රුපියල් දෙක

-රුපියල් දෙක-
(කෙටි කතාව )
------------------------------------
" මුදලාලි ,මෙ අහේනියට ආපු නියගෙ හින්ද අපෙ කුඹුරු ඔක්කොම පාළු වුණා නොවැ.ඒත් දෙයියනේ කියල මුදලාලිට නම් මේ අහේනියෙන් කරදරයක් නෑ වගෙ "

පියසේන මුදලාලිගෙ වී ගෝනි දෙස හොරැහින් බලා පැවසුවේය.

" මොන පිස්සුද මටත් මේ දවස් වල හරියට කන්න බොන්න නෑ." සියාතු මුදලාලි වෙනදා මෙන් පැවසුවේය.

එය මාර්තු මාසයේ මැද භාගයක් විය. හිරුගෙන් නික්මෙන අධික අවුරස්නය නිසා මීට දින කීපයකට පෙර ප්‍රතාපවත් යෝධයකු ලෙස පාර ලිද අසල වැටී තිබූ කුඹුක්කන් ගස අද ඇටසැකිල්ලක් බවට පත්ව ඇත. සියාතු මුදලාලි ගමේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූයේ තමාගේ දැඩි ලෝභකම නිසාමය.එය ඔහුගේ පියාගෙන් පැවත එන්නක්ද නැතිනම් ඔහු විසින්ම ඇති කරගත්තේද පැවසීමට අපහසුය.මදක් තර සිරුරකින් යුත් සියාතු කඩමණ්ඩියටත් නිවසටත් ඇන්දෙ එකම බැනියමකි.පාටෙන් දුඹුරු පැහැයක් ගත් එහිද තැනින් තැන වූයේ ලොකු කුඩා සිදුරුය.සියාතු තවමත් අවිවාහකයෙකි.තමාගේ දේපල පිටටයාවී කියා බියෙන් ඔහු විවාහ නොවී සිටී යැයි ගමේ සියළු දෙනාගෙ සැකයයි.
පසුදින උදෑසනින්ම අවදිවූ සියාතු සිරිත් පරිදි තම කඩපිල විවෘත කිරීමට සැරසුණේ ය.

" අනේ මුදලාලි මගේ කොලුවට කන්න නැතුව ඌ අරෙහෙ අඩනවා...මට ණයට හාල් මිටක් දීපංකෝ.." යැයි පවසන හඩක් ඉදිරියට විහිදී යන පටු මාවත දෙසින් ඇසිනි.

සියාතු කලබලයට පත්ව වටපිට බැලුවේය.කඩපිල මතට අදුරු පැහැ සෙවනැල්ලක් වැටුණි.

" ආ.....මෙ කළු හාමිනෙ නොවැ,මං මෙ බැලුව උදේ පාන්දරම කුකුලත් අරගෙන ආවේ කවුද කියල "
සියාතු බුදු පහනට තෙල් වක් කරමින් පැවසුවේය .
" අනේ මුදලාලි මට හාල් මිටක් දීපංකෝ.. " යැයි මදක් බැගෑපත් කටහඩින් කළුහාමි පැවසුවාය .

" නොදකින් උදේ පාන්දරම ඉල්ලගෙන ආවා.උඹේ ණය පොත් දෙකම ඉවර වේගන එනවා සල්ලි දීල බඩු ගනිං "
සියාතු කළුහාමි දෙස රවමින් බලා පැවසුවේය .

කළු පාට උඩුරැවුල හා රත් පැහැ ගැහුණු විශාල ඇස් දුටු කළුහාමි කුමකකරම්දෝ යැයි සිතමින් සිටියාය.

" උඹ තවත් බලාගෙන ඉන්නෙ ,පලයං යන්න " සියාතු ගිගුරුම් දුන්නේය.

වරක් වියළි කොළ වැටුණු පාරත් හිස් අහසත් දෙස බලමින් මගට බැස තමාටම හූල්ලමින් යන කළු හාමි දෙස බලමින් සියාතු උගුර පාදා කෙළ ගැසුවේය.
ලා කහ පැහැති පහන් දැල්ලේ ආලෝකය අඩු කර ඔහු මුදල් තිබූ ලාච්චුව ඇද ගනන් කරන්නට විය.

" තිස්දාහයි ......තිස් පන්දාහයි." යැයි ගණන් කළ ඔහු වරක් හෝ දෙවරක් හොරැහින් වටපිට බැලුවේය.ඔහු නැවතත් ගණන් කරන්නට විය.ඉදහිට ඇසුන කුරුල්ලන්ගේ හඩ ඇර මුළු පරිසරයම නිහඩතාවයේ ගීලී ගොස්ය.
සියාතු මුදල් සියල්ල ගණන් කර ලාච්චුවලට දමා පුටුවෙන් නැගී සිටියේය.

බිත්තිය මුල්ලේ ගෝනි රාශියක් අපිළිවෙලට තබා තිබිණි.ඒවා අතර දිළිසෙන යමක් දැක සියාතු මදක් නැවතුණි. ඔහු දණගසා එය ගන්නට තම අත ගෝනියට තැබීය.අධික බරින් යුත් ගෝනි සියල්ල ඔහු මත ඇද හැලිනි.එ ඔහුගේ අවසානය බව සියාතු මොහොතක්වත් සිතන්නට නැත.ඔහු හැකි තරම් වැර යොදා කෑගැවේය.නමුත් එය අසා කිසිවෙකුත් එහි නොපැමිණියහ.

උදෑසන නවය පමණ වන විට ගමේ බොහෝ දෙනා කඩ පිළට වී බලා සිටින්නට වූහ.අත්පා සියල්ල යටකරගෙන විශාල වී ගෝනි රැසක් මුදලාලි මතට වැටී තිබුණි . ඒ අසලම රුපියල් දෙකේ කාසියක්ද වැටී තිබුණි.

:::::නිමි:::::
-------------------------------------------------------------

උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment