ආදරයද මේ


ආදරයද මේ......

සුමේදා; මහත්තයා ඇයි ඔයා රිප්ලයි නැත්තේ?
අසිත ; ඇයි?
සුමේදා; තරහින්ද? සමාවෙන්න.
අසිත ; නෑ.
සුමේදා; හ්ම්ම්ම්ම්ම්ම් ඔයා වැඩක්ද?
අසිත; නෑ.
සුමේදා; මොකක්ද අනේ කෙටියෙන් උත්තර දෙන්නේ. ඔයා තරහින් තමයි ඉන්නේ. කිව්වනේ සමාවෙන්න කියල.
අසිත; හැමදාම ඔයා සමාව ඉල්ලනවා. තවත් මට සමාවෙන්න කියල කියන්න එපා. ඔයා මං වෙනුවෙන් ඉල්ලපු දෙයක් කඩ කරාට මට දුක නෑ ඒත් ඔයා වෙනුවෙන් මම ඉල්ලන දේවල් කඩකරන්න එපා. ඊයෙත් ඔයා පපුව රිදෙනවා කිව්වා. එහෙම තියාගෙන අද නැටුම් පන්ති ගියා. මම කියන ඒවා අහන්න මම කව්ද නේ.... කමක් නෑ නෝනා මතක තියාගන්න ඔයාට මොනවා හරි උනොත් මම ජීවත්වෙන්නේ නෑ. එච්චරයි.
සුමේදා;  හ්ම්ම්ම්ම්ම්ම් මමත් ආසයි අයියේ අනිත් කෙල්ලෝ වගේ ඉන්න.
                  සුමේදාගේ අවසන් කෙටිපනිවිඩයෙන් හදවත උණු වූ අසිත සුමෙදාට ඇමතුමක් ගත්තත් ඇය දුරකථන ඇමතුම විසන්දි කර දැමුවාය.“තාත්ත අවදියෙන්. නිදාගත්තම ගන්නම්”  නිමේෂයකින් ආ කෙටිපනිවිඩයේ සටහන්විය. දුරකථනය පසෙකින් තැබූ අසිත කකුල් දෙක උඩට ගෙන සොපාවෙහි දිගාවිය. මීට මාස හතරකට පමණ පෙරදී තම දිවිතොර කර ගැනීමට සූදානම් වුවත් ජීවිතයට නව බලාපොරොත්තුවක් ගෙන ආවේ සුමේදාය.
“යාලුවනේ මම ජීවත්වෙන්නේ අද විතරයි. තව ටිකකින් මම මේ ලෝකෙන් සමුගන්නවා. උබල හැමෝම පරිස්සමෙන් ඉදපල්ලා. මට තවත් නැතිවෙන්න දෙයක් නෑ.  උබල කාටහරි මගේ අතින් වරදක් උනානම් සමාවෙයන්. තෙරුවන් සරණයි. ~අසිත~”
පෙබරවාරි විසිහතර වනදා මුහුනුපොතේ එලෙස පළකරමින් අසිත තම ජීවිතය තොරකරගන්නට සිතුවේ වහලෙහි පරාලයේ එල්ලන ලද ලනුවෙහි බෙල්ල වැළලා ගනිමිනි. එය කියවූ තම යහළුවන් එය විහිළුවකැයි සිතා විවිද උසුළු විසුළු ඊට යටින් පලකරත් තම මිතුරෙකුගේ මිතුරියක වූ සුමේදා අහම්බෙන් දුටු එම වදන්පෙල යටින් පලකලේ වෙනස් අදහසකි. “ අයියේ ඔයා ජීවත්වෙන්න වාසනාව තියාගෙන ජීවිතේ නැතිකරගන්න හිතනවා. මම ජීවත්වෙන්න ආසාව තියාගෙන ජීවිතේ හොයනවා. මම ඔයාව දන්නේ නෑ. එත් මනුස්සයෙක් විදියට මම ඔයාගේ දුකට ඇහුම් කන් දෙන්න කැමතියි. හෙට ඔයා ජීවත් උනොත් ලබන ආත්මෙවත් ඒ පිනෙන් මට ගොඩක් ආයුෂ ලැබෙයි.” තම ගෙල සිරකරගැනීමේ අවස්ථාව මුහුනුපොතේ සජීවීව රූප ගතකරන්නට දුරකථනය අතටගත් අසිතට නොදන්නා සුමේදාගේ වදන අහම්බෙන් නෙත් ගැටිණි. පුටුව උඩ සිටි අසිත පරාලයේ එල්ලන ලද තොන්ඩුව සහිත ලනුව අතහැර පුටුවේ හිඳ ගත්තේය. කුතුහලය සහිත අස්වැසිල්ල සැලකිය යුතු ලෙස ඔහුගේ සිතට බලපෑම් කරන්නට විය. “ගොඩක් පින්. මගේ යාළුවෙකු නොවුන ඔයා මට අවසන් මොහොතේ උදව් කරන්න හිතුවට. ඒත් දැන් මම තීරණය කරලා ඉවරයි ජීවිතේ නැති කරගන්න.” අසිත කෙටිපනිවිඩය මුහුනුපොතේන් සුමේදා වෙත යැවුවේය.  නිමේෂයකින් සුමේදා ඔහුට මුහුණුපොතෙන් ඇමතුමක් ගන්නට විය. “හෙලෝ.... කියන්න” අසිත හා සුමේදා අතර කතා බහ ආරම්බවිය. උපතින් හදවත් රෝගියක වූ සුමේදාගේ ජීවිතය කොයි මොහොතේ අවසන් වේදැයි නොදන්නා බවට වෛද්‍යවරුන් මත පළකර තිබුණි. තම පෙම්වතියගේ හැරයාම ඉවසාගත නොහැකිව ජීවිතය තොරකරගන්නට යන අසිත සුමේදාගේ වදන් හමුවේ කෙමෙන් කෙමෙන් සුවපත් වූ හදවත ඇතිව තම දිවි තොරකර ගැනීමේ අරමුණ පසෙක ලා සුමේදාට ඇහුම්කන් දෙන්නට විය.  දින සති මාස ඔව්න් දෙදෙනාගේ මිතුරුකම ආදරයකට පෙරලීය.
සුමේදා ; හෙලෝ ඔයා කොහෙද ඉන්නේ?
අසිත; මම මේ එනගමන්.
සුමේදා; මොකක්ද අනේ මම බස් එකෙන් බැහැල ගොඩක් වෙලා. හා හා එකට කමක් නෑ බයික් එකේ පරිස්සමෙන්. හෙමින් එන්න.
අසිත; තව විනාඩි 30  යි.
සුමේදා; මොකා. අනේ මම ගෙදර යනවා. එච්චර වෙලා ඉන්න බෑ.
අසිත ; අම්මෝ මෙයාගේ සැර. ඔයාගේ මහත්තය වෙනුවෙන් පැයක් ඉන්න බැරිද? අදනම් රතු සායට ඔයා හැඩයි හොදේ.
සුමේදා; ඔයා කොහොමද දන්නේ මම ඇදන් ඉන්න එක. ආ පිස්සා, මොඩය මම තරහයි මගේ පිටිපස්සේ ඉදන් කතාකරනවා.
අසිත ; අම්මෝ මගේ නෝනගේ හැඩ තරහගියාම. හා හා නගින්න නගින්න මෙන්න මේ හෙල්මට් එකදාගන්න මගේ නෝනා.
පසුදා අසිත සහ සුමේදා කතිකාකරගත් පරිදි හමුවීම සිදුවිය. අසිතගේ මෝටර් සයිකලය විහාරමහාදේවි උද්‍යානය අසල නවත්වා දෙදෙනා සමඟ කෙමෙන් කෙමෙන් උද්‍යානයට සේන්දුවිය. විශාල මුල් සහිත සෙවන ඇති ගසක් තෝරාගත් ඔව්න් ඒ යට වාඩිවිය.
සුමේදා; කොහෙද බලන්නේ.
අසිත ; කොහෙවත් නෑ.
සුමේදා; අනේ ඉන්න අර කපල් එක දිහානේ බලන් හිටියේ. මම දැක්ක. ආපෝ ලජ්ජ නෑ මේ ළමයට හොදනැති ඒවමයි බලන්නේ.
අසිත; එයාලට ප්‍රසිදිදියේ කරන්න හොදනම් අපි බැලුවම මොකද වෙන්නේ.
සුමේදා ; දෙන්නේ දෙකක් මෙන්න මෙහෙ බලන්න මගේ දිහා.
සුමේදා දඟකාර ලෙසින් අසිතගේ නළලත සිපගත්තාය. සියුම් ලැජ්ජාවක් වැනි හැගීමක් අසිත තුල ඇතිවුවත් කාන්තාවක වූ සුමේදාගේ හැසිරීම පිලිබඳ පුදුමවුවේය. අසිතගේ මුහුණ දෙස මද වෙලාවක් බලා හුන් සුමේදා ඔහුගේ කරමත තම හිස හොවා ඈත බලාගෙන කල්පනාවට වැටුනාය.
අසිත; මොනවද කල්පනා කරන්නේ..
සුමේදා; මුකුත් නෑ.
අසිත; කියන්නකෝ....
සුමේදා; ඔයාට කලින් මම මැරෙයි හැබැයි පොරොන්දු වෙන්න ඕන මොන දේ උනත් ඔයා හිත හදාගෙන ඉන්නවා කියල.
අසිත; ඔන්න ඔන්න ආයේ හැමදාම කියන දේ කියන්න පටන්ගත්ත. මේ පිස්සි මගේ මුණ දිහා බලන්න.
(අසිත සුමේදාගේ උරහිස් දෙකෙන් අල්ලා ඇය එක එල්ලේ තමා දෙසට හරවාගත්තේය)
අසිත; ඔයා මට වැඩිය කාලයක් ජීවත් වෙනවා. මගේ ආයුෂත් අරන් ජීවත් වෙනවා. මතක තියාගන්න මගේ ආයුෂත් අරන් ජීවත් වෙනවා. මම හැමදාටම ඔයාගේ මෙන්න මෙතන ජීවත් වෙනවා කෙල්ලේ මතක තියාගන්න.
අසිත සුමේදාගේ ලයමත අත තබමින් පැවසුවේය. සුමේදාගේ දෙනෙතින් කදුළු බිදක් රූටා වටෙද්දී තම මහපොටගිල්ලෙන් එය පිසලු අසිත සුමේදාගේ සුසුමේ උණුසුම දැනෙන තරමට ඇයට ලංවිය. එකිනෙකාගේ දෙනෙත් තුල පමණක් නිමේශයකට තනිවූ ඔව්නට අවට ලෝකය බොදවී යන්නට විය. සිසිල් වූ දෙතොලේ පහසට එකිනෙකා වෙලා ගනිද්දී කාලය ගෙවී යනවා ඔව්නට නොදැනිණි.
සුමේදා; මහත්තය ඔයාගේ ෆෝන් එක වයිබ්රේට් වෙනවා. දැහැනෙන් මිදුණු සුමේදා තම අවුල් වූ කොණ්ඩය පිටුපසට අතින් සකසනගමන් පැවසුවාය. කරදරයෙන් මෙන් සාක්කුවෙන් දුරකථනය අතටගත් අසිත ඇමතුමට පිළිතුරු දුන්නේය.
අසිත; හෙලෝ... ඔව් ..... මොනවා අදම. සතියක් වගේ කල්දාගන්න බැරිද?
(එකවිටම අසිතගේ මුහුණේ හැගීම වෙනස් වන්නට විය. හුන් තැනින් නැගිට ඈතට ගිය ඔහු බැරෑරුම් ලෙස ඇමතුමට පිළිතුරු දෙන්නටවිය)
හරි හරි හ්ම්ම්ම්ම්ම් එහෙනම් මම පුළුවන් ඉක්මනට එන්නම්කෝ. බලමු මොකක් හරි කරන්න.
(දුරකථනය සාක්කුවේ දමාගත් අසිත මදක් කල්පනා කර සුසුමක් හෙලා සුමේදා වෙත පැමිණියේය.)
සුමේදා; ඇයි මහත්තය මොකක්හරි ප්‍රශ්නයක්ද?
අසිත; ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වස්තු ඒත් දැන් අපට යන්න වෙනවා. හොස්පිට්ල් එකේන් මට ටග්ගාල එන්නලු.
අසිත සේවය කරන්නේ ඇපලෝ රෝහලේය.  එහි ගබඩාව බාරව කටයුතු කරන නිලදාරියෙකු වන අසිත නොයෙක් විට හදීසි අවස්ථාවල රෝහලවෙත කැදවන බව දනිතත් සුමේදාගේ මුහුණෙහි පැහැය වෙනස්විය.
අසිත; අයියෝ මුණ එල්ලගන්න එපා. මේ බලන්න මං වෙනුවෙන් ඔයා හැමදාම මාත් එක්ක ජීවත් වෙන්න ඕන. මම ඔයාගේ හදවතට වෙලා මෙන්න මෙතෙන්ට වෙලා හැමදාම ඉන්නවා හරිද.
(අසිත තදින සුමෙදාව බදාගත්තේය. වෙනදාට වඩා තද බවක් සුමේදාට දැනුනත් ඇය එය දරාගෙන සිටියාය.)
සුමේදා; මහත්තයා ඇයි ඉකි ගහන්නේ? ඔයා අඩනවද ? කෝ......
(සුමේදාට නොපෙනෙන ලෙස ඇසට ආ කදුළු පිහිදාගත් අසිත කෙලින් වුවේය)
අසිත ; නෑ කෙල්ලේ නෑ. අපි යමු. මම ඔයාට මගේ ජීවිතේට වඩා ආදරෙයි.
                                අසිත සහ සුමේදා නැගිට යන්නට පිටත් විය. සුමේදා බස් නැවතුම්පල අසල බැස්සවූ අසිත ඇපලෝ රෝහල වෙත පිටව ගියේය. එහි පැයක පමණ කාලයක් ගතකල ඔහු තම නිවස වෙත පිටවගියේය. දුරකථනය නාදවෙයි. ඇමතුම සුමෙදාගෙනි.
සුමේදා; මගේ මහත්තයා ..... (ඉකි ගසමින් සුමේදා කතාකරයි) මගේ මහත්තයා.....
අසිත; ඇයි මගේ රත්තරන් කියන්න. ඇයි මේ අඩන්නේ. කියන්න මගේ වස්තු ඇයි.
සුමේදා; කෝටි ගානක් වියදම් කරලාත් හොයාගන්න බැරිවුණ දේ ලැබිල මගේ මහත්තයා. ලැබිලා.
අසිත ; මොනවා....... මගේ පන මට කෑ ගහන්න හිතෙනවා මගේ වස්තු කෑ ගහන්න හිතෙනවා. කොහෙන්ද හදවත ලැබිල තියෙන්නේ?
සුමේදා; දන්නේ නෑ අපේ තාත්තට  ඩොක්ටර් සුර නිමල කෝල් කරලා. මට දැන්ම ඇවිත් ඇඩ්මිට් වෙන්න කිව්වා. හාට් එක ගොඩක් වෙලා තියාගන්න බැරිලු. ඉක්මනටම සර්ජරි එක පටන් ගන්න ඕනලු.
අසිත; හරි මැණික හරි. ඔයා බයවෙන්න එපා. ඔයාට අලුත් ජීවිතයක් ලැබෙන්න යන්නේ. මම එනවා ඔයා ලගට. ඔයාල හොස්පිට්ල් එකට යන්න.  මම එන්නම්. මේක අහන්න. මම ඔයාට මගේ පණට වඩා ආදරෙයි.
දුරකථනය විසන්දිවිය. සුමේදාගේ දෙමව්පියන් අවරුදු ගණනාවක් සුමෙදාට බද්ද කිරිම සඳහා හදවතක් සෙව්වත් කිනම් හෝ මුදලක් වැය කර හදවත් බද්ධකිරීමේ සැත්කම කරගැනීමට හදවතක් සොයාගැනීමට නොහැකි විය. තවද හදවත් බද්ද කිරීම සිදුකරන වෛද්‍යවරයෙකු පිටරට සිට ලංකාවට පැමිණෙන්නේද ඉතා කලා තුරකිනි. ලහි ලහියේ සුදානම් වූ සුමේදා සහ ඇයගේ දෙමාපියන් ඇපලෝ රෝහල වෙත පිටත් විය. මුලික පරීක්ෂණ අවසන් වුවත් තවමත් අසිත තමා බැලීමට පැමිණියේ නැත.
සුමේදාගේ පියා; ඩොක්ටර් මම පොඩ්ඩක් දුව එක්ක කතා කරන්නද?
වෛද්‍ය වරයා; ඔකේ...
සුමේදාගේ පියා; දුව මෙන්න අසිත ලයින් එකේ. ඔයාට කතා කරන්න දෙන්නම කියපූ නිසා ගෙනාවේ.
පියා දුරකථනය සුමේදාගේ අතට ලබාදුන්නේය.
සුමේදා; හෙලෝ... කෝ මගේ රත්තරන්. මම බයේ හිටියේ. ඇයි පරක්කු.
අසිත ; මේ අහන්න මගේ වස්තුව. මම ඉක්මනටම එනවා. මම දැන් ඔයාගේ ඩොක්ටර්ට කෝල් කරා මම එනකල් ඔපරේෂන් එක පටන් ගන්නේ නෑ කිව්වා. මම ඉක්මනටම එනවා. හැමදාටම ඔයා ජීවත් වෙන්න ඕන. මම ඔයාට මගේ පනට වඩා ආදරෙයි මගේ වස්තුව. මම ආදරෙයි.
සුමේදා ; ඔයා ඇයි ඉකි ගහන්නේ... හෙලෝ හෙලෝ......  ෆෝන් එක කට් වුනා.
දුරකථනය නැවත තම පියා අතට දුන් සුමේදා දිග සුසුමක් හෙළුවාය.
කාලය ගතවිය. සුමේදාගේ සැත්කම සාර්ථක ලෙස අවසන් කෙරිණි. ඇයට සිහි එන විටත් ඇය “මගේ
මහත්තයා...” ලෙස කොදුරමින් අසිතව සෙවූ නමුදු ඔහු ඇය වෙත පැමිණියේ නැත. කාලය කෙමෙන් කෙමෙන් ගතවිය. සැත්කම හමාර වී දින දෙකක් ගෙවී යද්දී සුමේදා ප්‍රකෘති තත්වයට පත්විය. තවමත් සිටින්නේ වයර් රාශියක් මද්‍යයේ වුවත් සුමේදා අසිත ගැන විමසන්නට විය. නමුත් ඔහුගේ දුරකථනය ක්‍රියාත්මක වන්නේ නොමැතිබව තම පියා සුමේදාට පැවසිය. දින සති, සති මාස බවටත් පෙරලෙන්නට විය. දැන් සුමෙදාට දෙපයින් නැගිටින්නට වාරු ලැබ තිබේ.
පියල් ; මිස් සුමේදා. මම තමයි ඩොක්ටර් පියල්. දැන් කොහොමද ඔයාට?
සුමේදා; දැන්නම් පපුවේ කැක්කුම අඩුයි ඩොක්ටර්. ඒත් ටිකක් කැරකිල්ල වගේ වෙලාවකට.
පියල්; මිස් ඒකත් ටික දවසක් යද්දි ඇරිලා යයි. මම ආවේ මිස්ට වැදගත් කාරණයක් කියල යන්න. මේ සුමෙදගේ තාත්ත නේද?
පියා; ඔව් ඩොක්ටර්.
පියල් ; ඒක හොදයි. මම අසිතගේ හොදම යාළුවා. එයා මෙන්න මේ ලෙටර් එක දෙන්න කියල දීල තිබුන. ඉතින් මම වෙලාව එනකල් හිටිය බලාගෙන ඒක හෑන්ඩ් ඕවර් කරන්න.
(අසිතගේ නම ඇසීමෙන් තිගැස්සුණු සුමේදා ඇදෙන කෙලින් විය)
සුමේදා; අනේ ඩොක්ටර් කෝ එයා. මම මේ තාමත් මග බලන් ඉන්නේ එයා එනකල්.
(කදුළු කැට රූටා වැටෙද්දී සුමේදා විමසුවාය. නිහඩවම ලියුම සුමේදා අත තැබූ පියල් පසෙකට විය)

මගේ ආදරණීය සුදු මැණික,
            මගේ රත්තරන් මම අවසන් වරට කතාකරද්දී කියපු දෙයින්ම මම පටන් ගන්නම්. මගේ පනට වඩා ඔයාට මම ආදරෙයි මගේ වස්තුව. මේ ලියුම ඔයා අතට පත්වන විට ඔයා හොද සුවයකින් පසුවෙනවා කියල මම හිතනවා. නපුරු ආදරයක් නිසා මම ජිවිතේ එපාවෙලා ජීවිතේ නැතිකරගන්න හදනවෙලාවේ මගේ ලෝකෙට ආපු සුර දුතිය ඔයා. ඔයා මට පෙන්නලා දුන්න ජීවිතේ කොයිතරම් වටිනවද කියල. ඒ හැමදෙකටමත් වඩා ඔයා මට අම්මා කෙනෙක් වගේ ආදරය දුන්න. ඔයා මට ඔයාගේ ආදරේ ඒ විදියට පුජා කරද්දී මගේ ජීවිතේ තිබුනේ ඔයා ළඟ. මම ඔයාට ජීවිතෙන් ණයගැතියි.
            දැන් කියන්න යන්නේ මම ඔයාට හංගපු එකම රහස. මේක මම නොකිය ඉන්නවා කියල හිතුවත් කවද හරි ඔයා මම ගැන හොයද්දි දැනගන්න නිසා මම එක කියන්නම්. ඔයාගේ ලෙඩේ ගැන මම දැනගත්ත දවසේ ඉදන් ඔයා කිව්වම මේකට එකම විසදුම හදවතක් බද්ද කිරීම කියල, මම ගොඩාක්ම හිතුව මොකක්ද කරන්නේ කියල. මම අවසානේ මගේ හොදම මිතුර පියල්ගේ මාර්ගයෙන් අපේ හොස්පිට්ල් එකට ආපු ඩොක්ටර් කැමතිකරවගත්ත ඔපරේෂන් එක කරන්න. එදා පාක් එකේදී කෝල් එක ආවේ පියල්ගෙන්. ඒත් ප්‍රශ්නයක් වුනේ හාට් එක. මම මෙතන නම සඳහන් නොකරන කෙනෙක්ගෙන් මම අහගත්තා හදවතට හානියක් නොවෙන්න දිවිතොරකරගන්න. ඒත් මම මැරුණා කියල ඔයාට හදවත ලැබෙන්නේ නෑ. මාව මරණ පරීක්ෂණයට යවනවා. ඒ නිසා මම මැරෙන්න කලින් මගේ අවසන් කැමැත්ත ලිව්වා. ඔයා දන්නවා මට අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් නෑ. මට පව්ලක් නෑ. ඒ නිසා මම ගැන දුක්වෙන්න නෑදෑ කෙනෙක් නෑ මේ ලෝකේ. පියල් ගොඩක් උදව් වෙන්න ඇති ඉක්මනට ඒ හැමදේම ක්‍රියාත්මක කරන්න. එයාගෙන් මම ඉල්ලුවේ බොඩි එකක් ලැබෙයි එකේන් හාට් එක ගන්න උදව් කරන්න කියල විතරයි. මගේ බොඩි එක දකිනකල් එයත් දන්නේ නෑ ඒ මම කියල. මගේ අවසන් කැමැත්තට අනුව මගේ ඇස්දෙක ශරීරෙ ඉතිරි හැම කොටසක්ම මම දන් දෙන්න ලිව්වා. කොහොමහරි මම ඔයා එක්ක අවසන් වරට කතා කරේ මගේ අවසන් මොහොතේ. දවසක් අහිමි උන ආදරයකට දුකෙන් මේ ලෝකෙන් සමුගන්න ගියාට මම අද මේ ලෝකෙන් සමු ගන්නේ මගේම ආදරයක් වෙනුවෙන් ජීවිතේ දෙන්න ගොඩක් සතුටින්. එකම දේ ඔයා දුක්වෙන්න එපා. මාව අහන්න ඕන උනාම මාව ඔයාගේ කරගන්න ඕන උනාම ඔයාගේ පපුවට අත තියල බලන්න. ඔයාට දැනේවි ඔයාගේ ලගින්ම මම හැමදාම ඉන්නවා කියල. මම මගේ පනට වඩා ඔයාට ආදරෙයි.
                                 ඔයාගෙම ආදරණීය මහත්තයා,
                                                       .....අසිත.....

ඔබ රහසේ බලා උන්නු ආදරයද මේ.......... ~ඉසුරු~

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment