ආදරෙයි මං සමනලි

ආදරෙයි මං සමනලී
කෙටි කතාව

“සමනලී...” කවිඳු තමන් දෙස බලා සිටින අහිංසකාවියගේ අතින් අල්ලාගෙන මිමිණුවා.
“ඇයි කවිඳු අයියා...”
“මට ඔයාව දාල යන්න ලෝබයි මැණික...ඒත් මං මේ ගමන ගියේ නැත්තම් අම්මි මාත් එක්ක හොඳටම තරහ වෙයි...තාත්තත් නැතුව මාව හදාගත්ත අම්මගෙ හිත රිද්දන්න මම කැමති නැති නිසයි යන්න හිතුවේ...”
“මං ගැන හිතන්න එපා කවිඳු අයියා...ඔයා ඇමරිකා ගිහින් ඔයාගෙ වැඩ ටික හොඳට කරගන්න...මම ඔයා එනකම් ඔනතරම් කාලයක් බලන්න ඉන්නම්...මගෙ මහත්තය පරිස්සමින් ගිහින් එන්න...මාව අමතක වෙයිද දන්නෙ නෑ සුදු කෙල්ලන්ව දැකලා...”
“ඒකනම් කියන්න බෑ...නිල් පාට ඇස් තියෙන රෝසපාට බෝනික්කියක් වගේ කෙල්ලක් හම්බවුනොත්නම් ඒ ගැන හිතල බලන්න වෙනවා...” ඔහු පවසන විට ඇය ඔහුගේ පපුවට හිස තබාගෙන දෑතින්ම වැළඳගත්තා.
“මේ පපුව ඇතුලෙ තියෙන ආදරේ මං වෙනුවෙන්ම විතරයි කියල මම දන්නව කවිඳු අයියා...ඔයාගෙ වටේ මේ තරම් ලස්සන ගෑණු ළමයි ඉඳලත් මේ දුප්පත් කෙල්ලට ඔයා කොයි තරම් ආදරේ දෙනවද...ඒක මට මහ මෙරක් වගේ රත්තරං....”
“හා පැටික්කියක් වගේ අහිංසක ඔයා වගේ කෙල්ලක් තමයි මගෙ ජීවිතේට ලං කරගන්න මම හීන මැව්වේ...මං එදා පන්සලට එද්දි ඔයා වැලි මළුවෙ දණ ගහගෙන වඳින හැටි ඈත තියාම දැක්කා...ඔයා වැඳල ඉවර වෙනකම්ම මම ඔයා දිහා ඇහිපිය ගහන්නෙවත් නැතුව බලන් ඉද්දි යාළුවො මාව හොඳටම බයිට් කලා...ඒ දවසෙම මම හිතාගත්තා කවදහරි මගෙ ආදරණීය බිරිඳ වෙන්නෙ මේ කෙල්ල තමයි කියලා...ඒත් ඉතින් මාව දැක්කම පැනල දිව්වනේ...කොච්චරනම් කට්ටක් කාලද මේ ආඩම්බරීව මගෙ කරගත්තේ...”
“ඔයාගෙ ඇස් දෙකේ තියෙන ආදරේ දැකලත් මම නොදැක්ක වගේ උන්නෙ ඔයා වගේ සල්ලිකාර පවුලක කොල්ලෙක් මං වගේ කෙල්ලෙක්ට ගැලපෙන්නෙ නැති නිසයි කවිඳු අයියා...ඔයාගෙ ගෙදරින් මාව කවදාවත් පිලිගන්නෙ නැති වෙයි කියන බය මගෙ හිතේ තිබුනා...ඒත් ඔයා අහසක් තරමට ආදරයක් අරන් මගෙ ඇස් ඉස්සරහට එද්දි මගෙ හිතත් වාවන්නෙ නැතුව ගියා...දැන් මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ මහත්තයෝ...මම ජීවත්වෙන්නෙත් මැරෙන්නෙත් කවදමහරි මේ පපුව උඩ තමයි...”
“මොනවද මැට්ටි මේ කියන මැරෙන කතා...ආයෙ කිව්වොත් රිදෙන්න එකක් දෙනවා...” ඔහු ඇගේ රෝස පෙති වන් දෙතොල් සෙමින් මිරිකමින් පැවුසවා.
“ම්ම්ම්ම්...ඒක නෙමෙයි...මට යන්න කලින් බඩුවක් ඕනේ...”
“ඒ මොකක්ද...මගෙ පන උනත්  දෙන්නම්...”
“යන්න කලින් මට මෙන්න මෙතෙන්ට කිස් එකක් ඕනේ...අදනම් බෑ කියල පැනල යන්න දෙන්නෙ නෑ...” දෙතොල මත ඇඟිල්ලක් තැබූ ඔහු ඇගේ බඳ වටා දෑත් යවා තමන් සමීපයට ගනිමින් පැවසුවා. ලැජ්ජාවෙන් බිම බලාගත් සමනලීගේ මුහුණ ඔසවා නළල සිපගත් කවිඳු ඇගේ සුමුදු දෙතොල් මත තම දෙතොල් තැබුවා. කෙදිනකවත් නොවිඳි මිහිරකින් මත් වූ සමනලී ඔහුට ඉඩ දෙමින් ගෙල වටා දෑත් පටලවාගත්තා.
“සමනලී...මම ආදරෙයි පැටියෝ...මං එනකම් පරිස්දසමින් ඉන්න මැණික...අද රෑ ෆ්ලයිට් එකෙන් මම යනවා...එහාට ගිහින් ඔයාට කෝල් එකක් ගන්නම්...” ඇයව මුදා හැර අතින් අල්ලාගෙන නැගී සිටි කවිඳු ඇගේ මුහුණට වැටී තිබුණු කෙස් රොදක් ඉවත් කර කම්මුල සිපගත්තා.
“මට ගොඩක් පාළු දැනෙයි රත්තරං...ඒත් මගෙ මහත්තයගෙ ආදරේ මම ගිහින් එනකම්ම පරිස්සමින් බලාගන්නම්...තෙරුවන් සරණයි ඔයාට...” ඔවුන් දෙදෙනා දෑත පටලවාගෙන කවිඳුගේ වාහනය වෙත එන අතර පසෙක නවතා තිබූ වාහනය දැක කවිඳු තිගැස්සුනා. ඒ තුළට වී තමා දෙස නිසල බැල්මෙන් බලා සිටින මව දුටු කවිඳු සමනලීගේ අත තදින් අල්ලාගත්තා. ඇයට කිසිවක්ම නොපවසා ඇයත් සමග වාහනයට ගොඩවූ කවිඳු එය පනගැන්නුවා. සමනලීව නිවස අසලින් බස්සා ඇගෙන් සමුගත් කවිඳු නිවසට එන විට මව ආලින්දයට වී ඔහු එනතුරු බලා සිටියා. ඇයව නොදුටුවාක් සේ බිම බලාගෙන කාමරය වෙත යන්නට සැරසුනු කවිඳුට මව කතා කලා.
“සුදු පුතා...මට ඔයත් එක්ක කතා කරන්න තියෙනවා...මෙහෙන් වාඩි වෙන්න...” කවිඳු බිම බලාගෙනම විත් මව ඉදිරියෙන් අසුන් ගත්තා.
“පුතා අද ඔයත් එක්ක උන්නු ගෑණු ලමය කවුද...”
“එයා මේ...එයාගෙ නම සමනලී...”
“හ්ම්ම්ම්ම්...ගෑනු ළමය වගේම නමත් ලස්සනයි...එතකොට අම්ම තාත්ත මොනවද කරන්නේ...”
“සමනලීගෙ තාත්ත කරන්නෙ ගොවිතැන්...අම්ම මොනවත් කරන්නෙ නෑ...එයාට මල්ලිල දෙන්නයි නංගියෙතුයි ඉන්නවා...”
“ඒ කියන්නෙ මේ තරම් දේපලකට එකම උරුමක්කාරය වෙච්ච ඔයා මගෙ ලේලි කරන්න හදන්නෙ දුප්පත් පවුලත කෙල්ලෙක්...මේ තරම් ලොකු දෑවැදිත් එක්ක ඔයාව බඳින්න ගෑනු ළමයි පෝලිමේ ඉද්දිත් මේ වගේ සම්බන්ධයක් පටන් ගන්න කලින් ටිකක් හිතුවෙ නැද්ද...”
“අම්මා...දුප්පත් වුනාට එයාල වැදගත් පවුලක්...සමනලී කියන්නෙ ගොඩක් අහිංසක ගෑනු ළමයෙක්...එයා ළඟ තියෙන ගති ගුණ තමයි මට ඕන කරන එකම දෑවැද්ද...මම එයාව ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව මැරි කරන්නෙ නෑ අම්මා...මට බල කරන්නත් එපා...එහෙම උනොත් මම හැමදාම තනිකඩව ඉඳියි...”
“පුතා...මම ඔයාගෙන් විස්තර ඇහුව මිසක් ඒ දරුවට අකමැතියි කිව්වෙ නෑනේ...ඔයා ඇමරිකාවට ගිහින් ආවට පස්සෙ අපි යමු ඒ දරුවගෙ අම්ම තාත්ත හම්බවෙන්න...”
“ඔය ඇත්තමද අම්මා...”
“ඔයා තමයි මට ඉන්න එකම දරුවා...ඔයාගෙ සතුටට වඩා දෙයක් මට ඕනෙ නෑ රත්තරං...දැන් ගිහින් වොෂ් දාල කෑම කන්න...තව පැය දෙකකින් ෆ්ලයිට් එක නේද...” කවිඳු හිත පිරි සතුටින් ගමන පිටත් වීමට සූදානම් වුනා. මව මේ තරම් ඉකිමනින් සමනලීට කැමැත්ත දෙනු ඇතැයි ඔහු නොසිතූ බැවින් එය ඔහුට පුදුමයක් වුනා.
“මම මේක සමනලීට දැන්මම කියනවද...කෙල්ලව පුදුම කරවන්නත් එක්ක ගියාට පස්සෙම කියනවා...ඒක කියද්දි මට ඒ ඇස්වල තියෙන සතුට බලන්න ඕනේ...ගිහින් වීඩියෝ කෝල් එකක් ගන්නවා...” ඔහු මව සමග ගුවන්තොටුපළට ගොස් ඇගෙන් සමුගෙන යානයට ගොඩවී අසුනට බරව දෙනෙත් පියාගත්තා. සමනලීගේ අහිංසක සිනහව ඔහුගේ සිත පුරාම පැතිර තිබුනා.

***********************************************************************

ගුවන් යානයෙන් බැස නවාතැන් ගන්නා හෝටලය වෙත ගිය කවිඳු නාගෙන විත් දුරකථනය අතට ගත්තා. සමනලීට කීපවතාවක්ම ඇමතුව නමුත් ඇගේ දුරකථනය ක්‍රියා විරහිතව තිබුනා.
“ඇයි මෙයා ෆෝන් එක ඕෆ් කරන් ඉන්නේ...සමහරවිට බැට්රි  බැහැල ඇති...වැඩ ටික ඉවර කරල ඇවිත් මට මිස් එකක් තියන්න කියල මැසේජ් එකක් දාන්න ඕනි...” ඔහු ඇයට කෙටි පණිවිඩයක් තබා ඇඳේ දිගාවුනා.
කවිඳුට දෙනෙත් හැරෙන විට පහන් වී තිබුණු අතර ගමන් විඩාව නිසා ඔහුට නොදැනුවත්ම එක හුස්මටම නින්ද ගොස් තිබුනා.
“දෙයියනේ...මට පුදුම නින්දක්නෙ ගිහින් තියෙන්නේ...සමනලී බයවෙලත් ඇති...” ඔහු දුරකථනය අතට ගෙන පරීක්ෂා කර බැලුවද එහි ඇයගෙන් කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් සටහන්ව නොතිබීම ඔහුගේ විමතියට හේතු වුනා.
“සමනලී කවදාවත්ම මේ විදියට ඉඳල නෑ...මම ටික වෙලාවක් මැසේජ් එකක්වත් දාන්නෙ නැතුව උන්නොත් පුදුම විදියට බයවෙන්නේ...ඔහු කුතුහලයෙන් යුතුව ඇයට ඇමතුමක් ගත්තා...” ඒ වන විටද දුරකථනය ක්‍රියා විරහිතව තිබුණු අතර ඔහුගේ සිතට බියක් දැනුනා.
“සමනලීම මොකක් හරි කරදරයක්වත්ද...” එසේ සිතන විට ඔහුට හදවත පුරා වේදනාවක් පැතිරෙන්නාක් මෙන් දැනුනා. ඔහු වහාම තම හොඳම මිතුරා වන චමත්ට ඇමතුමක් ගත්තා.
“ආ මස්සිනා...කොහොමද ඇමරිකාව හිතට ඇල්ලුවද...ඒක නෙමේ මචං ඔහෙ ඇති නේද පට්ට සෙක්සි කෙල්ලො...ෂිහ් අපේ තාත්ත මට එන්න දුන්නෙ නෑනේ...ආවනම් හොඳ ෆන් එකක් ගන්න තිබුනා...”
“උඹලගෙ තාත්ත උඹේ හැටි දැනගෙන තමයි එව්වෙ නැත්තේ...ආවනම් උඹ ඇමරිකාවත් කාල තමයි මෙහෙන් යන්නේ...මම උඹට ගත්තෙ ඔය පල් හෑලි අහන්න නෙමෙයි වැදගත් දෙයක් කියන්න...මට උදව්වක් ඕනෙ මචං...”
“කියපං මචී...උඹට කරන්නෙ නැති උදව් වෙන කාට කරන්නද...”
“මම ඊයෙ රෑ ඉඳන් සමනලීට ගන්න ට්ර යි කරනව කෙල්ලගෙ ෆෝන් එක වැඩ නෑ...අනේ බං ගිහින් ටිකක් හොයල බලපං එයා හොඳින්ද කියලා...”
“සමහරවිට සිග්න්ල් නැතුව ඇති මචං...මම ගිහින් උඹට පණිව්ඩේ දෙන්නම්...උඹ බය වෙන්නෙ නැතුව හිටහංකෝ...” චමත් දුරකථනය විසන්ධි කල පසු කවිඳු නොසන්සුන් ලෙස දුරකථනය අතේ තබාගෙන එහා මෙහා ඇවිදින්නට වුනා. බොහෝ වෙලාවකට පසු චමත්ගෙන් ඇමතුමක් පැමණි අතර කවිඳු වහාම එයට සම්බන්ධවුනා.
“චමත්...මොකෝ සීන් එක...සමනලී හොඳින් නේද...”
“සමනලීනම් හොඳින්...ඒත් මේ...”
“මොකද වෙලා තියෙන්නෙ බං...තෙපරබාන්නෙ නැතුව කියපංකෝ...”
“එයාල ගෙදරින් ගිහින්...”
“මොකක්...ගෙදරින් ගිහින්...මට තේරෙන්නෙ නෑ උඹ කියන දේ...රැයක් එලිවෙද්දි ඉන්න ගෙවල් දොරවල් දාල යන්න තරම් ඒ මිනිස්සුන්ට මොකක්ද තිබුනු ප්‍රශ්නේ...”
“මට ළඟ ගෙදරක කෙනෙක් කිව්වෙනම් සමනලීගෙ නංගි ඇවිත් ලියුමක් දීල එයාල එහෙන් යනව කිව්ව කියලා...හේතුවක් කිසිම දෙයක් කියල නෑ...ඒ ලියුම දීල තියෙන්නෙ එයාව කවිඳු කියල කෙනෙක් හරි එයාගෙ යාළුවෙක් හරි හොයන් ආවොත් දෙන්න කියලා...”
“ලියුමක්...මොනවද ඒකෙ තියෙන්නේ...”
“මේව අහල උඹ කලබල වෙන්නෙ නෑ කියල මට දිවුරපං...නැත්තම් මමයි අන්තිමට වැරදිකාරය වෙන්නේ...”
“මේ චමත්...මාව පිස්සෙක් නොකර කියන දෙයක් කියපං...මොන මගුලක්ද ඕකෙ ලියල තියෙන්නේ...”
“සමනලීගෙ ගේ උකස් කරල තිබිල තියෙන්නේ...තාත්තගෙන් වී ගන්න ආව මුදලාලි කෙනෙක් දවසක් සමනලීව දැකල එයා ගැන අහල තියෙනවා...ගේ උකසින් බේරගන්න ඕන නිසා සමනලී ඒකට කැමති වෙලා...උඹ රට යන ගමනත් නැති කරන් පිස්සකේ වෙයි කියල මේ දේවල් කියල නැත්තේ...මම හිතන්නෙ මිනිහ තමයි කට්ටියව එක්කගෙන යන්න ඇත්තේ...මෙහෙ හිටියොත් උඹ හොයන් එයි කියල බයවෙන්න ඇති...” චමත්ගේ කතාව අසා සිටි කවිඳුට තමන් අවට කැරකෙන්නාක් මෙන් දැනුනා. තමන් පණ මෙන් ආදරය කළ අහිංසක යුවතිය එතරම් කපටි වංචාකාරියක් යැයි ඔහු සිහිනේවත් නොසිතුව බැවින් ඔහුට එය දරාගත නොහැකි වුනා.
“හරි චමත්...මම උමට පස්සෙ ගන්නම්...”
“මේ අහපං කවිඳු...උඹ ඔහෙ තනියෙන් ඉන්නේ...ඒ නිසා පිස්සු නටන්නම් ලෑස්ති වෙන්න එපා...කොහෙවත් යන කෙල්ලො ගැන හිතල ජීවිතේ විනාස කරගන්නෙ නැතුව උඹේ අම්ම ගැන හිතපං...”
“මට ටිකක් රිලැක්ස් වෙන්න ඒනෙ චමත්...දැන් මම තියනවා...උඹට පස්සෙ කතා කරන්නම්...මේ දේවල් අම්මටනම් දැනගන්න තියන්න එපා...එයා සමනලීට කැමැත්ත දීල තිබුනේ...බායි මචං...” කවිඳු දුරකථනය අතට ගෙන එහි තිරයේ වූ සමනලීගේ රුව දෙස බලා සිටියා. ඒ අහිංසක මුහුණට යටින් කෙතරමි විසක් කිබී ඇත්දැයි සිතෙන විට ඔහුට දරාගත නොහැකි කෝපයක් දැනුනා. ඔහු දුරකථනය හැකි වෙර යොදා පොළවේ ගැසූ අතර කෑලි කීපයකට කැඩී ගිය දුරකථනය පොළව මත හඩ නංවමින් විසිර ගියා.
“චමත් කිව්ව වගේ මාව මේ තරම් කාලයක් බලාගත්ත අම්මගෙ හීන හැබෑ කරන එකයි දැන් මට තියෙන එකම යුතුකම...ආයෙ කවමදාවත් කෙල්ලක්ව විශ්වාස කරන්නෙවත් ආදරේ කරන්නෙවත් නෑ...ඒත් එකම එක සැරයක් මට සමනලීව හම්බවෙලා මට මෙහෙම කලේ ඇයි කියල අහන්න ඕනේ...ලංකාවට ගියාම කොහෙ හිටියත් මම එයාව හොයාගන්නවා...” ඔහු කවුළුවෙන් පිටත ඈත අහස දෙස නෙත් දල්වාගෙන සිතුවා.

**********************************************************************

අවුරුදු දෙකකට පසු ලංකාවට පය තැබූ කවිඳු වට පිට බැලුවා. මව සහ චමත් තමන් එනතුරු බලා සිටින අයුරු දුටු ඔහුගේ මුවට සිනහවක් නැගුනා.
“අම්මා...” ඔහු මව අසලට ගොස් ඇයව වැළඳගෙන සිපගත්තා.
“බලන්නකො ඇන්ටි...මූ අවුරුදු දෙකට ලස්සන වෙලා මහත් වෙලා...මට ඉරිසියාවෙ බෑ...තාත්ත මට යන්න දුන්නනම් මමත් ඔය වගේ ලස්සන වෙලා එනවනේ...”
“අනේ බං...උඹේ මීහරක් හම සුදු කරන්න ඇමරිකාවට නෙමෙයි අගහරු ලෝකෙට ගියත් හම්බවෙන්නෙ නෑ...උඹ ගියානම් මට දවස ගානෙ පොලිසි යන්න තිබුනා උඹව බේරගන්න...”
“අනේ යකෝ...මේව තමයි නියම සිංහල පාට...අපි වගේ කොල්ලන්ට තමයි සුද්දියො කැමති...”
“අපරාදෙ කලින් දන්නවනම් මම උඹට වෙන මොනවත් ගන්නෙ නැතුව සුද්දියක් පැක් කරන් එනවනේ...ඒත් ඉතින් ඒකි එක දවසක්වත් උඹ එක්ක ඉන්න එකක් නෑ...උඹේ මොංගල් ගතිය මුතු වුනු ගමන් ඒකි පැනල යනවා...මෙන්න මේ බෑග් ටික අරන් යන්න උදව් වෙයං...” කවිඳු දමත්ගේ කරට බෑගයක් දමන ගමන් පැවසුවා. මව ඉදිරියෙන් යන අතර ඔවුන් දෙදෙනා පසු පසින් පැමිනියා.
“චමත්...සමනලී ගැන ආරංචියක් නැද්ද...” ඔහු මවට නෑසෙන සේ සෙමින් ඇසුවා.
“ඔය ගෑණිව තවම අමතක කෙරුවෙ නැද්ද උඹ...අනේ මන්ද බං...ඒකි දැන් අරූව බැඳල ළමයිනුත් හදාගෙන සැපට ඇති...උඹට මොනවද තියෙන අඩුපාඩු...හොඳ කෙල්ලක් සෙට් කරගන්න පුළුවන්...”
“කෙල්ලො කියන උන්නම් මට මේ ආත්මෙට එපා...මට සමනලීව ආයෙ මගෙ බල්ලටවත් ඕනෙ නෑ බං...ඒත් ඒකිගෙන් අහන්න දෙයක් තියෙනවා...ඒ නිසා මට එක වතාවක් හම්බවෙන්න ඕනේ...”
“මම හොයල බැලුවා...ඒත් කිසිම ආරංචියක් නෑ...දැන් ගෙදර ගිහින් රෙස්ට් කරපං...ඊට පස්සෙ ඒ ගැන හිතමු...” ඔවුන් නිවස වෙත ගොස් නාගෙන ආහාර ගත්තා. චමත් සමග බැල්කනිය වෙත ගිය කවිඳු තමන් ඇමරිකාවේදී මුහුණ දුන් අත්දැකීම් ඔහු සමග පැවසුවා. බොහෝ වෙලාවක් කතා බහ කරමින් සිටි චමත් නිවසට යන්නට සැරසුනා.
“ඒයි කවිඳුවා...අද හවසට පාර්ටි එකක් තියෙනවා හොටෙල් රෙඩ් ලයන් එකේ...ලෑස්ති වෙලා ඉඳපං...”
“අනේ මට බෑ බං ඕවගෙ යන්න...”
“උඹ ඔය විකාර හිතන එක නවත්තලා යන්න ලෑස්ති වෙයං...අපේ සෙට් එකම අද වල බහිනවා එතෙන්ට...ලස්සන කෙල්ලො වැහිවැහිල ඉදියි...ඒ වගේම තමයි සැර ජාති එහෙම ඕනතරම්...”
“උඹට ඉතින් ඔය සබ්ජෙක්ට් එකෙන් පිට දෙයක් නෑනේ...හරි මම එන්නම්...”
“තෑන්ක්ස් බඩී...එහෙනම් මම ගියා බායි...”
හවස් යාමයේ චමත් සහ කවිඳු සාදයට සහභාගි වීම සඳහා පිටත් වුනා. ඔවුන් යන විට තරුණ තරුණියන් විශාල පිරිසක් රැස්ව සිටි අතර කවිඳුට තම පැරණි මිතුරන්ගේ හමුවීම මහත් සතුටක් වුනා. ඔවුන් ආගිය තොරතුරු කතා කරන අතර වේටර්වරියක් ඔවුන් වෙත මත්පැන් සහ මස් දීසි කීපයක් රැගෙන ආවා. ඇය බිම බලාගෙනම එය මේසය මතින් තැබූ අතර එතන උන් තරුණයෙක් ඇගේ අතින් අල්ලාගත්තා.
“හායි බේබි...ඔයා කොයි තරම් ලස්සනයිද කියනවනම් මට බොන්න කලින් ඔයාගෙ ඇස් දෙක දැකල වෙරි වුනා...” ඇය අමනාපයෙන් මෙන් අත ඉවතට ගෙන බිම බලාගෙනම නික්මෙන විට තරුණයින් මහ හඩින් සිනාසෙන්නට වුනා.
“උඹටත් ඇහැට කනට පේන කෙල්ලක් දැක්කොත් ඉන්න බෑ නේද...” චමත් ඔහුගෙන් ඇසුවා.
“මේ කාලෙ නැතුව ඕව වයසට ගිහින් කරන්නද බං...කවිඳු මොකද කියන්නේ...කෙල්ලක් උස්සමුද අද...” ඔහු කවිඳු දෙස බලා විමසුවා.
“අනේ මේ...මම ඔයා කෙල්ලන්ගෙ සබ්ජෙක්ට් එකේ නෑ...අනිත් එක්ක උන් වුනත් මෙතන රස්සාවක් කරන්නේ...ඒ හින්ද ඔය තරම් පහත් විදියට කතා කරන්න එපා...ඇමරිකාව වගේ රටවලනම් මේව සාමාන්‍ය  දේවල්...”
“හරි හරි...උඹ ඇමරිකාව ගැන අපිට කියන්න ඕනෙ නෑ...අපිත් ගිහින් තියෙනව රටවල්වලට...මේවගෙ ඉන්න කෙල්ලො සල්ලිවලට ඕනම දෙයක් කරයි...ගම්වල අහිංසක කෙල්ලො වගේ නෙමෙයි...”
“ගම්වල ඉන්න බොරු අහිංසකකම් පෙන්නන කපටි අම්මණ්ඩිලාට වැඩිය තමන්ගෙ මහන්සියෙන් හම්බකරන් කන මේ කෙල්ලො දහස් ගුණයක් හොඳයි බං...චමත් මම වොෂ් රූම් එකට ගිහින් එන්නම්...” කවිඳු නැගී සිට වෝෂ් රූම් එක ඇති දිසාව සොයන්නට වුනා. තමන් සිටි මේසය වෙත මත්පැන් රැගෛන ආ යුවතිය දුටු කවිඳු ඇය අසලට ගොස් කතා කලා.
“එක්ස්කියුස්මී...” ඇය මද සිනාවක් මුව තවරාගෙනම ඔහු වෙත හැරී බැලූව අතර එක්වරම ඇගේ සිනහව අතුරුදහන්ව නෙතු පිය වගෛයෙන් සැලෙන්නට වුනා.
“මට කියන්න පුළුවන්ද වොෂ්රූම් එක තියෙන තැන...” ඇය කිසිවක්ම නොපවසමින් දෑස් විසල් කරගෙන පසුපසට ගොස් ඉකිමන් ගමනින් එතනින් නික්මුනා. කවිඳු ඇය දෙස පුදුමයෙන් බලා සිටි අතර වෙනත් තරුණියක් වෙත ගොස් වොෂ් රූම් එක ඇති තැන අසාගෙන නැවතත් යාළුවන් වෙත ආවා. කා බී විනෝද වුනු මිතුරන් එකිනෙකා සමුගෙන පිටව ගිය අතර චමත් සහ කවිඳු පමණක් ඉතිරිවුනා.
“අපිත් යමු නේද...දැන්නම් හොඳටම නිදි මතයි...”
“මට මෙතන දාල යන්න හිතක් නෑ බං...බලපංකො සුරංගනාවියො වගේ කෙල්ලො වැහි වැහැලා...” චමත් පවසන විට ඔහුට පෙර දුටු තරුණිය සිහිපත් වුනා. ඔහු චමත්ට ඒ ගැන පවසන විට ඔහු මහ හඩින් සිනාසුනා.
“ඒකි අනිවා හිතන්න ඇති උම ඒකිව උස්සන්න හදනව කියලා...අපිත් එක්ක ඉන්නව දකින්න ඇතිනේ...අර සුපුන කිව්ව දේවල් වලට ඒකි බයවෙලා ඉන්න ඇති...ඇන්ටිත් බලන් ඇති නේද...එහෙනම් යමු...හායි බේබීස්...අපි යනවා...උම්මා...” චමත් අවට සිටි තරුණියන්ට පියාඹන හාදු දී කවිඳුත් සමග නිවසට යාමට පිටත් වුනා.

***********************************************************************

දින කීපයක් නිවසේ විවේක සුවයෙන් ගත කල කවිඳු කාර්යාලය වෙත යාමට පිටත් වුනා. ඔහු නැති කාලයේ මව ව්යානපාර කටයුතුවලට බෙහෙවින්ම වෙහෙස වී සිටි බැවින් ඇයට විවේකයක් දිය යුතු යැයි සිතූ කවිඳු සුබ මොහොතින් තම ආයතනය වෙත යන්නට වාහනයට නැගුනා. ඔහු මද දුරක් ගමන් කරන විට ඉදිරියෙන් පැමිණි කුඩා දරුවෙක් පාර හරහා මාරුවන ආකාරය දැක එක්වරම තිරිංග තද කලා. වාහනයෙන් බැස ඔහු වෙත දිව ගිය කවිඳු දරුවාගේ නලල තුවාල වී ඇති අයුරු දුටුවා. ඔහු දරුවා දෑතට ගෙන රෝහල වෙත රැගෙන ගොස් බෙහෙත් දැමුවා.
“බබා...ඔයාගෙ ගෙවල් තියෙන්නෙ කෙහෙද...” දරුවාගෙන් පාර අසාගෙන ඔහුගේ නිවස වෙත පැමිණි කවිඳු ඔහුව ඇරලවා පිටත්ව යාමට සැරසෙන විට පෙර දිනක අවන්හලේදී දුටු තරුණිය දරුවා වෙත එන අයුරු දුටුවා. වාහනයේ වූ කළු පැහැති වීදුරුව නිසා ඇයට ඔහුව පැහැදිලිව දැකගත නොහැකි වූ අතර දරුවා තමන් දෙසට අත දිගු කර යමක් පවසන ආකාරය බලා සිටි කවිඳු වාහනය මාවතට ගත්තා.
කාර්යාලයේ වැඩ අවසන් කර ආපසු පැමිනෙන අඅතර ඔහුට දරුවා බැලීම සඳහා සිතක් ඇති වුනා. දරුවාගේ නිවස වෙත ගිය කවිඳු වාහනය නවතා බිමට බැස්සා. මිදුලේ කෙලවරක වූ බංකුවක් මත වාඩි වී සිටි ඔහු කවිඳු දැක සිනහවක් පෑවා.
“බබා දැන් ඔයාට කොහොමද...” කවිඳු ඔහුගේ අතින් අල්ලාගෙන විමසුවා.
“දැන්නම් රිදෙනව අඩුයි...එන්න ඇතුලට යමු...අක්කනම් වැඩට ගිහින්...අම්මයි තාත්තයි නංගිගෙ ඉස්කෝලෙ වැඩසටහනකට ගිහින් තවම ආවෙ නෑ...”
“මම එහෙනම් යන්නම්...වෙන දවසක එන්නම්කො ඇවිත් යන්න...”
“අනේ තව ටිකක් ඉන්න...අම්මයි තාත්තයි දැන් එනව ඇති...අයියව දැක්කම එයාලට සතුටු හිතෙයි...අක්කත් කිව්ව ඔයාව හම්බවෙලා ස්තූති කරන්න ඕනෙ කියලා...” දරුවාගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි වූ කවිඳු ඔහු සමග ගේ තුලට ගොස් වාඩි වුනා.
“මම අයියට බොන්න තැබිලි ගෙඩියක් කපන් එන්නම්...”
“තුවාල කරගෙන පන්ඩිත වැඩත් කරන්නද හදන්නේ...ඕනෙ නෑ...”
“මම නෙමෙයි...අයිය කෙනෙක් ඉන්නව මට තව....මම එයාට කියල කපන් එන්නම්...” දරුවා ගේ තුලට ගිය පසු කවිඳු ස්ටූලය මත වූ ඇල්බමය අතට ගෙන පෙරලා බැලුවා. එහි වූ ඡායාරූපයක් දුටු ඔහුගේ ගත පුරාම සීතලක් දිව යන්නාක් මෙන් දැනුනා.
“සමනලී...” ඔහු හුන් තැනින් නැගිට ඡායාරූපය දෙස හොඳින් බැලුවා. තමන්ගේ ඇස්වලට වැරදීමක් වී නොමැතිනම් ඒ සිටිනුයේ සමනලීම බව ඔහුට තහවුරු වුනා.
“මෙන්න අයියා...” දරුවා තැඹිලි වීදුරුව ඔහුට පිළිගන්වමින් පවසන විට ඔහු දරුවාගේ උරහිසින් අල්ලාගත්තා.
“මේ ෆොටෝ එකේ ඉන්නෙ කවුද...”
“අපේ අක්කා...”
“අක්කා...දැන් එයා කොහෙද ඉන්නේ...”
“එයා වැඩ කරන්නෙ රෙඩ් ලයන් හොටෙල් එකේ...නම සමනලී...”
“බබා මට හදිසි වැඩක් තියෙනවා...මම වෙන දවසක එන්නම්...අම්මටයි තාත්තටයි කියන්න මම ඇවිත් ගියා කියලා...” ඔහු අඩි දෙකට වාහනය වෙතට ගොස් අවන්හල බලා ඉගිලෙන්නට වුනා. අවන්හල් මිදුලේ වාහනය නතර කල කවිඳු පිළිගැනීමේ කවුන්ටරය වෙත ගොස් සමනලී පිළිබඳව විමසා සිටියා.
“එයා අද වර්ක් කරන්නෙ ටෙන් ෆ්ලෝ එකේ...අද එතන...” පිළිගැනීමේ නිළධාරිනිය කතාව අවසන් කිරීමට පෙර ඔහු විදුලි සෝපානය වෙත දිව ගියා. දහවන මහල වෙත ගිය කවිඳු එහි පැවැත්වෙමින් තිබූ සාදය අතරට ගොස් සමනලී කොහිදැයි සෙව්වා. ඇයව දැක ගත නොහැකි වූ බැවින් ඔහු වට පිට බලන විට පෙර දින දුටු තරුණිය ඇස ගැටුනා. ඔහු ඇය වෙත ගොස් තමන් වෙත හරවාගන්නා විට බියටපත් ඇය ඔහුව පසෙකට තල්ලු කර ශාලාවෙන් නික්මුනා.
“මෙයා මාව මගාරින්නෙ සමනලියි මායි ගැන දැනගෙන වෙන්න ඇති...අද ඔයාට මගෙන් බේරිලා යන්න බෑ...” ඔහු ඇය පසුපසින්ම ගිය අතර ඇය විදුලි සෝපානයට ගොඩවී දොර වැසුවා. ඔහු දෑතින් එය අල්ලාගෙන නවත්වන්නට සැරසෙන විට එයට හසුව ඔහුගේ අත තුවාල වූ අතර ඔහු වේදනාවෙන් අත ඉවතට රැගෙන බිමට පහත් වුනා. විදුලි සෝපානයේ දොර විවර වූ අතර තරුණිය ඔහු වෙත පැමිණ අත තදින් අල්ලාගත්තා.
“අනේ කවිඳු අයියා...මට සමාවෙන්න...මම හිතල ඔයාගෙ අත තුවාල කලේ නෑ...” ඇයගේ කටහඩ සිහින ලොවකින් ඇසෙන්නාක් මෙන් ඔහුට දැනුනා. තමන්ගේ හිත තුළට බැසගෙන ඇති ඒ හඩ අඳුනාගැනීමට ඔහුට අසීරු වුනේ නැහැ.
“සමනලී...ඔයා ...මේ මූණයි කටහඩයි...” එක්වරම ඔහුව වැළඳගත් ඇය මහ හඩින් හඩා වැටෙන්නට වුනා. ඇගේ කඳුළු වලින් ඔහුගේ කමිසය තෙත් වූ අතර කුමක් සිදුවන්නේදැයි සිතාගත නොහැකිව ඔහු පුදුමයෙන් ඇය දෙස බලා සිටියා.
“සමනලී...මට කියන්න මොනවද මේ සිද්ධවෙන්නෙ කියලා...මාව පිස්සෙක් වෙයි...”
“මම ඔයාගෙ කකුල්දෙක අල්ලල ඉල්ලන්නම් මගෙන් ඒ දේවල් අහන්න එපා...මම පොරොන්දුවුනා ඔයාට කිසිම දෙයක් නොකියන්න...”
“පොරොන්දු...කාටද මොනවද ඔයා පොරොන්දු වුනේ...කියනව සමනලී...මාව යකෙක් නොකර...” ඔහුගේ දෑසෙහි වූ කෝපය දුටු ඇගේ ඇස් බියෙන් හැකිලුනා.
“ඔයාගෙ අම්මට...”
“තේරෙන්න කියනවා...ඒ ගමන අම්ම කොහෙන්ද මෙතෙන්ට ආවේ...මාව රවට්ටන්න හදනවද...”
“මම ඔයාට හැමදේම කියන්නම් කවිඳු අයියේ...ඔයා එදා මාව ඇරලවල ගියාට පස්සෙ මල්ලි පන්ති ඇරල එනකම් මම එයාගෙ පන්තිය ළඟට වෙලා බලන් උන්නා...එයා පන්ති ඉවරවෙලා  මා ළඟට දුවගෙන එද්දි එකපාරටම ආව ලොරියක් අපි දෙන්නවම හප්පගෙන ගියා...මට සිහිය එද්දි මම උන්නෙ ඇඳක් උඩ...මගෙ මූණ පුරාම බැන්ඩේජ් ඔතලා...අම්මයි තාත්තයි සිහියක් නැතුව අඩනවා...මම ඇහුවෙ මල්ලිට මොකද වුනේ කියල විතරමයි...මා ගැන හිතන්නවත් මට මතකයක් තිබුනෙ නෑ...”
“දෙවියනේ...ඒ තරම් දෙයක් වෙලත් මට කිව්වෙ නැත්තේ...”
“ඔයාට කියන්න තරමි සිහියක් ඒ වෙලාවෙ තිබුනෙ නෑ...මල්ලිට ලොකු ඩැමේජ් එකක් වෙලා ඔපරේෂන් කරන්න වෙලා තිබුනා...ඒකට ඕන බෙහෙත් පිටින් අරන් එන්න කියල දොස්තරල කිව්වත් ඒ වෙලාවෙ අපි ළඟ සල්ලි තිබුනෙ නෑ...ඒ බේත් වලට ලක්ෂ ගාණක් යනවා...මගෙ කටයි ඇස් දෙකයි ඇරෙන්න මුළු ඇඟම බැන්ඩේජි නරල තිබුන නිසා මට හෙලවෙන්නවත් පුළුවන් වුනේ නෑ...ඒ අතර ඔයාගෙ අම්මා හොස්පිට්ල් එකට ආවා...එයා කිව්ව අපිට යන හැම වියදමක්ම බලාගන්නම්...ඒත් එක පොරොන්දුවක් දෙන්න කියලා...”
“ඒ මොකක්ද...”
“ඔයාව සදහටම අමතක කරන්න කිව්වා...මගෙ මූණ සම්පූර්ණයෙන්ම ඩැමේජ් නිසා ඔපරේෂන් එකක් කරන්න වෙනව කියල ඩොක්ටර්ස්ල කියල තිබුනා... මට ඒ වෙලාවෙ ඕන වුනේ මගෙ මල්ලිගෙ ජීවිතේ බේරගන්න විතරයි...ඒ නිසා මම ඒකට කැමති වුනා...අම්ම කිව්ව ආයෙ අපිට ගෙදර යන්න එපා එයා ගෙයක් අරන් දෙන්නම් කියලා...නංගිව අපේ ගේ ළඟ ගෙදරට යවලා ඔයාට ලැබෙන විදියට ලියුමක් දීල ආවෙත් එයාමයි...”
“අනේ මගෙ රත්තරනේ...මේ කිසිම දෙයක් නොදැන මම ඔයාට කොයි තරම් වෛර කලාද...එතකොට ඔයාගෙ මේ පෙනුම...”
“මට ඕන වුනේ ඔයාට කවදාවත් මාව මුණ නොගැහෙන විදියට ඉන්න...අහම්බෙන් හරි දැක්කොත් අඳුනගන්න බැරි වෙන්න මම කිව්ව මගෙ කලින් මූන නැතුව මට වෙන මූණක් දෙන්න කියලා...වෝඩ් එකේ උන්න ලේඩි ඩොක්ටර්ගෙ දුව අවුරුද්දකට කලින් නැතිවෙලා...එයාගෙ මහත්තය එයාගෙන් සෙපරේට්වෙලා දුවත් එක්ක පොඩි කාලෙ ඉඳන්ම රට ඉඳල තියෙන්නේ...මෙහෙ අය වැඩිය එයාව දන්නෙ නැති නිසා මට එයාගෙ පෙනුම ලැබෙන විදියට සර්ජරියක් කලා...අන්තිමට සමනලී සදහටම අතුරුදහන් වෙලා මම වෙනමම කෙනෙක් විදියට ජීවත් වෙන්න ගත්තා...”
“ඒ කියන්නෙ මගෙ අම්ම කරල තියෙන්නෙ සමාව දෙන්න බැරි වැරැද්දක්...ඔයාගෙ ජීවිතේට ඒ තරම් දෙයක් වුනේ මට ආදරේ කරපු වැරැද්දට නේද මගෙ මැණික...මම ඒකට වන්දි ගෙවන්නම් ඔයාට...එන්න මාත් එක්ක...” ඔහු ඇයව අතින් අල්ලාගෙන වාහනයට ගොඩවී නිවස බලා පැමිණියා. සමනලී සමග නිවසට පැමිණි කවිඳු මව ඉදිරියට යන විට ඇය පුදුමයට පත්ව බලා සිටියා.
“අම්මා...ඔයා මට කිව්ව මතකයිද මම රට ගිහින් ආවම සමනලීව ඉල්ලන්න එයාගෙ අම්මවයි තාත්තවයි හම්බවෙන්න යමු කියලා...දැන් එයාවම මම මෙහාට එක්කගෙන ආවා...ඔයා මොකද කියන්නේ...”
“සුදු පුතා...”
“මට පුතා කියන්න එපා අම්මා...ඔයා මේ අහිංසකීට කරල තියෙන්නෙ අහස පොළව උහුලන්නෙ නැති අපරාධයක්...තව එක දවසක්වත් මම මේ ගෙදර ඉන්නෙ නෑ...”
“අනේ සුදු පුතා...ඔයා මේ මොනවද කියන්නේ...මම ඔයාට ආදරේ නිසයි මේ හැමදෙයක්ම කෙරුවේ...”
“ආදරේ නිසාද අම්මා මගෙ සතුට නැති කරල දැම්මේ...මම කෙල්ලන්ට වෛර කරන තත්වෙට පත්වුනේ ඔයා නිසා...සමනලීට මම හිතින් කී සැරයක් සාප කරල ඇතිද මේ වෙද්දි...මාව ඒ වගේ පව් කාරයෙක් කලේ ඔයා...අදින් පස්සෙ මම මැරුන කියල හිතාගන්න...මට ඔයාගෙ මේ කිසිම දෙයක් එපා...ඇඳන් ඉන්න ඇඳුම පිටින් මම මෙහෙන් පිටවෙන්නේ...ඔයා සල්ලිත් එක්ක ජීවත් වෙන්න...යමු සමනලී...”
“අනේ යන්න එපා පුතේ...ඔයා නැතුව මම මැරිල යයි...සමනලී කියන්න එයාට...”
“කවිඳු අයියා...ඒ ඔයාගෙ අම්මා...එයා ඔයාට නරකක් කරන්න හිතල මේ දේවල් කලා නෙමෙයිනේ...ඔයාට ආදරේ නිසයි කලේ...එයාට සමාව දෙන්න...අම්ම කෙනෙක් හම්බවෙන්නෙ ජීවිතේදි එකපාරයි...ඒත් ඔයාට කෙල්ලොනම් ඕනතරම් ලැබෙයි...ආයෙ මගෙ ජීවිතේට එන්න එපා මහත්තයෝ...මාව ඔයාට ගැළපෙන්නෙ නෑ...”
“සමනලී...ඔයා නැති ජීවිතයක් මට හිතාගන්නවත් බෑ...මම පිස්සෙක් නැත්තම් බේබද්දෙක් වෙනවටද ඔයා කැමති...”
“තුන් හිතකවත් එහෙම නෑ දෙයියෝ...ඔයා මා නිසා පිස්සෙක් වෙනවට වඩා හොඳයි මම මැරිල යන එක...” ඇයගේ දෙනෙතින් ගලා වැටෙන කඳුළු දෙස බලා සිටි කවිඳුගේ සිත ගිනි ගන්නට වුනා.
“දුව මට සමාව දෙන්න...මගෙ පුතාට ඔයාට වඩා ගැලපෙන කෙනෙක් නෑ කියල මට හොඳටම තේරුනා...මම කැමතියි ඔයා මට සමාව දීල මගෙ ලේලි වෙනවට...” කවිඳුගේ මව සමනලීගේ අතින් අල්ලාගෙන පවසන විට සමනලී ඇයව වැලඳගත්තා. එක් අතකින් ඇයව වැළඳගත් මව අනිත් අත කවිඳු වෙත දිගු කලා. ඔහු මව වෙත පැමිණ ඇයට තුරුළු වුනා.
“ඇත්ත ආදරේට මොන තරම් බාධක ආවත් කවදම හරි දිනනව කියල මට අද හොඳටම තේරුම් ගියා දරුවනේ...ඔය දෙන්නව තමයි දෙවියො මවල තියෙන්නේ...මම කරපු වැරැද්ද හරිගස්සන්න ඕනි... සුදු පුතා ඉක්මනිටම සමනලීව අපේ ගෙදරට කැන්දන් එන්න...” මව පවසන විට සමනලී සහ කවිඳු මුහුණට මුහුණ බලා සිනාසුනා. ඇගේ ආදරය ඇය කිව් පරිදිම ඇස් දෙක පුරාම පරිස්සම් වී ඇති අයුරු ඔහු දුටුවා.

-
හිමාලි සුබසිංහ
උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment