ආයෙමත් ආදරෙන්

ආයෙමත් ආදරෙන්
කෙටි කතාව

“ෂනුකි බබා...ඔහොම නවතින්න පැටියෝ...වැටෙයි ඔයාව...” නියර දිගේ දිව ආ ළඳැරිය පසු පස පැමිණි මාලතී කෑ ගසන්නට වුනා. පියා සමගින් නියරේ වූ වල් පැල ඉවත් කරමින් සිටි සේපාලිකා හිස ඔසවා බැලුවා. රෝස පැහැති ගවුමතින් සහ එයටම ගැළපෙන පාවහන් යුවළකින් සැරසී කොන්ඩට උඩට සිටින සේ ගැට ගසා සිටි බෝලයක් වැනි දැරියගේ මුව පුරාස සිනාවක් ඉතිරී තිබුනා.
“අප්පච්චි...අනේ අර බලන්නකෝ...‍බෝනික්කියක් වගේමයි...” ඇගේ පිය හිස ඔසවා බලන විට දැරිය ඔවුන් සමීපයටම පැමිණ සිටියා. එක්වරම පය ලිස්සා කුඹුර තුළට වැටෙන්න ගිය දැරියව අල්ලාගත් සේපාලිකා ඇයව වඩාගෙන කොපුලක් සිපගත්තා. ඇය වෙතින් මිහිරි සුවඳක් වහනය වූ අකර එය කුඩා දරුවන්ට දමන ඕඩිකොලොන් එකක් විය යුතු යැයි ඇයට සිතුනා.
“අන්ටී...තන්කූ ඔයාත...” ඇය වචන ගලපමින් පවසන විට සේපාලිකාට ඇය ගැන දැඩි සෙනෙහසක් දැනුනා.
“ මගෙ පැටිය කොහෙද මේ යන්නේ...අම්මයි තාත්තයි කෝ...”
“අම්මි තාත්තිවයි මාවයි දාල කෝද ගීන්ලු...තුදු බබාට දුකයි අම්මි නතුව...” ඇයගේ සුරතල් වදන් වල වූ වේදනාව සේපාලිකාගේ සිතටද දැනෙන්නට වුනා. ඒ අසලට පැමිණි මැදිවයසේ වූ කාන්තාව දෙස පියා සහ සේපාලිකා බැලුවා.
“ඔයාලටත් කරදර කරනවද මේ දඟ මල්ල...මට මෙයා පස්සෙන් දුවලම දැන් මහන්සියි...” ඇය ඔවුන් වෙත සිනාවක් පාමින් පැවසුවා.
“අපි කලින් ඔයාලව දැකල නෑනේ...ගමට අළුතින්ද ආවේ...” පියා හිසේ වූ ලේන්සුව අතට ගෙන ගසා දමා නැවතත් බැඳගන්නා ගමන් විමසුවා.
“අපි ඊයෙ තමයි ආවේ...කොළඹ ඉඳලා...”
“මෙහෙ කවුරුහරි නෑයො ඉන්නවද...ගෙවල් කොයි හරියෙද...” පියා විමසන අතර සේපාලිකා නැවතත් දැරියව සිපගත්තා.
“අපි ගජසිංහ හාමුගෙ වළව්වෙ...මේ ඉන්නෙ පුංචි මහත්තයගෙ දරුවා...” ඇය පවසන විට සේපාලිකාගේ සිත ගැහෙන්නට වුනා. අවුරුදු ගානකට කලින් දුටු රුව ඇයගේ මතකයට එන විට දෙනෙත්වල ඇයට නොදැනීම කඳුලක් උනා තිබුනා.
“පුංචි මහත්තය තිව්වෙ බිනර පුතාද...”
“ඔව්...එයා පිටරට ඉඳන් ලඟදි තමයි ආවේ...නෝන එයාවයි මේ පැටික්කිවයි දාල වෙන මන්සුසයෙක් එක්ක පැනල ගිහින්...” සේපාලිකාට ඇගේ කතාව ඇසෙන විට නොදැනීම හීල්ලුනා. ඔහුගේ සතුට පමණක් පැතූ ඇයට ඒ වදන් ඉහිලිය නොහැකි වුනා.
“මේ වගේ හුරතල් පැටියෙක් දාල යන්න ඒ අම්මණ්ඩිට මොලේ විකාර වෙලාද...” පියාගේ හඩෙහි කෝපය මුසු අප්‍රසාදයක් ගැබ්ව තිබුනා.
“සමහර අයට තමන්ගෙ සතුට විතරයි වැදගත් වෙන්නේ...දරුවො පවුල ගැන හිතෙන්නෙ නෑ එතකොට...මටවත් දැන් මේ හුරතලේ නැතුව ඉන්න බෑ...එයා කොහොම ඉන්නවද කියල මටනම් පුදුමයි...”
“ආත්ති අම්මා...” ඇය මාලතීට කතා කරන විට ඇය දැරිය අසලට ගොස් ඇයට දෑත පෑවා. සේපාලිකාගේ කර බදාගෙන සිටි ඇය අකමැත්ත ප්රඇකාශ කරමින් හිස දෙපසට සැලුවා.
“මට තුදු අන්ටිව ඕනා...අපි ගෙදල එක්කන් යමු...”
“අනේ රත්තරං...ඇන්ටිව එක්කගෙන ගියොත් එයාගෙ අම්මටයි තාත්තටයි දුක හිතෙයිනේ...තාත්ති දැන් මටත් එක්ක බනියි...අපි යමු...”
“මත බෑ...මම ඒනම් තුදු අන්ටි එක්ක එයාගෙ ගෙදල නනවා...”
“මම මගෙ පැටියව බලන්න එන්නම්කෝ...දැන් හොඳ බබා වගේ මේ ආච්චි අම්මත් එක්ක ගෙදර යන්න...”
“පොමිත් කීන්න...ඔයා ආවෙ නැත්තම් තුදු බබා හබු කන්නෙම නෑ...” ඇය දැරියගේ මුව සිපගෙන මාලතී අතට දුන්නා.
“මම හෙට උදෙන්ම එනව රත්තරං...දැන් ගිහින් හබු කාල දොයියන්න ඕනෙ හොඳ බබා වගේ...” දැරිය හිස වනා ඇයට සහ පියාට අත වනා මාලතී සමග ඈත නොපෙනී යනතුරු සේපාලිකා වේදනාව පිරි දෙනෙතින් බලා සිටියා.
“පව් අප්පච්චි...ඒ වගේ හුරතල් අහිංසක හා පැටික්කියවක්ව දාල සමින්දි කොහොම යන්න ඇතිද...එයාගෙ රූපෙ තිබුන ලස්සන හිතේ තියෙන්න නැතුව ඇති...” ඇය දිගු සුසුමක් හෙලා පවසන විට පියා ඇගේ හිස පිරිමැද්දා.
“මගෙ දුවට දුන්න ගින්දර තමයි ඒ මිනිස්සුන්ට පත්තුවෙලා තියෙන්නේ...මොනව උනත් මට බිනර පුතා ගැන දුකයි...ඒ දරුව තමයි දෙපැත්තටම තැලුනේ...දැන් ගෙදර යමු...ඉතුරු ටික හෙට ඇවිත් කරන්න බැරියෑ...” සේපාලිකා පියා පසුපසින් නියර දිගේ පිය මනින අතර ඇගේ සිත අතීතයට දිව ගියා.

***********************************************************************

පාසැල ඇරී ගං ඉවුර දිගේ එමින් සිටි සේපාලිකා සහ නදීකා පිටුපසින් ඇසුනු අඩි හඩින් හැරී බැලුවා. තමන් අසල සිනාසෙමින් සිටින බිනරගේ රුව දුටු ඇයගේ සිත එක්වරම සැලෙන්නට වුනා.
“ස්කූල් ඇරුන ගමන් දුවගෙන ආවෙ මාව මගාරින්න ඕනෙ හින්දද...” සේපාලිකා බිමට යොමු කරන් සිටි දෙනෙත් ඔසවා බලන විට ඔහු ඇඳගෙන සිටි කළු ඩෙනිම් කලිසම සහ ටීෂර්ටය ඇගේ බැල්මට හසුවුනා.
“සේපාලිකා...ඔළුව උස්සල බලන්න දරුවෝ...මම ඔයාව කන්නෙ නෑ...” ඔහු පවසන විට ඇය ඔහුගේ මුහුණ දෙස බැලුවා. කඩවසම් මුහුණේ අඳුරක් ඇඳී ඇතැයි ඇයට සිතුනා.
“ඔයා හොඳටම දන්නව මම ඔයා එනකම් ස්කූල් එක ළඟ ඉන්නව කියලා...අද ටවුමට ගිහින් ආව නිසා පරක්කු වුනා...ඒ ටිකට ඔයා මාව මගෑරල ඇවිත්...” ඔහු නෝක්කාඩු පවසන දරුවෙක් ලෙස පවසන විට ඇයට දුකක් දැනුනා.
“අනේ බිනර අයියා...ඔයා මම කියන දේ තේරුම්ගන්න...මේ දේවල් හාමු මහත්තයයි නෝනයි දැනගත්තොත් අපේ අප්පච්චිටයි අම්මටයි දොස් තියයි...මම කැමති නෑ ඒ දෙන්න මං නිසා කාගෙන්වත් වචන අහනවට...”
“සේපාලිකා...මම ඔයා පස්සෙන් මේ තරම් එන්නෙ මං පස්සෙන් කොළඹ ස්කූල් එකේ කෙල්ලො ඕනතරම් එද්දි...ඒ වගේම අපේ රිලේෂන්ස්ලගෙ ගෑණු ළමයි මං ගැන බලාපොරොත්තු තියන් ඉද්දි...මට ඒ කා ගැනවත් දැනුනෙ නැති හැඟීමක් ඔයාගෙ ඇස් දෙක ලඟදි දැනුන නිසා...ඔයාට මගෙ ආදරේ ගැන විශ්වාසයක් නැද්ද මැණිකේ...”
“බිනර අයියා...මං තවම ඉගෙන ගන්න ළමයෙක්...අනිත් එක්ක මාත් එක්ක බලද්දි ඔයා කුමාරයෙක්...අපිට ලං වෙන්න බෑ...මම කැමති නෑ අයිති නැති හීන බලන්න...”
“මට අයිති එකම හීනෙ තමයි ඔයා...මේ ඇස් දෙකයි හිනාවයි නැතිවුනොත් මම පිස්සෙක් වෙයි කෙල්ලේ...මට දැන් කිසිම දෙයක් කරන්න හිතක් නෑ...ප්ලීස් මං කියන දේ තේරුම් ගන්න...ඔයාගෙ ආදරේ මට විතරමයි අයිති වෙන්න ඕනේ...” ඔහුගේ ආයාචනය හමුවේ ඇගේ සිත දියවෙන්නට වුවත් ඇය සිත දැඩි කරගත්තා.
“මට යන්න දෙන්න බිනර අයියා...ඔයා වගේ මමත් හිතන්න ගියොත් අපිට ලොකු ප්රිශ්නෙකට මූන දෙන්න වෙනවා...ඔයාට මං වගේ දුප්පත් ගොඩේ කෙල්ලක් ගැලපෙන්නෙ නෑ...නදී අපි යමු...” ඇය යන දෙස බලා සිටි බිනරට තමන් ගැනම කෝපයක් දැනුනා.
“මම වළව්වෙ ඉපදෙන්නෙ නැතුව ගමේ දුප්පත් කොල්ලෙක් වුනානම් ඔයා මට කැමති වෙයි නේද කෙල්ලේ...මට ඔයා නැතුව ඉන්න බෑ රත්තරං...මේ පුව පැලෙන්න තරම් තියෙන ආදරේ ඇයි තේරුම් ගන්න බැරි ඔයාට...” ඔහු දෙනෙතට නැගුනු කඳුලක් පිස දමමින් යන්නට හැරුනා.
නිවස වෙත ගිය සේපාලිකාට බිනරගේ රුව සැම තැනම මැවී පෙනෙන්නට වුනා. ඔහුගේ ආදරය හමුවේ සසල වන සිත තමන්ටද පාළනය කල නොහැකි වී යනු අයුරු ඇයට දැනෙමින් තිබුනා.
“අනේ බිනර අයියා...ආයෙමත් මගෙ ඉස්සරහට එන්න එපා...මට ඔය ඇස් දෙක දිහා බලන් ඔයාගෙ ආදරයට පිටුපාන්න බෑ මගෙ දෙයියෝ...”
“දුව කෑම කෑවෙ නැද්ද...මොකද මේ සුදු ගවුම පිටින් තවම...මව ඇය අසලට විත් විමසන විට තිගැස්සුනු පහන්දි ටයි පටිය බුරුලු කරන්නට වුනා.
“හෙට වලව්වෙ උත්සවයක් තියෙනවා...ඒකට කෑම ජාති ගොඩක් හදනවා...හාමු නෝන කිව්ව පුළුවන්නම් ඔයාවත් එක්කගෙන එන්න කියලා...හෙට ඉස්කෝල නිවාඩු නිසා ඔයාට පුළුවන් නේද මාත් එක්ක යන්න...” මව පවසන විට ඇයට බිනරගේ මුහුණ මැවී පෙනුනා. ඔහුව දකින්නට ලැබෙන අවස්ථාව මගහැර ගැනීමට ඇයට ලෝබකමක් දැනුනා.
“මං එන්නම් අම්මා...අම්මට තනියෙන් ඕව කරන්නත් බැනේ...ඇලිස් නැන්දත් අසනීපෙන් ඉන්න නිසා එයාටත් ලොකු වැඩක් කරන්න බැරුව ඇති...” ඇය වළව්වේ සේවිකාව සිහිපත් කරමින් පැවසුවා.
“උන්දැ වළව්වටම කඹුරල වයසට ගියා...නෝන හාමුයි මහත්තයයි වගේනම් නෙමෙයි පුංචි මහත්තය...ඇලිස් ගැන අම්ම කෙනෙක් වගේ හොයල බලනවා...හරිම යහපත්  දරුවෙක්...ඒ සීදේවි මූන දැක්කම ඇති හිතටත් එක්ක පුදුම සැනසීමක් දැනෙන්නේ...”
“අම්මට විතරක් නෙමෙයි අම්මා...මටත් එයාගෙ මූන දැක්කම දැනෙන සතුට කොයිතරම්ද කියල එයාවත් තවම දන්නෙ නැතුව ඇති...” ඇය එසේ සිතමින් ගේ තුලට ගියා.
වළව්වට පැමිණි බිනර අත වූ ජංගම දුරකථනය පසෙකට විසිකර ඇඳුම් පිටින්ම ඇද මතට වැටී දෙනෙත් පියාගත්තා.තමන් කොයි තරම් ගෑනු ළමයින්ව මිතුරියන් ලෙස ඇසුරු කලද සේපාලිකා තරම් තමන්ගෙ හිත තුල ලැගුම් ගත් යුවතියක් නැති බව ඔහුට සිතුනා.
“සේපාලිකා...ඔයා ඔය විදියට මුරණ්ඩු වුනොත් මම කොහොමද දරාගන්නෙ කෙල්ලේ...මම දන්නව ඔය ඇස්වලත් තියෙන්නෙ ආදරේ කියලා...ඒත් ඔයා දුප්පත්කම ඉස්සරහදි අසරණයි...” ඔහු නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් නැගුනු ගීතයට සවන් දෙමින් ඇගේ රුව සිත පුරාම මවාගත්තා.

“හිත හදාගන්න දෙන්නෙම නැත්තම්
මේ මැණික් ගඟත් පිටාර යයි දැන්
හිත වෙනස් කරපු චූටි මැණිකෙගෙන්
ආදරේ අරන් කොළඹට යන්නම්

ඔය අහිංසකම ඇස් දෙක හින්දා
මට වාවගන්න තාම බැරිවුනා
මද සුළඟ එක්ක ගංගා තීරේ
හැන්දෑවට නුඹ බලන්න එන්නම්

මා ළඟට ඇවිත් ආපහු යද්දී
සියොලඟම හඩයි මට ගින්දර දී
මට ගෙදර යන්න කොහොමටවත් බෑ
ආදරෙයි කියනතුරු ඉර ගිරවී”

“මට ආයෙමත් හිත හදන් කොළඹ යන්න බෑ පැටියෝ...ඔයා ආදරෙයි කියනකම් මගෙ හිත කොහොමද මම හදාගන්නේ...” ඔහු දෙනෙත් පියාගෙනම මිමිණුවා.

**********************************************************************

පසුදින මව සමග වළව්ව වෙත පැමිණි සේපාලිකා මුලුතැන්ගෙයට වී මවට උදව් කරමින් සිටින අතර ඇලිස් තේ කෝප්පයක්ද හදාගෙන සේපාලිකා අසලට පැමිණියා.
“දුව මේක පුළුවන්නම් පුංචි මහත්තයට දීල එන්න...මට දැන් ඉස්සර වගේ පඩි නගින්න බෑ...නෝනයි මහත්තයයි පන්සලට ගිහින් එන්න ගියා...”
“අද ඇයි ඇලිස් නැන්දෙ උත්සවයක් තියෙන්නේ...”
“ඇයි අම්ම කිව්වෙ නැද්ද...අද තමයි අපේ පුංචි මහත්තයගෙ උපන්දිනේ...වෙනදටනම් එයත් පන්සලට යනවා...ඒත් උදේ ඉඳන් හිස කැක්කුමයි කිව්ව නිසා එයාට ටිකක් නිදාගන්න කියල තමයි නෝනයි මහත්තයයි ගියේ බෝධි පූජාවට...අද එයාලගෙ කොළඹ නෑයොත් එනවලුනේ...”
“අදද එයාගෙ උපන්දිනේ...මේ දුප්පත් මම මොනව කියල දෙන්නද...හදවතින්ම සුබ පතනව ඇරෙන්න...” එසේ සිතමින් ඇය තේ කෝප්පයද රැගෙන කාමරය වෙත ගොස් දොරට තට්ටු කලා.
“ඇලිසම්මා...ඇතුලට එන්න...මට නැගිටින්නවත් බැරි තරම් හිස කකියනවා...” ඔහු පවසන විට සේපාලිකාගේ සිතට දරන්නට බැරි වේදනාවක් දැනුනා. ඔහු තමන් ගැනම සිතීම නිසා අසනීප වන්නට ඇතැයි ඇයට සිතුනා. ඇය කාමරය තඅලට යන විට උඩු අතට නිදාගෙන සිටි ඔහු දෑස් පියාගෙනම මේසය වෙත අත දිගු කලා.
“ඇලිසම්ම...ඔතනින් තියල යන්න...මම පස්සෙ බොන්නම්...” ඇය තේ කෝප්පය මේසය මත තබා ඔහු දෙස බැලුවා.
“බිනර අයියා...” බිනරට සේපාලිකාගේ හඩ සිහිනයෙන් මෙන් ඇසෙන විට එක්වරම දෙනෙත් විවර කර බැලුවා.
“සේපාලිකා...මම මේ හීනයක්ද දකින්නේ...” ඔහු ඇඳෙන් නැගිට ඇය වෙතට ආවා.
“මම අම්මත් එක්ක උදව්වට ආවා...ඔයාගෙ උපන්දිනේද අද...”
“ඔව්...අද තමයි මට හොඳම උපන්දින තෑග්ග හම්බවුනේ...ඇස් අරිද්දිම දැක්කෙ ඔයාව...මේ තරම් සුබ උපන්දිනයක් ආයෙ එන එකක් නෑ...” ඔහු ඇගේ අතින් අල්ලාගන්නා විට ඔහුගේ ඇඟ රත් වී ඇති බව ඇයට දැනුනා.
“බිනර අයියා...ඔයාගෙ ඇඟ හොඳටම රස්නෙයි...අනේ...””
ඊයෙ එළිවෙනකම්ම නින්ද ගියේ නෑ වස්තුවේ...ඔය මූණ මතක්වෙන ගානෙ මගෙ නින්ද ඈතකට යනවා...සේපාලිකා...” ඔහු ඇගේ අත් දෙකම අල්ලාගෙන දෙනෙතට එබුනා.
“මට ආදරෙයි නේද කියන්න...මේ දවසෙවත් මාව රිද්දන්න එපා රත්තරං...ඔයා කොයි තරම් දේවල් කිව්වත් ඔය හිතත් මට ආදරේ කරනව කියල මම දන්නවා...” ඇය බිම බලාගෙන සිටි අතර ඇගේ දෙනෙත්වලට කඳුළු පිරී ආවා. ඇය එක්වරම ඉකිබිඳින්නට වූ අතර බිනර ඇයව දැඩිව තුරුළු කරගත්තා.
“අඩන්න එපා පැටියෝ...කිසිම හේතුවක් නිසා මම ඔයාව අතාරින්නෙ නෑ කියල පොරොන්දු වෙනවා...මට ඔයාව හම්බවෙනවනම් මම මේ ලෝකෙත් එක්කම හරි සටන් කරන්නම්...”
“මම ආදරෙයි බිනර අයියා...තවත් හිතේ හිර කරන් ඉන්න බෑ...” බිනර ඇයගේ නලළ සිපගෙන තව තවත් තුරුළු කරගත්තා.
සාදයට පැමිණි පිරිස අතර තරුණියන් කීප දෙනෙක් වූ අතර ඔවුන් සේපාලිකා දෙස උපහාසයෙන් බැලුවා.
“කවුද බිනර අයිය අර ගොඩේ කෙල්ල...” නවීන පන්නයට සැරසී සිටි තරුණියක් විමසන විට සේපාලිකා බිනර දෙස බැලුවා.
“ගොඩේ කෙල්ලක් නෙමෙයි සමින්දි...ඒ තමයි නියම සිංහල කෙල්ලො ඉන්න විදිය...ඔයා වගේ වියත් දෙකකක්වත් දිග නැති ගවුම් අදින්නෙ  බොරුවට පොෂ් වෙන්න හදන අය...”
“බිනර අයියා...ඔයානම් හරිම නරකයි...ඒත් ඉතින් ඔයාට කවදහරි මැරි කරන්න වෙන්නෙ මාව තමයි...එතකොට මම ඔයා කැමති විදියට අඳින්නම්...”
“සමින්දි...ඔයා තවම ඕලෙවල් ලියලත් නෑ...මැරි කරන ඒව කතා කරන්න වයසක්ද...”
“අපේ අම්මියි තාත්තියි නැන්දියි මාමියි එක්ක ඒව කතා කරල තියෙන්නේ ඔයා නොදන්නව වුනාට...” ඇය පවසන විට සේපාලිකාගේ සිත රිදුම් දෙන්නට වුනා. ඇය එතනින් ඉවත්ව මව සිටි දෙසට ගිය අතර බිනරට ඇය ගැන දුකක් ඇතුවුනා.
“සමින්දි...ඔයා බුද්ධියෙන් කොයි තරම් ඉහල හිටියත් දැනුමෙනුයි හැදියාවෙනුයි ඉන්නෙ පහළ...මිනිස්සුන්ට අපහාස කරන එකයි සිරික් විරිත් නැති ගානට හැසිරෙන එකයි හොඳ දේවල් නෙමෙයි...”
“ඉන්නකො මම නැන්දිට කියන්න ඔයා මට හැමවෙලාවෙම බනිනව කියලා...” ඇය බුම්මාගෙන එතනින් ඉවත් වූ පසු බිනර මිතුරන් වෙතට ගියා.

***********************************************************************

බිනර සහ සේපාලිකා නිවෙස් දෙකටම හොරෙන් ආදරය කරන්නට වූ අතර ඔහු නිවාඩුවක් ලැබුණු හැම මෙහොතකම ඇයව බැලීමට ගමට පැමිණියා.
“පුතා මොකද මේ දැන් නිතරම ගමට එන්නේ...අන්න ලොකු නැන්ද බනිනව නිකම්වත් ඒ පැත්තෙ එන්නෙ නෑ කියලා...සමින්දි දූවත් ඔයා එනකම් බලන් ඉන්නවලු...”
“මම යන්නෙ නැත්තෙ සමින්දි හින්දම තමයි අම්මා...ගිය වෙලාවෙ ඉඳන් මගෙ කරේ එල්ලිච්ච ගමන්මයි...හරිම කරදරයක්...”
“ඒ දරුව ඔයාගෙ නෑනා...ඒ වගේම කවදහරි මැරි කරන්න ඉන්න කෙනා...ඉතින් එහෙම උන්න කියල අපි වරදක් හිතන්නෙ නෑනේ...අනිත් එක හුරතලේට හැදිච්ච කෙල්ලනේ...”
“අම්මා...මගෙ මැරේජ් එක ගැන මමයි තීරණය කරන්න ඕනේ...සමින්දි වගේ කෙල්ලක් මට ගැළපෙන්නෙ නෑ...”
“එහෙනම් ඔයාට ගැළපෙන්නෙ සේපාලිකා වගේ කෙනෙක්ද...මම දන්නෙ නෑ කියලනම් හිතන්න එපා...මට කීප දෙනෙක්ම කිව්වා ඔයයි සේපාලිකයි ගඟ ගාව කතා කර කර ඉන්නව දැක්ක කියලා...පොඩි කාලෙ ඉඳන් හැදුනු නිසා තියෙන යාළුකමට කියල හිතුවට මට පේන්නෙ ඔය දෙන්නගෙ හිත්වල වෙන මොනවහරි තියෙනව වගේ...”
“ඔව් අම්මා...මම සේපාලිකාට ආදරේ කරනවා...ඒ වගේ කෙල්ලක් තමයි මගෙ ජීවිතේට ගැළපෙන්නේ...”
“පුතා...ලැජ්ජ නැද්ද ඔය විදියට කතා කරන්න...ඔයා මේ වළව්වෙ එකම උරුමක්කාරයා...ඔයා ආයෙත් සේපාලිකාව හම්බවෙලා තිබුනොත් මම නරකයි කියන්න එපා...තාත්ත මේ දේවල් දැනගත්තොත් ගමෙනුත් එලවල දායි ඒ මිනිස්සුන්ව...ඒ නිසා ඔයා ඒ ගැන හිතලවත් මේ දේවල් නවත්තන්න...” මව එතනින් ඉවත්ව ගිය පසු සරමක් සහ කමිසයක් හැඳගත් බිනර ගං ඉවුර වෙත ගොස් සේපාලිකා එනතුරු බලා සිටියා. පිටුපසින් පැමිණ ඔහුගේ දෑස වැසූ ඇය මිහිරි හඩින් සිනාසෙන විට බිනරට හිතේ වූ දුක පහව යන අයුරු දැනුනා. බිනර අසලින් වාඩි වු ඇය ඔහුගේ මුහුණ දෙස බැලුවා.
“බිනර අයියා...ඇයි මේ දුකින් වගේ...මොකද වුනේ...”
“මොනවත් නෑ මැණික...”
“ඔය ඉතිම්...බොරු කියනවනෙ මට...ඔයාගෙ පොඩිම වෙනසක් හරි මට හොඳට දැනෙනවා...කියන්නකො මොකද වුනේ කියලා...”
“අම්මට අපි දෙන්න ගැන ආරංචි වෙලා...”
“අනේ බිනර අයියා...අපි දැන් මොකද කරන්නේ...”
“බය නැතුව ඉන්නකො කෙල්ලේ...කවුරු මොනව කිව්වත් ඔයා තමයි මගෙ නෝන වෙන්නේ...දැන් ඒව වැඩක් නෑ...කෝ මෙතෙන්ට උම්ම එකක් දෙන්න...හෙට ගියාම සති දෙක තුනක් යනකම් එන්න වෙන්නෙ නෑ...මට එක්සෑම්...” සේපාලිකා ඔහුගේ කොපුලක් සෙමින් සිපගත් අතර ඔහු ඇගේ නළල සිපගත්තා. ඇගෙන් සමුගෙන නිවසට යන අතරට ඔහුට පියාව මුණ ගැසුනා.
“පුතා...නගින්න...” බිනර වාහනයට ගොඩ වූ අතර පියා ඔහු දෙස මද වෙලාවක් බලා සිට වාහනය පදවන්නට වුනා.
“මට ඇත්තම කියන්න පුතා...ඔයා අර සේපාලිකා ළමයත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධෙ...”
“තාත්තට කවුද කිව්වේ...”
“කවුරුවත් කියන්න ඕනෙ නෑ...මම ඇස් දෙකෙන්ම දැක්ක දෙන්න ගං ඉවුරට වෙලා  උන්න විදිය...මොන දේ තිබුනත් කමක් නෑ...ඒත් අද ඉඳන් ඒ හැම දෙයක්ම අමතක කරල එක්සෑම් ඉවරවුනාම රට යන්න ලෑස්ති වෙන්න...”
“තාත්තා...”
“ඔයා දන්නව නේද මම වාද කරන්න කැමති නෑ කියලා...මම කිව්ව විදියට කරන්න...ඔයා අපේ පවුලට ලැජ්ජ වෙන විදියෙ වැඩක් කලොත් මම අම්මටත් වෙඩි කියල මමත් වෙඩි තියාගන්නවා...ඔයාට ඊට පස්සෙ තනියම ඕනම තීරණයක් ගන්න පුළුවන්...” ඔහුගේ කතාවට බිනර පියා දෙස බියපත්ව බලා සිටි අතර නිහඩව බිම බලාගත්තා.
වෙනත් දිනවල නිතරම තමන් මුණ ගැසීමට එන බිනර මාසයක් පමණ ගතවුවත් නොපැමිනීම ගැන සේපාලිකාගේ සිතට බියක් ගෙන ආවා.
“නදී...බිනර අයිය මාසෙකින් විතර මාව බලන්න ආවෙ නෑ...මට බය හිතෙනවා...”
“මම ඔයාට කලින්ම කිව්ව නේද සේපාලි...වළව්වල මහත්තුරුන්ට ආදරේ කියන්නෙ සෙල්ලමක් කියලා...එයා ඔයාව විනෝදෙට ආශ්ර ය කරල එපා වුනාම තව කෙනෙක් එක්ක යාලු වෙන්න ඇති...”
“මගෙ බිනර අයිය කවදාවත්ම එහෙම කරන්නෙ නෑ...මට විශ්වාසයි...”
“අනේ මන්ද සේපාලි...එහෙනම් එයා කොයි වෙලාවක හරි ඔයාව බලන්න එයිනේ ටිකක් ඉවසන් ඉන්න...”
“ඔව්...මම එයා එනකම් බලන් ඉන්නවා..ඒ ඇස්වල තිබුන ආදරේ ගැන මට සැකයක් නෑ...” ඇය සුසුමක් හෙලා පැවසුවා.
“දූ ඔයාට ලියුමක් ඇවිත් තිබුනා...” පියා සමග ඔහුගේ එළවළු වගාවේ වැඩවලට උදව් දීමට ගිය සේපාලිකා නිවසට පැමිණි පසු මව ඇය අතට ලිපියක් ගෙනවිත් දුන්නා. ඇයට එහි අකුරු දුටු පමණින්ම බිනරගේ බව හඳුනාගත හැකිවුනා. ඇය එය රැගෙන කාමරය වෙත ගොස් ඇද මතින් ඉඳගත්තා. ලිපිය අතට ගත් ඇයගේ සිත ගැහෙමින් තිබුනා.
“මගේ ආදරනීය සේපාලිකා මල වෙත
මම මේ තරම් දවසක් ඔයාව හම්බවෙන්න ආවෙ නැති එකට තරහ වෙන්න එපා මැණික...අම්මයි තාත්තයි අපි ගැන දැනගෙන...තාත්ත එයා අම්මට වෙඩි තියල එයත් වෙඩි තියාගන්නව කියල කිව්ව නිසයි මම ටික දවසකට ඔයාගෙන් ඈත් වුනේ...එක්සෑම් ඉවරවුනාට පස්සෙ මට රට යන්න වෙනවා...ඔයාව එකම සැරයක් දකින්න ඕනෙ වුනත් තාත්ත මට ගමට එන එක තහනම් කලා...මම ගිහින් එනකම් කාටවත් ඔය හිත දෙන්නෙ නැතුව බලාගත්ත...මගෙ සුදු නෝනව ඇවිත් කැන්දගෙන යනව කියල මම පොරොන්දු වෙනවා...මගෙ ආදරේ කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ...මේ ඔයාට ගොඩක් ආදරේ ඔයාගෙම මහත්තයා
බිනර”
සේපාලිකා ලියුම කියවා දෙනෙතෙහි වූ කඳුලු පිසගත්තා.
“ඔයාව එක සැරයක්වත් දකින්න තිබුනනම් මට දුකක් නෑ රත්තරං...ඒ අතින් මම මහ පව්කාරියක්...ඒත් ඔයා එනකම් වෙනස් වෙන්නෙ නැතුව බලන් ඉන්නව කියල මම පොරොන්දු වෙනවා...මේ හිතේ ආයෙමත් කාටවත්ම ඉඩක් නෑ...” ඇය සුසුමක් හෙලා ලියුම කවරය තුලට දැමුවා.

**********************************************************************

අවුරුදු තුනකට පසු බිනර ගමට පැමිණි බව දැනගත් සේපාලිකාගේ සිතට නොහිම් සතුටක් දැනුනා. ඒ වන විට ඔහුගේ පියා සහ මවද වලව්ව හැර දමා කොළඹ පදිංචියට ගොස් සිටි බැවින් ඔවුන් ගැන ඒ වන තෙක් කිසිදු ආරංචියක් දැන ගත නොහැකිව තිබුනා.
“හාමිනේ...වළව්වෙ කට්ටිය ආයෙත් ඇවිත්ලු...ඒත් හාමු මහත්තයා...”
“ඇයි...හාමු මහත්තයට මොකද වෙලා තියෙන්නේ...”
“හාමු මහත්තයට අසනීප වෙලා අසාධ්‍ය  තත්වයෙන් ඉන්නෙ කියල ඇලෙිස් අප්පුවත් එක්ක කියල තිබුනා...බලන්න ගියානම් තමයි හොඳ...” පියාගේ කතාව ඇසුනු සේපාලිකාගේ සිතද දුකින් බර වුනා. පියාගේ අසනීපය නිසා බිනර දුකින් ඇතැයි ඇයට සිතුනා.
“අම්මා...අපි හාමු මහත්තයව බලන්න යමුද... ඇලිස් නැන්දටත් මේ දවස්වල වැඩ වැඩි ඇති...”ඇය මව අසලට පැමිණ පවසන විට ඇය සේපාලිකාගේ හිස පිරිමැද්දා.
“මෙනව උනත් හාමු මහත්තය ගැන මට හරිම කණගාටුයි...කොහොම හිටිය මනුස්සයෙක්ද...එහෙනම් හාමිනේ දුවත් එක්ක ගිහින් බලල එන්න...මම පහුවෙලා යන්නම්...”
පසුදින සේපාලි මව සමග වළව්ව වෙත යන විට ඇගේ සිතට අනියත බියක් ඇති වුනා. අවුරුදු ගාණකට පසු බිනර කෙසේ වෙනස් වී ඇත්දැයි ඇයට සිතුනා. ඇය වළව් මිදුලට ගොඩවෙන විට බිනර ඇතුලත සිට පිටතට එමින් සිටියා. දෙනොගේ නෙත් හමු වූ අතර බිනර මද වෙලාවක් ඇය දෙස බලා සිට බිම බලාගත්තා. සේපාලිකා මව සමග වළව්ව වෙත යනතුරුම ඔහු නැවතත් දෑස් ඔසවා නොබැලීම නිසා සේපාලිගේ හිතට වේදනාවක් දැනුනා.
“බිනර අයිය වෙනස් වෙලාද...එයාගෙ ඇස්වල ඉස්සර තිබුනු ආදරේ නෑ කියලයි මට හිතෙන්නේ...” ඇය මව සමග ඇතුලට ගොස් බිනරගේ පියා වෙත යන විට මව ඇය දෙස අමනාපයෙන් මෙන් බැලුවා.
“සුජාතා...ගොඩක් දවසකින් නේද දැක්කේ...දුවවත් එක්කගෙනම ආවද...”
“අපිට හාමු මහත්තය ගැන ආරංචි වුනාට පස්සෙ හිත වාවන්නෙ නැතුව ගියා හාමු නෝනා...අනේ කොහොම හිටිය උත්තමයෙක්ද...”
“මහත්තයට දැන් බේත් කරල වැඩක් නෑ කියලයි ඩොක්ටර්ස්ලත් කිව්වේ...අන්තිම දවස් ටික සතුටින් තියන්න ඒනෙ නිසා තමයි පුතාගෙ කසාදෙ කරන්න ගමට ආවේ...මහත්තයට ඕන වුනේ උත්සවය ගමේ ගන්න...” ඇගේ වදන ඇසුනු විට සේපාලිකාගේ සිත පුරා විදුලියක් ඇදී යන්නාක් මෙන් දැනුනා. ඔහු තමන්ට මුහුණ නොදීමට හේතුව එයදැයි ඇය සිතුවා. මව මුලුතැන්ගෙය දෙසට ගිය අතර සේපාලිකාට තවත් එහි සිටීමට නොහැකි බව සිතුනා. ඇය නිවසට යන බව මවට දන්නා ගේට්ටුවෙන් පිටත්ව මද දුරක් එන විට පසු පිසන් පැමිනි තිසිවෙකු ඇයගේ අතින් අල්ලාගත්තා.
“සේපාලි...” බිනරගේ හඩ ඇසෙන විට ඇගේ දෑසින් කඳුළු කඩා හැලුනා.
“අනේ අඩන්න එපා රත්තරං...ඔයා මට බනින්න...සාප කරන්න...ඒත් ඔයාගෙ කඳුළු දකිද්දි මට මා ගැනම වෛරයක් ඇතිවෙනවා…”
“බිනර අයියා...මං අඩන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියන්න...ඔයා වෙනුවෙන් අවුරුදු ගාණක් බලාපොරොත්තුවෙන් උන්නා...ඒත් දැන්...”
“මට තේරෙනව මගෙ වස්තුවේ...ඒත් මේ වෙලාවෙ මම අසරණයි...තාත්තගෙ අවසාන කැමැත්ත මම සමින්දිව මැරි කරනව දකින එක...එහෙම තියෙද්දි කොහොමද මම තනි තීරණයක් ගන්නේ...මම අසරණයි මගෙ මැණික...මමත් ඉන්නෙ ගිනි ගොඩක් උඩ...පිච්චෙනව මාව...”
“මම තරහක් නෑ බිනර අයියා...මට පුළුවන් ඔයාව තේරුම් ගන්න...ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනෙ කියල මම හදවතින්ම සුබ පතනවා...මම යන්නම්...” ඇය පිටත්ව යන දෙස බලා සිටි බිනරට ඔහුගේ පපුව ගැලවී යන්නාක් මෙන් දැනුනා.
සතියකට පසු සමින්දිගේ සහ බිනරගේ විවාහ උත්සවය පැවතීමට නියමිතව පැවති අතර ඒ සඳහා වැඩපළ කරදීම සඳහා යන්නට දූදානම් වුණු සේපාලිකාගේ මව ඇයට කතා කලා.
“දූ අද ටිකක් වළව්ව පැත්තෙ ගිහින් උදව්වක් කරල එමු නේද...මේ වෙලාවෙ නැති උදව්වලින් වැඩකුත් නෑනේ...” සේපාලිකා එක්වරම ඉකිබිඳින්නට වූ අතර මව ඇය දෙස විමතියෙන් බලා සිටියා.
“ඇයි දුව...මේ අඩන්නෙ ඇයි...මාව බය කොනර කියන්න රත්තරනේ...” ඇය බිනර පිළිබඳව සියලුම දේ මවට පැවසූ අතර ඇය සේපාලිකාව තුරුළු කරගෙන හිස පිරිමැද්දා.
“දෙවියනේ...ඒ කියන්නෙ පුංචි මහත්තය මේ කසාදෙ කරන්නෙ අකමැත්තෙන්...මගෙ දුව හිත හදාගන්න...වලව්වල නෝනල වෙන්න දුප්පත් කෙල්ලන්ට උරුම නෑ...” මව පිටව ගිය පසු සේපාලිකා ඇඳට වී සිත් සේ හඩන්නට වුනා.
විවාහයෙන් පසු බිනර කොළඹ පදිංචියට ගිය අතර හාමු මහතාගේ මරණයද එහිම සිදු වී තිබුනා. ගමේ කීප දෙනෙක් පමණක් එයට සහභාගි වූ අතර පහන්දි ඔහුට හදවතින්ම නිවන් සුව පැතුවා. ඉන්පසු ඔවුන් පිළිබඳව කිසිදු ආරංචියක් නොවූ අතර ගමේ මෙන්ම අසල ගම් කීපයකම තරුණයින් සේපාලිකාගේ අත පතා ආවද ඇය කිසිවෙතුටත් කැමති නොවුනේ බිනරගේ මතකයෙන් පෑරුනු සිත සුවපත් නොවුනු නිසයි. අවුරුදු හතරකට පසු ඔහුගේ ආගමනය ඇගේ සිතුවිලි නැවතත් කළඹවා තිබුනා.

***********************************************************************

පසුදින මව සමග වලව්වට ගිය සේපාලි කුඩා දැරිය කොහිදැයි විපරම් කලා. වළව්ව දිගේ පැමිණ ඉදිරි දොරකඩින් මිදුලට පිවිසි සේපාලිකා මිදුල කෙලවර රෝද පුටුවක් මතට වී සිටින කාන්තාවක් දුටුවා. ඇය දෙස වුවමනාවෙන් බලන විට ඇගේ දෑස් විමතියෙන් විසල් වුනා.
“හාමු නෝනා...” ඇය අසලට ගිය සේපාලිකා හිසට අත තැබුවා. ඇය සේපාලිකා දෙස බැලුවද ඇයව අඳුනාගත් බවක් පෙනෙන්නට නොවූ අතර ඇගේ දෑසේ වූ හිස් බැල්ම සේපාලිකාගේ සිතට බියක් ඇති කලා.
“තුදු අන්ටි...” දැරියගේ හඩින් හැරී බැලූ සේපාලිකාට තමන් දෙස බලා සිටින ඒ පුරුදු දෑස මුණ ගැසුනා.
“තාත්ති...මම කිව්ව නේද ඔයාට...මේ තමයි මගෙ තුදු අන්ටි...” ඇය පියා අතට වී සතුටින් දඟලන අයුරු දුටු සේපාලිකා බිනර අසලට විත් ඇයව වඩාගත්තා. දැරිය ඇගේ මුහුණ සිපගත්තා.
“තුදු අන්ටි...මං ආදලෙයි ඔයාට...” ඇය සේපාලිකාගේ ගෙල වැළඳගෙන පැවසුවා.
“මට දූ කිව්ව සුදු ඇන්ටි කෙනෙක් හම්බවුනා...එයාව බලන්න යන්න ඕනේ කියලා...මාලතීගෙන් ඇහුවම එයා අඳුනන්නෙ නෑ කිව්වා...එහෙනම් ඒ ඔයාද සේපාලි...අවුරුදු හතරකින් ඔය මූණ දකින්නේ...ඉස්සර වගේම මලක් තරමටම ලස්සනයි...”
“බිනර අයියා...සමින්දි...”
“මට එයා ගැන මතක් කරන්නවත් එපා සේපාලි...මං වෙනුවෙන් නැතත් කමක් නෑ මගෙ දරුව වෙනුවෙන්වත් එයාට ඉවසන්න තිබුනා...මටත් හොරෙන් වෙන මිනිහෙක් එක්ක යාළු වෙලා පැනල ගියා...අම්ම නැතුව මේ දරුව දවස් ගාණක් ඇඩුවා...මෙහාට ආවට පස්සෙ තමයි මේ විදියට ඉන්නේ...” බිනර පවසන විට ඇය දැරියගේ හිස සිපගත්තා.
“එතකොට හාමු නෝනා...”
“මේ ප්රහශ්නත් එක්ක අම්මව පැරලයිස් වුනා...දැන් එයාගෙ මොලේට යන ස්නායු දුර්වල වෙලා තියෙන්නේ...කිසිම කෙනෙක්ව අඳුනන්නෙ නෑ...”
“අනේ බිනර අයියා...ඔයා ගොඩක් දුක් විඳලා...”
“ඔව් රත්තරං...ඔයා මගෙ ජීවිතෙන් ගියාට පස්සෙ මගෙ සතුටත් යන්න ගියා...ඒත් මම සමින්දිට අඩුවක් කලේ නෑ...පුළුවන් තරම් හොඳින් බලාගත්තා...එයාට ඕන වුනේ සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්න...එයා එයාට ඕන ජීවිතේ තෝරගත්තා...මම දුවත් එක්ක ලංකාවට ආවා...දැන් තියෙන එකම බලාපොරොත්තුව මගෙ දූ පැටියව හදන් ජීවත් වෙන එක…”
“තාත්ති...අපි තුදු අන්ටිව ගෙදල තියාගම්මුකෝ..තුදු අන්ටි ඔයා මට හබු කවල කතන්දල කියල දොයි කලනවද...අපිත් එක්ක ඉන්නවද කීන්න...”
“ඔව් රත්තරං...මම මගෙ බෝනික්කිව ආදරෙන් බලාගන්නවා...අම්ම නැති අඩුව දැනෙන්න දෙන්නෙ නෑ...” ඇය බිනර දෙස බලා පවසන විට ඔහුගේ දෙනෙතට කඳුළු පිරුනා.
“සේපාලි...ඔයා වගේ කෙල්ලක්ගෙ වටිනාකම අපේ අම්මටයි තාත්තටයි කලින්ම තේරුනානම් මට මේ වගේ දුකක් අයිති වෙන්නෙ නෑ...” ඇය බිනර අසලට පැමින ඔහුගේ කඳුළු පිස දැමුවා.
“ආයෙ කවදාවත්ම මේ ඇස්වලින් කඳුලු වැටෙන එකක් නෑ බිනර අයියා...මම හැමදාම ඉන්නව ඔයාගෙ හෙවනැල්ල වෙලා...” බිනර ඇයව තදින් වැලඳගත් අතර ඇගේ ආදරයේ උනුසුම ඔහුගේ සිතේ වූ දුක් සියල්ලම දුරුකරමින් තිබුනා.
මාස කීපයකට පසු බිනරට සමින්දිගෙන් දික්කසාදය ලැබුනු අතර සුබ නැකතින් සේපාලිකා ඔහුගේ පතිනිය බවට පත්වුනා. දියණියද සමග පෝරු මස්තකයේ සිටින සොඳුරු යුවළ පැමිණි සියල්ලන්ගේම දෙනෙතට කඳුලක් ගෙන ආවා.
දියණියව නලවා බිනර වෙත පැමිනි සේපාලිකා ඔහුගේ දෑස් දෙස බැලුවා. ඔහු ඇයව තුරුලට ගෙන නළල සිපගත්තා.
“මම කවදාවත්ම හිතුවෙ නෑ මම දුවත් එක්ක ලංකාවට එන ගමන මේ වගේ සතුටකින් කෙලවර වෙයි කියලා...මගෙ දුවට හොඳ අම්ම කෙනෙක් වගේම මට හොඳ බිරිඳක් ලැබුනා...ආයෙනම් මේ ඇස් දෙකෙන් මිදිල මොහොතක්වත් ඉන්න බැරිවෙයි…” එහු ඇගේ දෙතොල් මත තම දොතොල් තබන විට ඇය සෙමින් දෙනෙත් පියාගත්තා.

-හිමාලි -

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment