#රස_නැති_චොකලට්..
"අම්මියෝ ඔයා අදත් චොකලට් ගේනෝද මට..?"
මගෙ පුතු පැටියා උදේ නැගිට්ට ගමන් හැමදාමත් අහන සුපුරුදු පැනය මගෙන් ඇහුවෙ ඊයෙත් මම එයාට ගෙනත් දීපු Black Magic චොකලට් දවටනේ මං දිහාට දික් කරන ගමන්.
*********************
"මගේ මේ කොල්ලත් ඔයා වගේ ම චොකලට් වලට පෙරේතයෙක් වෙයි ද දර්ශන?"
මං ඇහුවෙ අළුතැපොළ පන්සලේ ගල උඩ දර්ශන ළඟින් ම ඉඳගෙන එයා අතේ තිබුණ චොකලට් එකෙන් කෑල්ලක් කඩා ගන්න ගමන්.. මං වැඩිපුර කඩාගනී කියල ඒ ඇස් බය වුණා කියල මට තේරුණේ වෙනද වගේ ම.
"ඇහෙනව නේද පැටියො ඔයාගෙ අම්මියා කියන ඒව..
එයා මේ ලෝකෙ අහන්න ආස ම නැති වචනෙ චොකලට්. එයා බයෙන් ඉන්නෙ මං වගේ ම ඔයත් චොකලට් කන්න මල පෙරේතයෙක් වෙයි කියල."
දර්ශන කිව්වෙ මගෙ කුස දිහා බලල මට විහිලුවට රවන ගමන්.
දර්ශනගෙයි මගෙයි ආදරයේ සංකේතය මගෙ කුසට ඇවිත් ඒ වෙනකොට මාස 7ක් ගත වෙලා තිබුණෙ. එයා මගෙ ළඟින් හෙල්ලුනේ නැති තරම්. කොච්චර කාර්යබහුල වුණත් මගෙ ඕනඑපාකම් හැමදේම එයා හොයල බැලුව. ඒ දවස්වල එයාගෙ කටින් වැඩිපුරම ඇහුණෙ "පරිස්සමින්" කියන වචනෙ විතරයි.
"කන්න ඕන මොනවද? බොන්න ඕන මොනවද? එතකොට ගේන්න ඕන පළතුරු, ඒව? බර වැඩ කරන්න යන්න එපා. මගෙ රෙදි හෝදන එක ඔයාට තහනම්."
දර්ශනගේ මේ දිනපතා උපදෙස් මාලාව මට නං කටපාඩම් වෙලයි තිබුණෙ. කොච්චර එපා කිව්වත් අන්තිමට දර්ශන නැවතුණේ සුමන අම්ම ව අපේ ගෙදර වැඩපළ ටික කරන්නත් ගෙන්නවගෙන.
කාලය සතුටින් ගෙවිල ගියත් හැමදේම වෙනස් වුණේ මං හීනෙන්වත් නොහිතපු විදිහට. කවදාවත් නැතුව දර්ශන එදා ගෙදර ආවෙ හොඳට ම බීලා. ආව ගමන් කෙලින් ම මගෙ ළඟට ඇවිත් ගැහුවෙ මගෙ කම්මුලට. ඒ පාර මාව විසිවෙලා ගිහින් ළඟ තිබුණ ස්ටූල් එකේ වැදුණ. ඒ සද්දෙ ඇහිලයි කුස්සියෙ ඉඳල සුමන අම්ම දුවගෙන ආවෙ.
"දර්ශන මහත්තය, මේ මොකද වෙලා තියෙන්නෙ? ඇයි චූටි නෝනට ගහන්නෙ. එයා ඉන්න තත්වෙ අමතක වුණා ද? "
කියාගෙන සුමන අම්ම ආවෙ මගෙ ළඟට.
"චූටි නෝනෙ ඔය නළලට පහලින් ලේ එනව නේද? "
එතකොටයි මට තේරුණේ නළලින් ලේ එනව.
"සුමන උඹ පලයන් පැත්තකට"
කියපු දර්ශන ආයෙත් හැරුණෙ මගෙ පැත්තට. නැඟිටින්න හදපු මාව ආයෙත් ඉන්දවුණේ මොකක් වෙයිද කියල හිතාගන්න බැරු ව.
" පලයං මේ දැන් ම. තව මොහොතක්වත් මේ ගෙදර උඹට ඉන්ඩ බෑ."
කියපු දර්ශන එහෙම්ම කාමරේ ඇඳට වැටුණෙ කෙලින් ඉන්නවත් බැරි තරමට බීල හිටපු නිසා. මේ මට මෙච්චර ආදරේ කරපු කෙනාම ද කියල හිතාගන්න බැරි වුණා. තවත් මෙතන ඉඳල පලක් නෑ කියල හිතිල අතට අහුවුණ ඇඳුම් දෙක තුනක් බෑග් එකේ දාගෙන, හීනි චේන් එක අතේ ගුලි කරගෙන පාරට බැස්සෙ දර්ශනගෙ දායාදෙත් අරගෙන ම යි.
***********************
දර්ශන මට දීපු තෑග්ග ඊට මාස දෙකකට විතර පස්සෙ මේ ලොකෙ එළිය දැක්කෙ අවජාතක පුතෙක් හැටියට. හොස්පිට්ල් එකෙන් භාරකරු විදිහට තාත්තගෙ නම අහද්දි මට දැණුනු අසරණකම ළඟ හිටපු ඒ නර්ස්ටත් තේරෙන්න ඇති. එයා මගෙ පිටට තට්ටුවක් දැම්මෙ "හිත හදාගන්න" කියල.
කොහොම වුණත් මගෙ කාත් කවුරුත් නැති අනාථ ජීවිතේට ආලෝකයක් වුණේ මගෙ කුසින් වදාපු මගෙ පුතා. දර්ශනගෙම 'කපාපු පළුවක්' වුණ මගේ සිඟිත්තා දකින හැම මොහොතක ම දර්ශන ව මට මතක් වුණ වාර අනන්තයි. ආයෙ දර්ශන ළඟට නොයා මොන දුකක් විඳල හරි දරුව හදාගන්නව කියල මං මට ම පොරොන්දු වුණා.
මට දයානි අක්ක හම්බවුණේ ඔය අතරෙදි. මගෙ දුක අහපු එයා මටයි දරුවටයි නවතින්න පොඩි කඩ කාමරයක් හොයල දුන්නෙ දයානි අක්කලගෙ ගෙවල් ළඟින් ම යි. අවුරුද්දක් විතර පුලු පුලුවන් විදිහට මට කෑම බීම දුන්නත් ඊට පස්සෙ මං කාගීල්ස් එකක වැඩට ගියේ මගෙයි දරුවගෙයි වියදම් ටිකවත් පියව ගන්න අතේ කීයක්වත් තිබුණෙ නැති හන්ද දයානි අක්ක එපා කියද්දි දරුවවත් ඒ ළඟ ම තිබුණ Day Care Centre එකක නවත්තල හිතේ ලොකු දුකකුත් එක්ක.
හැමදාම එද්දි පොඩි එකා ආසම කරන චොක්ලට් එක අරං දීල ඒ චූටි මූණ හිනාවෙන් පිරෙනව දකිද්දි මගෙ අමාරුකම් සේරම නැතිවුණා වගේ දැනුණෙ. හැන්දෑවෙ හය හත වෙද්දි බස් එකේ ඇවිත් ළමය එක්ක බහිද්දි දයානි අක්ක බලන් හිටියෙ හිතේ දෙයක් තියාගෙන බව මට හිතුණෙ නෑ.
එදත් වෙනද වගේ ම බත් එක අරං දයානි අක්ක ආවෙ රෑ 8 විතර වෙද්දි. ළඟ තිබුණ පුටුවත් ඇදල අරන් ඉඳගත්තෙ පොඩි දේකට නෙමෙයි කියල මට හිතුණ.
"නංගියෙ උඹට කීයක් විතර හම්බෙනවද බං ඔය කාගීල්ස් එකේ රස්සාවෙන්?"
"විසිදාහක් විතර දයානි අක්කෙ. ඒකෙන් දහදාහක් Day Care එකටයි පන්දාහක් දරුවගෙ අනිත් දේවල් වලටයි ගියාම පන්දාහක් විතර තව ඉතුරු වෙනව."
"ඒ ඇද්ද බං මාසෙට ම?"
දයානි අකකා මගෙන් ඇහුවම මම හිස් බැල්මකින් අහක බැලුවෙ කියන්න දෙයක් නැතුව. කන්ඩ වේල දෙන මනුස්සයට තවත් බරක් වෙන්න පුලුවන්ද කියලයි මං හිතුවෙ.
"නංගිගෙ අහිතක් නැත්තම් මං කාරණයක් කියන්ඩ ද"
"මොකක්ද අක්කෙ?"
"ඇත්තට ම මං මේ කියන්ඩ හැදුවෙ.. නංගිට රූපෙන් නම් කිසි අඩුවක් නෑ... පිරිමියෙක් දෙපාරක් හැරිල බලන තරමෙ රූපයක්නෙ නංගිට තියෙන්නෙ..ඉතිං එහෙව් එකේ..
මං මේ කියන්ඩ හැදුවෙ..මේ...
ඔය කාගීල්ස් වල වගේ උදේ ඉදල රෑ හය හත වෙනකම් නැහෙන්ඩ ඕනෙ නෑ බං. දවල් දෙක වෙද්දි ගෙදර..
ඊට පස්සෙ හවස් වරුව ම පොඩි එකා එක්ක ගෙදර ඉන්ඩ පුලුවන්..
ඒක කරන් යන්නෙ මං දන්න කියන කෙනෙක් බං. උඹ වගේ ලස්සන කෙල්ලො තමා එතන ඉන්නෙ..
පොඩි පොඩි මිනිස්සුත් නෙමේලු බං එතෙන්ට එන්නෙ..
එකෙක් එක්ක හිටියත් ඌ රුපියල් පන්දාහක් අත මිට මොලවනව කියන්නෙ..
ඉතිං උඹේ අකමැත්තක් නැත්තං කල්පනා කරල කියහං...
පොඩි එකා ගැනවත් හිතල.
ඔය රස්සා කරල කවද ඔලුව උස්සන්ඩ ද බං.... "
*************************
"හා මගෙ සුදු බෝලේ. අම්මි එනකොට ඔයාට සස ම සස චොකෝ එකක් ගේන්නම්කූ... හා ද.. උම්මා..."
මගෙ ෆෝන් එක රින්ග් වුනෙත් ඒ වෙලාවෙ.. ස්ක්‍රීන් එක දිහා මං බැලුවෙ.
"දයානි අක්කා"
මගෙ හිතයි ඒ කිව්වෙ.මං බැලුවෙ මගෙ පණ දිහා. ඒ මූණෙ හුරතල් හිනාව කට කපල.
"මං මේ ගමන යන්නෙ ඔයා ගැන හිතල මගෙ පුතේ! අම්මියට යන්න බැරි වුණ තැනට ඔයා යන්න ඕන. හොඳ දොස්තර මහත්තයෙක් වෙන්න ඕන. ඔයා නිසයි මං මේ හැම දෙයක් ම කරන්නෙ. එන හැම දුකක් ම 'පැණි රස කරන්' මං ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා රත්තරං..."
***********************
වෙලාව දෙකට දහය යි. ඒත් එක්ක ම මං බැලුවෙ බෑග් එකට දා ගත්තු පන්දහේ කොල තුන පරිස්සමට තියනව ද කියල. මිනිස්සු දෙතුන් දෙනෙක් මං දිහා මහ අමුතුවට බලනව දැක්කත් මං නොදැක්ක වගේ බිම බලාගෙන ඉක්මනට ගියේ ළඟ තිබුණ ආර්පිකෝ එකට. ගිහින් ගෙදරට ඕන බඩු ටිකකුත් අරන් Day Care එකට දිව්වෙ අද හවස් වරුව ම පුතු පැටියා එක්ක ඉන්න සිතුවිල්ලෙන් ම යි.
අපි දෙන්න ම බස් එකේ ටික දුරක් ඉඳගෙන එද්දි කොලු පැටියා සුපුරුදු දේ ඉල්ලුවා.
"අම්මියෝ, චොකෝ ගෙනාවද? පුතාට සස ම සස චොකෝ ඕනි.. කෝ අලේ.... දෙන්නකූ..."
බස් එකේ ලොකු සෙනඟක් හිටියෙ නැති වුණත් හැමෝම අපි දිහා බැලුවෙ මගෙ පැටියගෙ හුරතල් කටහඬ ඇහිල කියල මට හිතුණ. මං චොකලට් එකේ කවරෙ බාගයක් කඩල මගෙ පණට දුන්නෙ හුඟක් ආදරෙන්..
ඒත් ඒ චූටි මූණෙ හිනාව එකපාරට අතුරුදහන් වෙලා හැඟීම් වෙනස් වුණේ මං බලාගෙන ඉද්දි ම යි.
" #අම්මි_මේ_චොකෝ_සස_නෑනි..
#පුතාට_ඕනි_වෙනද_ගේන_චොකෝ..."
මං ඉක්මනට වටපිට බැලුවෙ බස් එකේ අනිත් අයට ඒක ඇහුණද කියල...
උපුටා ගැනීමකි
No comments:
Post a Comment