සංසාර ආදරේ

 
🌹💕සංසාර ආදරේ.🌷💕

“දෝණී….. ඉක්මනට එන්න දරුවෝ.පන්සලට යන්න පරක්කු වෙනවා”අද අපේ ගමේ පන්සලේ ලොකු පිං කමක් තියනවා.මුළු ගමට ම සෙත් පතලා අද රෑට පිරිතක් තියනවා.හෙට උදේට දේව දානයක් දෙනවා.අපේ අම්මායි මම යි පන්සලට යන්න කියලා.කොහෙද ඉතිං මං පරක්කුයි නේ….හරි අම්මේ.. ඔන්න මං ආවා.යමු….”

මම මුතූ.හැබැයි හැමෝම මට කතා කලේ දෝණී කියලා.මම ගමේ ම හැදුනු කෙනෙක්.කවුරුත් කිව්වේ මං හරි හොඳට හැදුනු කෙල්ල කියලා.හැමෝම මට ආදරෙයි.මං උසස් පෙළ ලියලා ඉන්නේ. විශ්වවිද්‍යාලෙට යන්න ලකුණු පොඩ්ඩයි මදි වුනේ.ඉතින් මොනවා කරන්නද.ආයෙත් විභාගෙ කරන්න ගියෙත් නෑ.ගෙදරට වෙලා අම්මාට උදව් කරගෙන හිටියා.මං අම්මාගේ කීකරු කෙලි පොඩ්ඩ නේ…..

අම්මායි මම යි දෙන්නම පන්සලට ගීයා.රෑ පිරිත නිසා ගොඩක් වැඩ තිබුනා.කොහොමත් අපි පන්සලට ගොඩක්ම ලැදි.පන්සලේ මොන වැඩේ තිබුනත් අපි යනවා.මං හිටියේ අපේම වයසෙ වගේ යාලුවො ටිකක් එක්ක.කවදාවත් මං අම්මාගේ හිත රිදෙන වැඩක් කරලා නෑ.ඒ නිසා අම්මාට මං ගැන සැකයක් නෑ ඉතින්.මගේ පස්සෙන් එලව එලව මං ගැන හොයන්නේ නෑ.මං අම්මාගේ කීකරු කෙලි පොඩ්ඩනේ…..

එදා රෑ පන්සලේ වැඩ කරද්දි තමයි මං කසුන් අයියත් එක්ක ටිකක් වැඩියෙන් කතාවට වැටුනේ.මං හරිම සැහැල්ලුවෙන් හිටිය කෙල්ලෙක්.ජීවිතේ ප්‍රශ්න කියලා දෙයක් මහ ලොකුවට මට දැනිලා තිබුනේ නෑ.ඕනම කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරනවා.ඒත් කසුන් අයියා එක්ක මීට කලින් එච්චර කතා කරලා තිබුනේ නෑ… පිරිත් අහලා පාන්දර 1 ට විතර අම්මායි මම යි ගෙදර ආවෙ පැය දෙක තුනක් නිදාගෙන ආයෙත් පන්සලට යන්න.උදේට දේව දානෙ නේ…

“දෝණී…. පන්සලට යනවාද දරුවෝ,යනවා නම් නැගිටින්න.මයෙ කෙල්ලට නිදිමත නම් නිදාගන්න.මං ගිහින් එන්නම්”“නෑ අම්මේ මාත් එනවා.. මං මූණ සෝදගෙන එන්නම්”උදෙත් අපි ගියා පන්සලට.ඒ වෙලාවෙත් කසුන් අයියා මං එක්ක වැඩියෙන් කතා කරනවා කියලා මට දැනුනත් මං ඒක එච්චර හිතුවෙ නෑ…

“නංගිට නිදිමත නැද්ද,මං හිතුවෙ උදේට එන එකක් නෑ කියලා”නිදිමත නම් තියනවා අයියේ.ඒත් මේ වගේ දේවල් හැමදාම නෑනෙ.ඒ නිසා ආවේ.මං හරි ආසයි පන්සල් එන්න”“අන්න නංගි අම්මා එනවා,,දෝණී… ගෙදර යමු නේද පුතේ”“හා අම්මේ යමු.ගිහින් ටිකක් නිදාගන්නත් ඕන..”“අපි යනවා අයියේ….”මං කසුන් අයියාට එහෙම කියලා අම්මා එක්ක ගෙදර ආවා….

ආයෙත් කසුන් අයියාව මට හමු වුනෙත් මං පන්සල් යද්දිමයි.එයාලාගෙ ගෙදර තිබුනේ පන්සල කිට්ටුවමයි.හැම සෙනසුරාදා ම මං පන්සල් ගියා සෙනසුරු පූජාව තියන නිසා.එදා අම්මා ආවෙත් නෑ කකුල් අමාරුව හැදිලා.මං තනියම ගියා.මේ ගමේ හැම තැනම මට හුරුයි.තනියක් තිබුනේ නෑ.ඒත් ටිකක් දුර යද්දි එක පාරටම කොහෙදෝ හිටිය බල්ලෙක් මගේ පස්සෙන් එලවගෙන ආවා.පිස්සු බල්ලෙක් ද කොහෙද.. අම්මෝ මං බල්ලොන්ට හරිම බයයි.මං කෑ ගහගෙන ළඟම තිබුන වත්තට දුවගෙන ගියා.මං ගිහින් නතර උනේ ගේ ඇතුලෙ.මගේ සද්දෙට ගේ ඇතුලෙන් දුවගෙන ආවේ කසුන් අයියා.එතකොට තමයි මං දැනගත්තේ මං ඇවිත් තියෙන්නේ කසුන් අයියාලගෙ ගෙදරට කියලා.

“නංගි මොකද මේ… මොකුත් කරදරයක් ද? “කසුන් අයියාගෙ අම්මා,ඒ කියන්නෙ පොඩි නැන්දත් දුවගෙන ආවේ මොකද මේ කලබලේ කියලා බලන්න.මොකද දෝණී වුනේ….”අනේ පොඩි නැන්දේ මං මේ පන්සලට යන ගමන්.පිස්සු බල්ලෙක් ද කොහෙද මගේ පස්සෙන් දුවගෙන ආවා.මං හොඳටම බය වෙලා මෙහෙට දුවගෙන ආවේ.ඌ තාම ඉන්නවාද දන්නෙ නෑ.මට දැං යන්නත් බයයි”

“අනේ පුතේ මේ නංගිව පන්සලට ලඟට එක්කන් යන්නකෝ.පව් කෙල්ල හොඳටම බය වෙලා”පොඩි නැන්දා කසුන් අයියාට එහෙම කිව්වා.“හරි නංගි යමු.මං එක්කන් යන්නම්”මං කසුන් අයියා එක්ක පන්සල ලඟටම ආවා.“නංගි එහෙනම් මං යන්නම්….”හා අයියේ බුදු සරණයි..”“බුදු සරණයි නංගී..”එහෙම කියලා කසුන් අයියා යන්න හැරුනමයි මට මතක් වුනේ පූජාව ඉවර වෙලා මං යන්නත් ඕන තනියම කියලා.ඒ බයට ම මං කසුන් අයියාට කතා කරා.“අයියේ….. “මොකද නංගී..”“අනේ මං පූජාව ඉවර වෙලාත් යන්න ඕන තනියම නේ.මං මොකද කරන්නේ..”

“ආ… ඒකත් ඇත්තනේ.ම්ම්ම්… මොකද කරන්නේ. මං කියන්නද, මං මගේ නම්බර් එක දෙන්නම්.නංගි පූජාව ඉවර වෙලා මට කෝල් කරන්නකෝ.මං ගෙදර ළඟට එක්කගෙන යන්නම්”“අනේ ඔයාටම ආයෙත් කරදර කරන එක හොඳ නෑනේ…”“කරදරයක් නෑ නංගි.ඕක මොකද්ද,මෙන්න නම්බර් එක”“හා අයියේ එහෙනම් මං කෝල් කරන්නම්.බුදු සරණයි”

පූජාව නම් ඉවර වුණා.ඒත් මට හිතුනේ නෑ කසුන් අයියාට කරදර කරන්න.මං කල්පනා කරේ කොහොමද මං යන්නේ කියලා.කොහෙද ඉතින් අපේ ගෙවල් පැත්තට යන කවුරුවත්ම හිටියෙ නෑනේ.කල්පනා කරලා කල්පනා කරලා මං කසුන් අයියාට කෝල් කලා..

“හෙලෝ කසුන් අයියේ,පූජාව නම් ඉවරයි….”“ඉන්නකො නංගි,මං ඉක්මනට එන්නම්..”එහෙම කියලා මං පාර දිහා බලද්දි මට පේනවා ඈත කසුන් අයියා එනවා.එයා ඇවිත් මාව ගෙදර ළඟටම එක්කගෙන ආවා.“ඔයා ගෙදර ළඟටම ආවා නේද අයියේ.ගොඩක් පිං මං එක්කගෙන ආවාට.මං ගොඩක් බයයි නේ බල්ලොන්ට”

“පණ්ඩිත කමට යනවා නේ තනියම.ඔහොම දෙයක් වුනාම තමයි රත් වෙන්නේ..”“හ්ම්…. ඔයත් දැන් පරිස්සමෙන් යන්න.නැත්නම් පිස්සු බල්ලෝ එයි…..”එහෙම කියලා හිනා වෙලා මං ගෙදරට ආවා…. සතියකට විතර පස්සේ මට ආයෙත් කසුන් අයියාගෙන් කෝල් එකක් ආවා.මං නම්බර් එක අඳුරන්නේ නෑ වගේ කතා කරේ..

“හෙලෝ නංගී.. මතකද දන්නේ නෑ මාව..”“ම්… කවුද මේ.. මට මතක නම් නෑ”“ඔහොම තමයි ඉතින් අපි අමතක වෙලානෙ දැන්.මං කසුන් අයියා”“කසුන්… ඒ කවුද?”“හරි හරි නංගිට මතක නැත්නම් කමක් නෑ.මං තියන්නම්.අයියෝ…. රැවටුනා නේ… මං චුට්ටක් ඔයාව ඇන්දුවා.මට මතකයි කසුන් අයියේ ඔයාව.ඵහෙමත් අමතක වෙනවාද”

ඔහොම තමයි අපේ කතාව පටන් ගත්තේ.කසුන් අයියා දවස් දෙක තුනකට සැරයක් මට කතා කරා.හැබැයි ඒ වචන වල යාලු කමට එහා ගිය දෙයක් තියනවා කියලා මට දැනුනේ නෑ.ඒත් මාස දෙකක් විතර යද්දි කසුන් අයියා මට ආදරෙයි කියලා කිව්වා.මටත් කසුන් අයියාගේ කිසි වැරැද්දක් පෙනුනේ නෑ.මාත් කසුන් අයියාට ආදරෙයි කිව්වා…

එදා පටන් ගත්ත අපේ ආදර කතාව හරිම ලස්සනට ගලාගෙන ගියා..අපි දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියේ.මට එයාව මගේ හුස්ම තරමට ම ලං වුනා.එයාටත් එහෙමයි.අපි දෙන්නා අතරේ පුංචි රණ්ඩුවක් වත් තිබුනේ නෑ. ගෞරවය, විශ්වාසය අපි අතරේ උපරිමෙන් ම තිබුනා.අපේ ආදරේ ගොඩක් ශක්තිමත්.මේක ආත්මීය බැඳීමක් කියලා හිතෙන තරමට ම ගොඩක් ආදරෙන් අපි හිටියේ.දෙන්නාගෙන් කවුද වැඩියෙන් ආදරේ කරන්නේ කියලා ඇත්තටම හිතා ගන්න බෑ.දෙන්නම තරඟෙට ආදරේ කරනවා වගේ.ඒ වගේම අපි දෙන්නාගෙ සම්බන්දෙට ගෙදරින් කැමති වෙයි කියන විශ්වාසෙත් මට තිබුනා.මොකද අකමැති වෙන්න හේතුවක් මං දන්න තරමින් තිබුනේ නෑ.ඒත් මං මේක දැන්ම අම්මාට කියන්න ගියේ නෑ.කසුන් අයියා නම් එයාගේ අම්මාට, ඒ කියන්නේ පොඩි නෑන්දාට කියලා තිබුනා.පොඩි නැන්දා නම් කොහොමත් මට හරි ආදරෙයි නේ……

අපේ ආදරේ පටන් ගත්ත දවසේ ඉඳන් මං එයාට කතා කරේ මගෙ වස්තූ කියලා.එහෙම කිව්වාට මට එයාව දැනුනේ මගේම දරුවෙක් වගේ.ඒ තරම් මං එයාට ආදරේ කරා.පරිස්සම් කරා.එයා නම් මට කියන්නේ දෝණී කියලා.මං ආස එයා මට එහෙම කතා කරනවාට..

මං සමහර දවසට පොඩි නැන්දලාගෙ ගෙදර යනවා.මං එහේ ගියා කියලා අපේ අම්මාට මාව සැක වුනේ නෑ.අපේ අම්මා මට හැමදාම කිව්වේ“මොනවා කලාත් කමක් නෑ දෝණී,මෙච්චර කල් මගෙ කෙල්ල තියාගෙන ආපු හොඳ නම හැමදාටම තියාගන්න” කියලා..

මං මගෙ වස්තු බලන්න එහේ යන සමහර දවසට පොඩි නැන්දා එහේ නෑ.එහෙමයි කියලා කසාද බැන්දට පස්සේ වෙන්න ඕන කිසිම දෙයක් අපි අතරේ වුනේ නෑ..හැබැයි පොඩි නැන්දා හිටියත් නැතත් මං ගෙදර යද්දි මගෙ වස්තු ට නළල ට උම්මා එකක් දෙන්න මං කවදාවත් අමතක කරේ නෑ.එයාගෙනුත් උම්මා එකක් නැතුව මං ගෙදර යන්නේ නෑ…

දවසක් මං එහේ යද්දි මගෙ වස්තු ට හොඳටම උණ හැදිලා.මං ගිහින් නළල ට අත තියලා බලද්දි නළල හොඳටම රත් වෙලා.එයා ලෙඩ වෙලා ඉන්න විදිය දැක්කාම මට ගොඩාක් දුක හිතුනා. මං කොහොමවත් කැමති නෑ මගෙ වස්තුට කිසිම දෙයක් වෙනවාට.අම්මා කෙනෙක් ට තමන්ගෙ දරුවා ලෙඩ වුනාම කොච්චර දුක ද?අම්මා කෙනෙක් ගේ ආදරේට සම කරන්න තරම් වෙන කිසිම ආදරයක් නෑ.ඒත් මං මගේ වස්තු ට ගොඩාක් ආදරේ කරා.අපි දෙන්නා ආදරේ කරන්න ගත්තාට පස්සේ එයා නිසා මං අඬපු මුල්ම දවස ඒ..

මං එහේ ගියාම මගෙ වස්තු ලඟටම වෙලා හිටියා.නින්ද යනකන් ම ඔලුව අතගෑවා.එයා නිදා ගත්තත් මං එයාගෙ ළඟට ම වෙලා හිටියා.එයා නින්දෙන් නැගිටලා ඇස් අරිද්දි මං එයාගේ ලඟටම වෙලා ඉන්නවා කියලා දැක්කාම එයාගේ මූණෙ තියන සතුට…. එයාගේ සතුට තමයි මට හැම වෙලාවෙම ඕන වුනේ. මගේ අතින්ම කෑම හදලා කැව්වා.ලෙඩ වෙලා හිටිය දවස් වල මගේ වස්තු ගේ රෙදි සෝදලා දුන්නෙත් මම.එයාට මොන කරදරේ ආවත් මං එයාව තනි කරන්නේ නෑ කියලා එයාගේ හිතට දැනෙන්නයි මට ඕන වුනේ.. සතියක් විතර යද්දි මගෙ වස්තු ට සනීප වුනා…

මේ වෙද්දි අපේ ආදරේ ට අවුරුද්දයි මාස 6ක් විතර වෙලා තිබුනේ.මගෙ වස්තු මට කියනවා“මං කොළඹ යන්න හිතන් ඉන්නේ දෝණී.එහෙන් මට හොඳ ජොබ් එකක් සෙට් වුණා.මං දන්නවා මගෙ දෝණිට මං නැතුව ඉන්න බෑ කියලා.ඒත් මං යන්නේ අපි දෙන්නාගේ අනාගතේ හදාගන්න නේ පැටියෝ.මං හැමදාම මගේ චූටි දෝණිගේ නේ… ඒ නිසා මං ගියාම අඬන්නෙ නැතුව ඉන්න ඕන හොඳද පැහිච්ච ආච්චී..”

කියලා.ඒත් මගෙ වස්තු එහේ තනි වුනාම වෙනදා වගේ මං හොයලා බලන්නේ කොහොමද.ලෙඩ වුනාම ලඟට වෙලා ඔලුව අතගාන්නේ කොහොමද.මෙහෙම ප්‍රශ්න ගොඩයි මගේ හිතේ.ඒත් මං කොහොම හරි හිත හදාගත්තා.මගෙ වස්තු ජොබ් එකට කොළඹ යන දවසෙ මගේ මුලු හදවතින්ම ප්‍රාර්තනා කරේ එයාව ආරක්ෂා කරලා දෙන්න,එයාගේ හැම වැඩක් ම සාර්තක වෙන්න කියලා.. එයා ගියාට පස්සේ මං හිත හයිය කරගෙන හිටියා.මට මේක මේ තරම් ම දැනුනේ අපි දෙන්නා කවදාවත් දුරස් වෙලා ඉඳලා නැති නිසා…

මගෙ වස්තු ගිහින් දවස් 5න් විතර එයා මට කිව්වෙ මං කවදාවත්ම හිතපු නැති දෙයක්.“නංගී, අපි මේ සම්බන්දෙ නවත්තමු.මං දැන් වෙන කෙනෙක්ට ගොඩාක් ආදරෙයි.මට ඒ කෙල්ලට බොරු කරන්න බෑ.අපේ සම්බන්දෙ අදින් ඉවරයි”

මට වචනයක් වත් කියන්න නොදී එයා එහෙම කියාගෙන ගිහින් කෝල් එක කට් කරා.එදායින් පස්සේ මගෙ වස්තු ගේ ෆෝන් එක වැඩ කරේ නෑ.මං සති ගනන් මාස ගනන් නොකා නොබී ඇඬුවා.මට ඒ දුක කොහොමවත් දරා ගන්න බැරි වුනා.අපි දෙන්නගේ හැම මතකයක්ම හැම තැනම මැවි මැවී පේන්න ගත්තා.අපේ අම්මාට මේ වෙනස තේරිලා මගෙන් ඇහුවා මොකද මේ කියලා.මට අම්මාට හංගන්න ඕන වුනේ නෑ.මං අම්මාට හැම දේම කිව්වා.අම්මා කිව්වෙත් හරිම හොඳ දරුවෙක් නේ ඒ.එහෙම කරේ මොකද දන්නෙ නෑ කියලා.එතකොට මට තේරුනා අපෙ අම්මාගෙනුත් මේ සම්බන්දෙට අකමැත්තක් නෑ කියලා.ඒත් දැන් ඒ කිසි දේකින් වැඩක් නෑ…

මං පොඩි නැන්දාටත් මේ හැම දේම කිව්වා.පොඩි නැන්දා කිව්වේ කෝල් කරපු වෙලාවට මේ ගැන ඇහුවත් කිසිම දෙයක් කියන්නෙ නෑ කියලා.මට හිතාගනාන බෑ මේ වෙච්ච දේවල්.මට විශ්වාස කරන්න බැරි වුනේ වෙන කෙනෙක්ට ආදරේ කරන්න තරම් මගෙ වස්තු ට මගේ ආදරේ මදි වුනාද කියන එක.එයා නිවාඩුවට ගමේ ආවත් වැඩි දවසක් හිටියේ නෑ.මාව දැක්කාත් නොදැක්ක ගානට අහක බලන් ගියේ.මං පිච්චි පිච්චි ජීවත් වුනේ මගෙ වස්තු නැතුව.ඉස්සර තිබුන මගේ සැහැල්ලුකම විනෝදෙන් හිටිය ජීවිතේ දැන් හොයාගන්න වත් නෑ…

ඔහොම අවුරුද්දක් විතර ගෙවිලා ගියා.මගේ දුක අඩු වුනෙත් නෑ.මගෙ වස්තු ගේ තීරණේ වෙනස් වෙලාත් නෑ….දවසක් මං ටවුන් එකට ගියා පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා.ඒ ටික කරන් එන්න.ඒ ටිකත් කරලා මං බස් හෝල්ට් එකට ගිය වෙලාවේ දැක්ක දෙයින් මට දැනුනේ මගේ මුලු ලෝකෙම මට නැති වෙලා ගිහින් වගේ.දෙයියනේ මගේ වස්තුව…… ටවුන් එකේ බාර් එකක් ලඟ වැටිලා ඉන්නවා.කෙලින් ඉන්නවත් පණ නෑ වගේ.මං දුවගෙන ගියා එතෙන්ට.එතන හිටියෙ ඔක්කොම බීපු මිනිස්සු.ඒ මිනිස්සු මගේ දිහා පුදුමෙන් වගේ බලන් හිටියෙ මොකද්ද මේ වෙන්නෙ කියලා.

“මගෙ වස්තූ.. මොකද මේ.දෙයියනේ මොනවාද මේ ඔයාට වෙලා තියෙන්නේ.නැගිටින්නකෝ.අපි ගෙදර යමු..”එයාට හොඳටම සිහි විකල් වෙලා තිබුනේ.මං එයාගෙ චූටි දෝණි කියලා වත් අඳුරගන්න එයාට බැරි වුනා.එයා කුණුහරුපත් කියලා මාව පැත්තකට තල්ලු කරලා දැම්මා.මට ඕන වුනේ මගෙ වස්තුව ගෙදර එක්කගෙන යන්න, ඒත් කොහොමද…. මං අත තියද්දිම මැව තල්ලු කරලා දානවානේ… එක පාරටම මතක් වුනා සමීර අයියාව, ඒ කියන්නේ මගෙ වස්තුගේ යාලුවා.එයාට ත්‍රීවීල් එකකුත් තියනවා.සමීර අයියා ආවොත් නම් ත්‍රීවීල් එකෙන්ම මගෙ වස්තු ගෙදර එක්කන් යන්නත් පුලුවන්.කලබලේ වැඩි කමට මගේ අත හොඳටම වෙව්ලනවා.මං ඉක්මන්ට ගත්තා සමීර අයියාට කෝල් එකක්.

“හෙ.. හෙලෝ සමීර අයියේ.. මං මුතූ”“මුතූ.. කියන්න නංගි,මොකද කලබලෙන් වගේ,හදිසියක්ද?”“අනේ අයියේ මේ මගේ කසුන් අයියා මේ ටවුන් එකේ බාර් එක ලඟ වැටිලා ඉන්නවා,අනේ පුලුවන් නම් ත්‍රීවීල් එකෙන් එන්නකො කසුන් අයියාව ගෙදර එක්කගෙන යන්න”“මොකක්.. මේ අපේ කසුනා?”අනේ ඔව් අයියේ මට අල්ලන්නවත් දෙන්නේ නෑ තල්ලු කරනවා”“හරි හරි නංගි මං විනාඩි 10ක් යද්දි ඔතන.ඔහොම ඉන්නකෝ”

එහෙම කියලා සමීර අයියා කෝල් එක කට් කරා.කිව්වා වගේම විනාඩි දහයක් විතර යද්දි සමීර අයියා ආවා.හරි අමාරුවෙන් මගේ වස්තුව ත්‍රීවීල් එකෙන් වාඩි කරවගත්තේ.එහෙම්මම අපි ගියේ කසුන් අයියලගෙ ගෙදරට.මට හිතාගන්න බෑ ඇයි මගෙ වස්තු මේ තරම් බීලා තියෙන්නේ කියලා.දෙයියනේ ඒ දවස්වල මං මගේ දරැවෙක් වගේ බලාගත්තේ,කවදාවත්ම අරක්කු සිගරට් බීපු කෙනෙක් නෙවෙයි. ඒත් අද මං කවුද කියලාවත් අඳුරගන්න බැරි තරම් ම එයා බීලා… අපි යද්දි පොඩි නැන්දත් ගෙදර හිටියා.

“පොඩි නැන්දේ.. පොඩි නැන්දේ….”“මොකද දෝණී… අනේ දෙයියනේ මේ මගේ කොල්ලා නේද.මේ මොකද දෝණි මේ…. ඊයේ ගෙදර ආවා කොළඹ ඉඳන්.හවස ගියා ගියාමයි රෑ ගෙදර ආවෙත් නෑ.දැන් තමයි ආවේ”කොහොම හරි මගෙ වස්තු ගේ ඇතුලට එක්කගෙන ගිහින් ඇදෙන් හාන්සි කරා.එහෙම්ම ම එයාට නින්ද ගියා.මට ගෙදර යන්න හිතකුත් නෑ.මං අපේ අම්මාට කෝල් එකක් අරන් මේ හැම විස්තරේම කිව්වා.මං කිව්වා අම්මේ මං කසුන් අයියා නැගිට්ටාම එන්නම් කියලා.. එහෙම කියලා ඉස්සර වගේම මගේ වස්තු ලඟටම වෙලා හිටියා.එයා මාව දාලා ගියාත් එයා කරදරයක් නැතුව හොඳින් ඉන්නවා නම් මට හිතේ සැනසීමෙන් ඉන්න පුලුවන්.ඒත් මෙහෙම වෙද්දි… මං හොඳටෝම ඇඬුවා එදා.ඉස්සර වගේම ඔලුව අතගගා ලඟටම වෙලා හිටියා මං.ගොඩාක් වෙලා ගිහින් තමයි එයාට ඇහැරුනේ.හැබැයි ඉස්සර වගේ එයා නැගිටිද්දි මං ලඟ ඉන්නවා දැකලා එයාගේ මූණේ හිනාවක් තිබුනේ නෑ.මගෙ ඇස් වලත් කඳුලු..

“දෝණී…..”“අනේ මොකද මගෙ වස්තු මේ, කවදාවත් බීලා නැති ඔයා මේ මොකද…”“මට දුකයි මගෙ දෝණී.මට ඔයා නැතුව ඉන්න බෑ.කොළඹ ගියපු දවසෙඉඳන් මං මැරි මැරී ඉපදුනා”“ඔයාට මොනවත් තේරෙන්නෙ නෑ නේද.ඉන්නකෝ.. මේක බැලුවම මගෙ දෝණිට හැම දේම තේරෙවි.ඔයාට කියාගන්න බැරි වුණ ගොඩක් දේවල් මේකෙ ලියලා තියනවා දෝණී… අනේ එක දෙයක්,ඕක දැන් බලන්නත් එපා අපේ අම්මාට පෙන්නන්නත් එපා.දැං කලුවර වීගෙන එනවානේ.දෝණී ගෙදර යන්න. ගෙදර ගිහින් ඕක බලන්න.ම්….”

එහෙම කියලා එයා මගේ අතට දුන්නේ ලොකු පොතක්.මං ඒකත් අරගෙන කඳුලු පුරවගත්ත ඇස් දෙකත් එක්ක යන්න හැරුනා මොකුත් නොකියාම.“කෝ දෝණී.. ඉස්සර වගේ…”එහෙම කියලා මගෙ වස්තු නළල ට අත තියලා පෙන්නුවා.මට එතකොට හිතුනා මේ ඉන්නේඉස්සර හිටිය මගේ වස්තුවම තමයි කියලා.ඒත්….මේ හැම ප්‍රශ්නෙකටම උත්තර මේ පොතේ ඇති නේ.. මං ගොඩාක් ආදරෙන් මගෙ වස්තුවට නළලට උම්මා එකක් දුන්නා..

“මං යන්නම් මගෙ වස්තූ.. බුදුසරණයි ““බුදුසරණයි චූටි දෝණී”මං ගෙදර ගියේ අර පොත කියවන්න බලාගෙනමයි.ඇත්තටම මොනවද මේ පොතේ ඇත්තේ.. මං අම්මාට වත් කිව්වේ නෑ කසුන් අයියා මෙහෙම පොතක් දුන්නා කියලා.ගිහින් තනියම ම කියෙව්වා…දෙයියනේ ඒකෙ තිබුන දේවල්.. මගෙ වස්තුව කොහොමද මෙච්චර ලොකු දුකක් හිතේ හිර කරගෙන ඉන්න ඇත්තේ…

මං මේ ගැන කලින් දැනගෙන හිටියේ නෑ.කසුන් අයියගේ අම්මා වැඩිහිටි කෙනෙක් වුනාට,තරුණ පුතෙක් හිටියට දැනටත් වෙන වෙන පිරිමි අය ආශ්‍රය කරනවාලු. කසුන් අයියා ඒ ගැන අම්මාට කීප වතාවක්ම කියලා තියෙනවා.ඔහොම කරන්න එපා අම්මේ දැන් අපිත් ලොකුයිනෙ.අපිටත් ලැජ්ජයිනෙ කියලා.ගමේ මිනිස්සුන්ට ආරංචි වුනාම කියන ඒවා මගෙ වස්තුවගෙ කන් දෙකටම ඇහිලා තියනවා.කොහොමද පුතෙක් ඒ දේවල් ඉවසගෙන ඉන්නේ.අනිත් එක අපේ ආච්චිලා නමි ඒ වගේ කෙනෙක් මගෙ නැන්දම්මා වෙනවාට කොහොමවත් කැමති නෑ.ඒක කසුන් අයියා හොඳටම දන්නවා.අපේ ආච්චිලා ටිකක් එක විදියක්.තවත් ඉස්සරහට ගියත් මේ ආදරෙන් දුකක්ම විතරයි.අම්මාගේ මේ හැසීරීම කිව්වාට නවත්තගන්නෙත් නෑ.මේ තත්වෙත් එක්ක අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න ලැබෙන්නෙ නෑ කියලා කසුන් අයියා දන්න නිසයි අපේ සම්බන්දෙ නවත්තලා තියෙන්නේ.තව දුර ගිහින් මට දුකක් දෙන්න බැරි නිසා.

කොළඹ ගිහින් තියෙන්නෙ මගෙන් ඈත් වෙන්න ඕන නිසා.එහෙදි වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා මට කියලා තියෙන්නේ බොරු.ඒ මගෙ හිතේ කසුන් අයියා ගැන වෛරයක් ඇති කරවන්න.එතකොට එයාව හිතින් අමතක කරන්න මට ලේසි නිසා.ඒත් කවදාවත්ම මගෙ වස්තුවට මං ඇරෙන්න වෙන කෙනෙක් ගැන ආදරේ හිතිලා නෑ.එයාම මාව එයාගෙන් ඈත් කරගෙන එයා හැමදාම පිච්ච් පිච්චි ඉඳලා තියෙන්නේ.ඒ දුකට තමයි බොන්න පුරුදු වෙලා තියෙන්නෙත්..

මං ඇත්තටම දැනගෙන හිටියේ නෑ පොඩි නැන්දා ගැන ඒ කියලා තිබුන කතාව.ඒ කොහොම වුනත් මගෙ වස්තුට තියන ආදරේ අඩු වෙන්නෙ නෑ.නීතියෙන් එකතු වෙන්න බැරි වුනත් මගේ ආදරේ හැමදාම එයාට විතරමයි.ඔක්කොටම වඩා මට දුක මගෙ වස්තු මේ හැම දේම තනියම දරාගෙන හිතින් දුක් වින්ද එකට.මං චුට්ටක් වත් කැමති නෑ ඒකට.හීනයක් වගේ මට මේ පොතේ තිබුන දේවල්.ගමෙන් ගියපු දවසෙ ඉඳන් හැමදාම හිතේ තිබුන දුක මගෙ වස්තුව බෙදාගෙන තිබුනෙ ඒ පොත එක්ක විතරයි.අඩුම තරමෙ සමීර අයියාට වත් මේ කිසිම දෙයක් කියලා නෑ.. ඒක කියවලා මං හොඳටෝම ඇඬුවා. මං අඬන සද්දෙ අම්මාටත් ඇහිලා.

“මොකද දරුවෝ මේ අඬන්නේ.අර ළමයා බීලා හිටිය දුකටද,. මොකද්ද ඔය පොත”“අම්මේ මේකෙ තමයි කසුන් අයියා වෙනස් වෙන්න හැම හේතුවක්ම තිබුනේ.”මං අඬ අඬම අම්මාට හැම දේම කිව්වා.හ්ම්….. මං දැනගෙන හිටියා ඒ ළමයාගේ අම්මා ඔහොමයි කියලා.ඒත් මං දන්නවා කසුන් පුතා ඔහොම නෑ කියලා.ඒ දරුවා හරි හොඳයි.මං දන්නවා මං ඇරුනම මගෙ කෙල්ල බලාගන්න පුලුවන් හොඳම කෙනා කසුන් පුතා කියලා.ආච්චිලා මොනවා කිව්වාත් මං මේ සම්බන්දෙට කැමතියි දෝණී.කසුන් පුතා වෙනස් වෙලා නැත්නම් ඔය දෙන්නා ආයෙත් වෙනදා වගේම ඉන්න කියලා තමයි මම නම් කියන්නේ…

“ඇත්තමද අම්මේ….අනේ කොච්චර දෙයක්ද මට ආයෙත් කසුන් අයියාව ලැබෙනවා නම්..”මගේ සතුට මට කියාගන්න බෑ.අපේ අම්මා මේ සම්බන්දෙට කැමතියි කියලා මගෙ වස්තුට කියන්නකන් මට ඉවසිල්ලක් නෑ.කසුන් අයියාගෙ අලුත් නම්බර් එක මම දන්නෙත් නෑනේ.නැත්නම් කෝල් කරලා කයන්න තිබුනා.හෙට උදේම එහේ ගිහිල්ලාම මේ ගැන කීයනවා.ඇත්තටම මට දැනුනේ මට මුලු ලෝකෙම අයිති වුනා වගේ හැඟීමක්.

පහු වෙනිදා උදේ මං ගියේ මගෙ වස්තුට මේ සුභ ආරංචිය කියන්න.මං යද්දිත් එයා මූණ බෙරි කරන් ඉන්නවා.මං සතුටින් ඉන්නවා දැකලා එයාට පුදුමයි.දෝණී.. ඔයා ආවාද.. අරක කියෙව්වාද”“ඔව් වස්තූ.. මං කියෙව්වා,,එහෙනම් මොකද මේ සතුටින්?”

ඊට පස්සේ වෙච්ච ඔක්කොම දේවල් මං මගෙ වස්තුවට කිව්වා.එයාට හිතාගන්නත් බෑ අපේ ගෙදරින් කැමති වුනා කිව්වාම.ඒත් ඒකනෙ ඇත්ත… දැන් අපිට කිසිම බාධාවක් නෑ.අපිට පුලුවන් අපේ ආදරේ ආයෙත් පටන් ගන්න.පොඩි නැන්දත් පහු වෙනකොට එයාගෙ නරක වැඩනැවැත්තුවා.අඇත්තටම අපි හැමෝම ගොඩක් සතුටින් හිටියේ.

මං කවදාවත් හිතුවෙ නෑ මගෙ වස්තුව ආයෙත් මට ලැබෙයි කියලා… දැන් මට මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා දැනෙනවා.මගේ ජීවිතේ නැතිවෙලා තිබන සතුට සැහැල්ලුව ආයෙත් මට ලැබුනා.කාගෙත් ආශිර්වාදය එක්ක අපි දෙන්නා ආයෙත් අපේ ආදරේ පටන් ගත්තා. ආයෙත් කවදාවත් වෙන් නොවන බලාපොරොත්තුවෙන්………..

~~~~~~නිමි~~~~~~~~❤️💛

Rashini Hewagama

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment