙකකි..
නිවාඩු දවසට දවල් වනතුරු නිදාගන්නා අතර අවදි වූ පසු අම්මලා සමග එළියට යයි. නැතහොත් පරිඝණකයට මූණ ඔබාගෙනය..ඔවුන් ලග හිදුවාගෙන හිස අතගාමින් පැවසීමට බොහො දේ මට ඇත. අක්කලා සමග කල දග වැඩ,ඒවා අප්පච්චීට මාට්ටු වී අප්පච්චීගෙන් ලැබූ දඩුවම්, පාසල් ඇරී නිවසට එනතෙක් මග දෙපස ලදු කැලෑ තුල රිංගා ,කරඹ ,දං කෑ අයුරු…
වෙල් ඉපනැල්ලේ .. යහළුවන් සමග එකතුවී සරුංගල් යැවූ අයුරු, කුඹුරු වැඩ කාලයට ඇලේ වතුර පිරී ඇතිවිට ඇලේ පැන නැටූ අයුරු… මේ දරුවන් නොවිදින ළමා ලෝකය ඔවුන්ට වදානින් හෝ විස්තර කිරීමට මසිත ඇත්තේ නොනිමි ආශාවකි. .
” අයියා .. හුරේ මම ගේම වින් කලා… “විමුක්තිගේ බාලපුතුගේ හඩට මාගේ සිතුවිලි දැහැන බිද වැටුණි.මා කෙතරම් සිතුවිලි තුල අතරමංවීද යත් විමුක්තිලා රැගත් වාහනය මිදුලට එන හඩවත් මට ඇසුණේ නැත..
” ඔයා පන්සල් ගිහිල්ලත් වැන්දද ඕක ප්ලේ කලා මිස පන්සල් නොගිහින් හිටියනම් මමත් ඕක ප්ලේ කරනව ඉවර වෙන්නම..”
” පන්සල් ගියත් හිත තියෙන්නෙ ගේම් ගැන ඔය වයර් කෑලි කනේ ගහන් පන්සල් ගියාට හරියනවද හරියට මලක් පහනක් පූජ කරන්න සිහියක් තියනවද මේ ළමයින්ට..”
ලොකු පුතාගේ කනේ දුරකථනයට සම්බන්දවූ වයර් දෙකක් කනේය.පොඩ්ඩාගෙ අතේ ද එවැනිම තාක්ශණික මෙවලමකි.” අම්මට තේරෙන්නෙ නැද්ද විමුක්ති එයාල තාම ළමයි කියල. කොයි වෙලේත් ළමයින්ගෙ වරදක් තමා පේන්නෙ..”
මගේ ලේලිය පුතාට පවසනු මා අසාගෙනය..හුදකලා වූ මේ ඉසිඹුව තුලද..මා.කෙල්ලෙක් ලෙස දැරිවියක ලෙස ස්වභාදම් මව් තුරුලේ ඒ පහස විදිමින් ගත කල සොදුරු කාලය හදවතින්ම විදිය හැක. .. සිත තැවුලට පත්වන මොහොතක එය සැනසිලිදායක සුවයක් මවනු ඇත.. ඒ අතීතාවර්ජණය මේ පාළු නිමේශය සුවදායි නිමේශයක් කරනු ඇත.
නමුදු මාගේ දරු මුණුබුරන් මා සේම මහළු වියට එළඹි කල ඔවුන්ට එලෙස සිහිකිරීමට සොදුරු මතකයන් මේ තාක්ෂණික මෙවලම් හමුවේද ? මා නොදනිමි..
~~~~නිමි~~~~~~❤️💛
සඳමාලි ජයවනගේ නිර්මාණයයි
No comments:
Post a Comment