කෙටි කතාව....
"ආදරණීය අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ.. කරන්න රස්සාවක් තියෙද්දි මං අද මේ බස් රථයට ගොඩ වුණේ පුංචි දරුවකුගේ ජීවිතයක් බේර ගන්න.. "
පෙම් සිහිනේ සිත සැනසු... අයියෝ මේ මගුල රින්ග් වෙනවා.. ශාලිකා වෙන්න ඇති.. මං ෆෝන් එක දිහා නොබලාම කෝල් එක කට් කරා..
"බලන්න.. මේ ෆොටෝ එකේ ඉන්න දරුවට වයස අවුරුදු 4යි.. ඒත් අක්මාවේ පිළිකාවක්.. ඔපරේශන් එක ඉක්මනට කරන්න ඕනි.. ලක්ශ 22ක් ඕනි.. ඒකයි අපි මේ බස් රථයට ගොඩ වෙලා ඔබ තුමන්ලාලෙන් ජීවිතයක් වෙනුවෙන් පොඩී ආධාරයක් ඉල්ලන්නේ.."
"අම්මෝ විමල් අයියේ, අද නම් මාර කට්ටක් කෑවේ.. මේ පැත්තේ එවුන් මාර ලෝබයිනේ.. උගුරත් ඉවරයි අද..."
හවස සල්ලි ගණන් කරද්දි මං කිව්වේ ඇත්තටම උගුර රිදෙන්න ගත්ත නිසා..
"අපෝ බං.. රෑට දෙකක් දාගත්තම හරි.. ඕවා ඇරිලා යයි..."
"මං අහන්නමයි හිටියේ විමලෙ අයියේ, අපි අර ෆොටො පෙන්නන දරුවා කොහේ කෙනෙක්ද..? දැං කොහෙද ඒ දරුවා..."
මං ඇහුවේ මේ රස්සාවට ආපු දවසේ ඉඳන් අහන්න හිතුන ප්‍රශ්නයක්...
විමල් අයියා කිණ්ඩියට හිනාවක් දැම්මා..
"උඹ හිතන්නේ ඒ ළමයා තාම ජීවත් වෙනවා කියලද..? උඹට පිස්සුද බං...? ඒ ළමය මැරිලා හුඟක් කල්..."
ඒක ඇහුවම නම් මට දැනුනේ දුකක්. කාගේ වුණත් පොඩි දරුවෙක්නේ...
"මොකද බං ළමයා ජීවත් වුණත් නැතත්.. අපිට ජීවත් වෙන්න සල්ලිනේ බං ඕන..."
ඒකත් ඇත්ත...
පෙම් සිහිනේ සිත...
ශාලිකා... ගාමන්ට් එකේ වැඩ ඉවර වෙලා වගේ.. වැඩ ඉවර වුණ ගමන් මට කතා කරන එක ශාලිකාගේ පුරුද්ද..
"හෙලෝ..."
"ඇයි දවල් ආන්සර් නොකෙරුවේ.."
"මං බස් එකේ හිටියේ... දන්නවනේ ඔයා..."
"අනේ සුපුන්.. මං ඔයාට කියනවනේ හැමදාම ඔය ලෙඩක් විකුණන එක නතර කරන්න කියලා.. අපිට මගේ ඇති ජීවත් වෙන්න.."
"මේ ශාලිකා අදත් පටන් ගත්තද.. බයික් එකේ ලීසිං එක ගෙවලා ඉවර වුණාම මේක අත අරලා වෙන ජොබක් කරනවා.."
අමාරුවෙන් ශාලිකාවත් ශේප් කරන් ෆෝන් එක තිබ්බා..
අවුරුද්දක් තිස්සේ බස් වලට නැගලා මේ දරුවා ගැන කියලා සල්ලි එකතු කරන එක තමයි මගේ රස්සාව..
දැනට ගැන්සියේ කොල්ලො 6ක් ඉන්නවා.. විමල් අයියා තමයි ලොක්කා..
අපි දැනට ලංකාවේ ගොඩක් පළාත් වලට මෙහෙම ගිහින් තියේ...
කොටින්ම කිව්වොත් අපි කරන්නේ මිනිස්සු අන්දන එක... ඒකත් කලාවට...
කැමැත්තෙන් නොකෙරුවත් හොඳට අතට ගාණක් හම්බෙනවනේ..
කොහොමත් තව මාස දෙකනේ..
*****************************
මාස දෙකක් කිව්වට මාස පහක්ම මං ඒ රස්සව කරා..
කොහොමෙන් කොහොම හරි ඒ රස්සාවට ටටා බායි කියන්න වුණේ ශාලිකාගේ කරච්චලේ ඉවසගන්න බැරුව...
අපි එක වහලක් යටට ගියෙත් ඔය කාලෙම තමයි..
අඳුරන කෙනෙක්ගේ මාර්ගයෙන් මට ඩී එස් අයි එකේ ජොබක් සෙට් වුණා.. පඩියත් කියන්න තරම් අවුලක් තිබ්බේ නෑ. කලින් රස්සාව තරම් නැති වුණත් මාසේ ශේප් කර ගන්න පුලුවන් වුණා.. ඒ හින්දා මං ශාලිකාව ගෙදර නවත්ත ගත්තා..
ගෑණිගෙන් හම්බ කරන් කන්න මට වුවමනාවක් තිබ්බේ නෑ..
ඔහොම සෑහෙන්න කාලයක් ගත වුණා..
කසාද බැඳලා අවුරුදු 3ක් ගෙවුණත් අපිට දරු සුරතල් බලන්න තාම වාසනවක් තිබ්බෙ නෑ.
අපෙ අම්මලාගෙන් ශාලිකාට කරන වෙනස්කම් වැඩි වෙද්දි අපි දොස්තර මහත්තයෙක් හම්බ වෙන්න ගියා...
දීපු බෙහෙතුයි, කරන්න කියපුවයි අපි අකුරක් නෑර කරා.. මටත් වඩා ශාලිකා..
එයාට දරුවෙක් ගැන ගොඩක් හීන තිබ්බා.. මේ ප්‍රශ්න නිසා මටත් වැඩිය විදෙව්වෙ එයා..
අවුරුද්දක් ඔහේ ගත වුණා..
දවසක් මං උදේ නැගිටිද්දි වැඩට යන වෙලාව පරක්කු වෙලා.. වෙනදට කිරි එක හදලා මාව ඇහරවන ශාලිකා අද ඇඳ උඩවත් නෑ...
මං සරමත් ගැට ගහන් ගියා සාලෙට....
"ශාලිකා..."
මං දෙපාරක් තුන් පාරක් කතා කරත් ශාලිකාගෙන් කිසි ප්‍රතිචාරයක් තිබ්බේ නේ..
තාම දරුවෙක් නැති එක ගැන ශාලිකා හිටියේ සාංකාවෙන්... එයා මොනාහරි කර ගත්තා වත්ද..??
මං කුස්සියටත් ගියා.. පිළිකන්නට බැහැලා බලද්දි මං දැක්කා ශාලිකා ළිඳ ගාව ළිං ගැට්ට අල්ලන් බිමට පහත් වෙලා ඉන්නවා..
මං දුව ගෙන වගේ ළඟට ගියේ...
ශාලිකා වමනේ දානවා...
සිතුවිලි එක දිගට මාව කන්න හදද්දි මං එවලෙම ශාලිකාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා..
මං ජීවීතේ අහපු ලස්සනම ආරන්චිය කිව්වේ දොස්තර මහත්තයා...
අපිට පුංචි පැටියෙක් මඟ එනවා...
මං තාත්ත කෙනෙක් වෙන සතුට හැමෝටම කිව්වේ මං...
හැබැයි මටත් වඩා සතුටු වුණේ මගේ දරුවගේ අම්මා...
කාලය ගෙවිලා ගියේ හරි හෙමින්.. මගේ පැටියා මගෙන් හැංගිලා මාස 8ක් තිස්සෙ අම්මගේ බන්ඩියේ..
මං එදා වැඩට ගියා... ශාලිකා ගේ අතු ගාද්දි ලිස්සලා වැටිලා හොස්පිටල් ගෙනිහින් කියලා අපෙ අම්මා මට කෝල් කරල කියද්දි මගේ කකුල් පණ නැති වුණා...
ඒත් පෙර කරපු පිං හින්දා මං එච්චර අවාසනවන්ත නෑ..
මගේ ශාලිකාවයි චූටි පැටියවයි කරදරයක් නැතුව බේරගෙන තිබ්බා..
හැබැයි වෙච්ච දේ නිසා ශාලිකාගේ ගර්බාශය ඉවත් කරන්න වුණා...
අපිට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ.. අපි එකම දරුවා කිසි දුකක් නොදි ආදරෙන් බලා ගන්න තීරණය කරලයි තිබ්බේ...
මං තාත්තා කෙනෙක් වුණේ පුංචි දුවෙකුට.. දූ පැටියා මගේ අතට ගද්දි තරම් සතුටක් මට කවදාවත් මීට කලින් දැනිලා තිබ්බේ නෑ..
අහම්බෙන් වගේ අර මං බස් වලට නැගලා ෆොටෝ එකක් පෙන්න පෙන්න රවට්ටපු රස්සාව මතක් වුණා... ඒ දරුවත් මේ වගේම ලස්සන දුවෙක්..
අපේ ගෙදරම සතුටින් පිරුණා..
පුංචි කෙල්ල අපේ ලොකේම වෙනස් කරා..
ශාලිකා දුවට නම තිබ්බේ ප්‍රාර්ථනා කියලා..අපේ ප්‍රාර්ථනා දෙවියෝ අහන් ඉඳලා අපිට දුන්න පුංචි කෙල්ල..
අවුරුදු 5ක් ගත වුණේ හිතා ගන්න බැරි විදියට.. දූ එක්ක ඉද්දි ජිවීතේ ලස්සට ගෙවුණා...
ඒත් එක දවසක අපේ ජීවිත වලට අපල කාලය උදා වුණා..
දුව නිතරම ලෙඩ වුණා...
කොච්චර බෙහෙත් කරත් සනීප වුණේ නෑ...
කලුම කලු කොන්ඩෙ කරල් දෙක දෙපැත්තට වන වන, සුදු කම්බුල් පුම්බ හිනා වෙන පොඩි කෙල්ල නිතරම ලෙඩ වෙද්දි මගෙයි ශාලිකාගෙයි හිත් ලෙඩ වෙන්න ගත්තා...
දවසක් හවසක දුව ලේ වමනේ කරා..
ශාලිකායි මායි අඬ අඬා දුවව ඉස්පිරිතාලේ අරන් ගියා..
ගොඩක් පරික්ශන වලට පස්සේ දොස්තර මහත්තයා අපිට කතා කරා..
"අපිට කියන්න ගොඩක් කණගාටුයි.. දරුවෙක් අම්මට, තාත්තට දරුවෙක් ගොඩක් වටිනවා. මං දන්නවා.. ඒත් මේ වෙලාවට ඔයාලා ගොඩක් ශක්තිමත්ව ඉන්න ඕනි.."
කියා ගන්න දෙයක් නැතුව බයටම උගුර කට වේලුනා..
"දරුවට අක්මාවේ පිළිකාවක්.. ඔපරේශන් එකක් කරන්න තියෙන.....
එතනින් එහා එක වචයක් වත් මට ඇහුනේ නෑ..
මං නැඟිටිලා වාට්ටුව පැත්තට ඇවිදන් ආවා..
මං බස් එකේ සෙනඟට කතා කරනවා මට මැවිලා පෙනුනා..
ඔලුව කැරකෙන්න පටන් ගද්දි මං හෙව්වේ මගේ පාර්ථනාව..
කෙල්ල ඈත ඇඳක ඉදන් මට අත වැනුවා...
මං දැක්කේ මගේ දුවව නෙවේ...
අපි බස් වල දුක කිය කිය මිනිස්සු රවට්ටපු, ඒ ෆොටෝ එකේ හිටපු දරුවා...
මුලු ඇඟම සීතල වෙද්දි මගේ අත ගියේ පපුවට..
අනේ මගෙ ප්‍රාර්ථනා...
--------------------------------------------------------------------------------------------------------------
උපුටා ගැනීමකි
No comments:
Post a Comment