සංසාරෙන් සොයා ඇවිදින්

"සංසාරෙන් සොයා ඇවිදින්"
කෙටි කතාව

"කවදාහරි ආදරේ කරන කෙනාගෙ අතේ එල්ලිලා හඳ පායපු රෑක රුවන් වැලි සෑය වටේ මෙහෙම හෙමිහිට අඩි තියලා යන්න පෙරුම් පිරුවෙ කවදා ඉඳන්ද කියල මට ම මතක නෑ.. ඒ උනාට කොච්චර දුක් විඳින්න උනත් කොච්චර ප්‍රශ්න ආවත් මම කවදාවත්ම ඒ හීනෙන් ඇහැරුනේ නෑ... ඇත්තටම මම අද ඒ හීනෙ හැබෑ කරන්.. ඔයාට ගොඩාක් පිං... මාව ඒ හීනෙට අරන් ආවට." ජනුමි කිව්වෙ තාමත් ඒ හීනෙ ඇවිදින ගමන්.

"ඉතින් මැණිකේ... පරක්කු වෙලා හරි මම ඔයාගෙ ජීවිතේට ආවෙ ඒකනෙ." අංජන කියද්දි ජනුමි අංජනගෙ බාහුවට මූණ තද කරගත්තා... ඒ අතීතය මතක් වෙද්දිත් ජනුමිගෙ ඇඟ හිරිවැටෙනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මට නම් දැන් මේක ඇති වෙලා තියෙන්නෙ මිනිහෝ.. මොන කරුමයක්ද මේ.." ඉවසල ඉවසල බැරිම තැන ජනුමි කෑගහලා කියන්නෙ අඬ අඬ.

"උඹට මම ඉන්න තියන්නෑ... බැල්ලි... සමාවගනින් මගෙන් සමාවගනින් උඹ කාටද මිනිහෝ කිව්වෙ... සමාවගනින් මම ආයෙ කියන්නෑ." ඒ කටහඬ ඇහෙද්දිත් ජනුමිගෙ මුලු ඇඟම ගැහෙනවා... ආදරේ කරනවා තමයි ඒත් මේ වගේ දුක් විඳින්න පුලුවන්ද කෙල්ලෙකුට.

"හ..හරි ම..මට සමාවෙන්න.." ජනුමි ඇහෙන නෑහෙන ගානට කියනවා.

"ඔහොම බෑ සමාවෙන්න කියලා පස් පාරක් කියපං.." ජනුමි ඇස් දෙක පියාගෙන දුක වේදනාව දරාගන්නවා.

"සමාවෙන්න.. සමාවෙන්න.. සමාවෙන්න... සමාවෙන්න... සමාවෙන්න.." ජනුමි හෙමිහිට කියනවා.

"බෑ බෑ බෑ එහෙම බෑ... ගහගනින් කනට.. පට්ට බැල්ලි... ගහගනින් කනට.." කරන්නම දෙයක් නැති තැන ජනුමි කනට හත් අට පාරක් ගහගන්නෙ මේ කියවිල්ලාවෙන්වත් බේරෙන්න ඕන නිසා.

"ඇයි දෙවියනේ මට මෙහෙම ගින්දර දෙන්නෙ..." ජනුමි ඇස් වලින් හෝ ගාල කඳුලු වැටෙද්දි හිතින් අහනවා.

"උඹට බෑ මාත් එක්ක කියවලා දිනන්න.. බැල්ලි.. උඹමේ කොහෙද යන පට්ට බැල්ලියෙක්නෙ.." ජනුමි වෙව්ලනවා කේන්තියටයි දුකටයි. රණ්ඩුව දිගින් දිගටම යද්දි වෙලාවකට රටේ නැති මිනිස්සුන්ව ජනුමිට පාවා දෙන්නත් ඔහු පැකිලෙන්නෙ නෑ.

"මට මේ නිරපරාදෙ කරන අපහාස තමුන්ගෙ ලමයෙක් පිටින් හරි යන්න ඕනෙ. පවුලෙ කාගෙ හරි පිටින් යන්න ඕනෙ. ඇයි යකෝ ගේ අස්සට වෙලා තමුනටම කඹුර කඹුර ඉන්න මටනෙ මේ කතා කියන්නෙ." ජනුමි කියන්නෙ කේන්තියේ උපරිමෙන්.

"ඔව් ඔව් උඹලගෙ අර අයියගෙ ලමයා පිටින් යන්න ඕන. ඒ ලමයට හෙන ගහන්න ඕන.." බල්ලෙක් වගේ හිනාවෙවී කියද්දි ජනුමි කේන්තියෙන් වෙව්ලුවා... පිටට ඇහෙන්නෙ නැති වෙන්න දහස් වාරයක් ජනුමි හීල්ලුවා.

"අනේ අර ඉපදිලා සතියක්වත් උනේ නැති දරු පැටියට නේද මේ හෙන ඉල්ලුවෙ. දෙවියනේ මේවා බලන් ඉන්නවද කිසිම
හිතක් පපුවක් නැතුව.. හෙන ගහන්න ඕන මුගෙ කටට නේද?" ජනුමිගෙ හිත කෑගැහුවා.

"දැන් තියපං හෙට උදේට ගනින්."

"මම ආයෙ ගන්නෙ නෑ. මට මගෙ පාඩුවෙ ඉන්න දීලා තමුන් ඕන මගුලක් නටාගන්නවා. මේ සම්බන්ධෙ ඉවරයි. ආයෙම මේ සම්බන්ධෙ නෑ.. මගෙ පැත්තෙන් මම මේ සම්බන්ධෙ නවත්තනවා..." ජනුමි දැඩි ලෙස කියලා කෝල් එක කට් කරා.

අවසාන රණ්ඩුව ඒ... ජනුමි ඒ කාලකණ්නි ජීවිතෙන් මිදුනා. අද ඇය අංජනගෙ අතේ එල්ලිලා ඇගේ හීන වල ඇවිදිනවා.

"මොකද කල්පනාව..." අංජන අහන්නෙ ජනුමිගෙ කරවටේ අත දාගෙන.

"ඊළඟ හීනෙට යන්නෙ කීයටද කියලා ඉවසීමක් නැතුව බලන් ඉන්නෙ.." ජනුමි කියද්දි අංජනට හිනාගියා.

"ආවෙ හීන හැබෑ කරන් යන්නනෙ. යමු ඉතින්.... කෝ එන්න." අංජන ඇයව ලං කරගෙනම නැවතුම්පලට යන්න පය එසෙව්වා.

"මේ හීනෙට මම කොච්චර ආදරේ කරාද කියලා දන්නෙ මම ම විතරයි.. ඒ හීනෙට වටිනාකමක් දුන්නට ආයෙමත් ඔයාට ගොඩාක් පිං.." ජනුමි අංජනගෙ පපුවට හිස තියාගෙන කිව්වා.

"හරි හරි දැන් යමු... හෙට හවසටනෙ කලා වැවට යන්න ඕනෙ කිව්වෙ?" අංජන ටික දුරක් ගිහින් ඇහුවා.

"ම්ම්...."

"එහෙනම් හෙට උදේ වරුවට කොහෙද යන්නෙ?"

"කොහෙවත් යන්න බෑ... ආයෙම කලා වැවට එමු." ජනුමි හිනාවෙලා කිව්වා.

"ධාතුසේන රජතුමාගෙ නෑයෙක්ද කොහෙද.." අංජන කියද්දි ජනුමිට හයියෙන් හිනාගියා.

කාලෙකට කලින් අංජනව මුණ ගැහුන හැටි ජනුමිට මතක් උනා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"ආහ්... ඇස් පේන්නෙ නැද්ද මන්දා..." ජනුමි දත්මිටි කාගෙන කෑගැහුවා.

"ඔහ් සොරි මිස්... රියලි සොරි." ඒ ඇස් දෙක දැක්කම අංජනගෙ ඇස් ගැස්සුනා. කාන්තාවකගෙ තියෙන්න ඕනෙ ඉවසීමෙන් දශම බාගයක්වත් නැති මේ කෙල්ල දිහා අංජන බැලුවෙ පුදුමෙන්.

"ඇයි මොනවද බලන්නෙ? බලනව මගෙ ඇඳුමත් සවුත්තු උනා.." ජනුමි කිව්වෙ කූල් ඩ්‍රින්ක් එක වැටිලා කහ පැහැ උන දිග සුදු ස්කර්ට් එක ගසමින්.

"සොරි මිස්... මම වෙන කල්පනාවක ආවෙ.. මම කියන්නද? අපි ඕක වොශ් කරගමු. මගෙ ගෙවල් මේ ලඟ තියෙන්නෙ." අංජන කියද්දි ජනුමිගෙ මූණ තරහටම රතු උනා.

"මොකද්ද කිව්වෙ? ගෙදර යන්න මම... තමුන්ගෙ? තමුන්ට පිස්සු හැදිලද? යනව යන්න..." ජනුමි බැන බැනම ඇගේ ටේබල් එකට ගියා

"මොන මගුලකට ගෙවල් ලඟ තියාගෙන මේකට ආවද මන්දා.. ශික්..." ජනුමි තමන්ටම කියාගත්තා.

"ඒත් ඒ ඇස් හරි අහිංසක පාටයි." ජනුමිගෙ හිත කිව්වා. ඒ එක්කම හදවතින් පටන් ගත්ත මොකද්දෝ දෙයක් ජනුමිගෙ ඇඟ පුරාවටම දිව්වා.

"එක්ස්කියුස් මී මිස්... රියලි සොරි උන දේට.. මම තව බීම එකක් ගේන්නම්.. ආ... සර් කිව්වා මිස්ට මේක දෙන්න කියලා." වේටර් කෙනෙක් ඇවිත් කාඩ් එකක් දික් කරලා කිව්වා. ජනුමි වේටර්ට රවලා අහක බලාගත්තා.

"මට වොශ් රූම් එක තියෙන තැන පෙන්නනවද?" ජනුමි ඒ තරහෙන් අහක බලාගෙනම ඇහුවා.

"එන්න මිස් මම පෙන්නන්නම්." වේටර්ගෙ පස්සෙන් ජනුමිත් ගියා.

ජනුමි ඇඳුම යාන්තමට වොශ් කරගෙන එළියට ඇවිත් ආයෙම ඇගේ ටේබල් එකට ගියා. ඇගේ හෑන්ඩ් බෑග් එක උඩින් තියල තිබුන කාඩ් එක දැක්කම ජනුමිගෙ මූණෙ ලාවට හිනාවක් ඇඳුනා. මේ වෙද්දි ඇගේ තරහත් ටිකක් නිවිලයි තිබුනෙ. ඇය ඒ කාඩ් එක ගත්තා. වටපිට බැලුවත් පේන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ. ඇය හෑන්ඩ් බෑග් එකත් දාගෙන අවන් හලෙන් පිට උනා.

දින එක දෙක ගෙවුනා ඒත් ජනුමිට ඒ සිදුවීම අමතක කරන්න බැරි උනා. ඒ ඇස් දෙක ජනුමිගෙ හිත හොරා අරන් තිබුනා.

"ගිනි පෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බයයිලුනෙ.. මම කොහොමද ජීවිතේටම එකම එක පාරක් දැකපු කෙනෙක් ගැන මෙහෙම හිතන්නෙවත්." ජනුමි හිතුවා. ඇයට ඕන උනේ ඒ මතකය අමතක කරන්න.

"ඒත් ඒ ඇස් ඒ හැඩරුව හැමදේම මම ප්‍රාර්ථනා කරපු කෙනාගෙ වගේමයි..." ජනුමි ආයෙ ආයෙත් ඒ රූපයටම බැඳෙනවා. කල්පනා ලෝකෙ අතරමං වෙලා ඉඳපු ජනුමිගෙ ෆෝන් එකට මැසේජ් එකක් එනවා ඇහිලා ඇය ෆෝන් එක අතට ගත්තා.

"රියලි සොරි මෙහෙම කරදර කරාට.. එදා ඔයාගෙ නම්බර් එක හොරාට ගත්තෙ ඔයාගෙ ඇස් දෙක මට අමුතු කතාවක් කියනවා වගෙ දැනුන නිසා. දවස් ගානක් තිස්සෙ ට්‍රයි කරා ඔය ඇස් දෙක අමතක කරන්න. ඒත් බෑ... ප්ලීස් රිප්ලයි එකක් දාන්න." ජනුමි මැසේජ් එක කියවලා කල්පනා කලා මේ කවුද කියලා.

"කවුරු වෙන්න ඇතිද?" ජනුමි කල්පනා කරා. ඒ එක්කම ඇස් ඉස්සරහා ඇඳිලා මැකිලා ගියේ ඒ කොල්ලව.

"අංජන???" ජනුමිට ඔහුගෙ නම මතකයි.. ජනුමි ඉක්මණින් බැලුවෙ මැසේජ් එක ආව නම්බර් එක.

"ඔව් මේ එයා..." නම්බර් එක ඇයට කට පාඩම්.. ඒ තරමට ඇය ඔහුගෙ කාඩ් එක දිහා බලාගෙන ඉඳලා තිබුනා. ටික වෙලාවක් කල්පනා කරලා කරලා ජනුමි ඉට්ස් ඕකේ කියලා මැසේජ් එකක් දැම්මා. ඒ එක්කම කෝල් එකක් ආවාම ජනුමි ගැස්සුනා. හදවත අමුතු රිද්මයකට ගැහෙන්න ගත්තා. කෝල්ස් හයක් හතක් ආවට පස්සෙයි ජනුමි ආන්සර් කලේ.

"ආන්සර් කරන්න පරක්කු උනේ... ඒ තරම් වෙලාවක් හිතුවද?" අංජන ඇහුවා. ජනුමි සද්ද නැතුව හිටියා.

"ම්ම්... ශුවර් එකටම මේ ඔයා නේද?" අංජන ඇහුවා. ඒත් ජනුමි මුකුත් කිව්වෙ නෑ.

"ඇත්තටම සොරි... නම්බර් එක හොරාට ගන්න උනා.. ඔයා වෙලාවට ෆෝන් එක තියලා වොශ් රූම් එකට ගියේ... සමහරවිට අපේ දෛවයෙ එහෙම ලියවිලා තියෙන්න ඇති." අංජන කියවනවා ජනුමි ගැහෙන පපුවට අතක් තියාගෙන ඇස් පියාගෙන ඒ කටහඬ වින්දා.

එදා පටන් ගත්ත ප්‍රේම කතාව ඔස්සෙ දෙන්නට දෙන්නා ඉතාමත් ලස්සනට තේරුම් ගත්තා. එකිනෙකාගෙ අදහස් වලට හැමදාම ගරු කලා. ඒ නිසාම අද දෙන්නා අඹු සැමියන් වෙලා. දෙන්නට දෙන්නගෙ තේරුම් ගැනීම ගැන දෙන්නටම පුදුමයි. ඒ සතුට දෙන්නා හරි අපූරුවට වින්දා.

"මේ තේරුම් ගැනීම සදහටම තියාගමු..." ඒ අංජනගෙත් ජනුමිගෙත් කසාද පොරොන්දුව.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පහුවෙනිදා හවස දෙන්නත් එක්ක කලා වැව ලඟටත් ගියා...

"තෑන්ක් යූ කියලා ඔයාගෙ මේ ආදරේට අගෞරව කරන්න බෑ... ඒත් පිං සිද්ධ වෙනවා මෙහෙම කරාට." ජනුමි අංජනගෙ උරහිසට හිස තියාගෙන කලා වැව පිසගෙන එන සුළඟ වින්දා. මේ දවස් දෙකට ජනුමිගෙ කටින් මේ වචන ටික දහස් වාරයක් පිටවෙන්න ඇති. අංජන හැම එකටම හිනාවෙනවා. ඔහු හැමදාමත් ලෝබයි ජනුමිගෙ මේ ආදරේට.

"ඇත්තටම මම ඔයාගෙ හීන වල ඉඳපු කෙනා නොවුන නම්..." අංජන ඇහුවා.

"එහෙම උනා නම් මගෙ හීනෙ ඉඳපු කෙනා අද මෙතන මාත් එක්ක ඉඳීවි." ජනුමි කියන්නෙ හිනාවෙවී.

"ඇත්තට... හෙන පව්.." අංජන ජනුමිගෙ කන මිරිකලා කිව්වා. 

"පව් මම නෙමෙයි එහෙනම්... පව් ඔයානෙ.."

"මම පව් තමයි ඔයාව මගෙ නොවුන නම්..." අංජන ජනුමිව තවත් තුරුල් කරගත්තා..

"මගෙ පිස්සු ආදරේට මේ තරම් වටිනාකමක් දුන්න එකම කෙනා ඔයා." ජනුමි ඇස් පියාගෙන කිව්වා.

"මගෙත්... මගේ පිස්සු ආදරේටත් මෙහෙම වටිනාකමක් දුන්නෙ ඔයා විතරමයි." අංජන ජනුමිගෙ නළල සිපගෙන කිව්වා.

"දැන් එහෙනම් යමු නේද? හෙට උදෙන් ඇහැරෙන්න ඕනෙ." අංජන නැගිට්ටා..

"ම්ම්... හෙට ඒ හීනෙත් හැබෑ උනාට පස්සෙ මට දැනෙයි මම ජීවත් වෙනවා කියලා." ජනුමි දෑත් දෙපසට විදාගෙන කියද්දි අංජනට දැනුනා ඔහු ජීවත් වෙන බව.. ඒ තරම් ඔහුගෙ ආදරේ උතුම්..

"ඒ කියන්නෙ මගෙ හීනෙ හැබෑ වෙන්නෙ අනිද්දයින් පස්සෙ..." අංජන කියද්දි ජනුමි අංජනගෙ කන මිරිකුවා.

"ආ එහෙමද ආස??" ජනුමි හිනාවෙන්ම එහෙම අහද්දි අංජන හිස වැනුවා.

ජනුමිගෙ ඊළඟ හීනය උනේ කන්‍යාවියක් විදියට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලඟ සිල් ගන්න. ඒ නිසාම ජනුමියි අංජනයි කසාද බැඳලා එන පළවෙනිම පෝයට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලඟ සිල් සමාදන් වෙන්න ගියා. කසාද බැඳලත් දෙන්නා තාමත් එකට ඉඳලා නෑ.. අංජනගෙ තේරුම් ගැනීම ගැන මීට වඩා දෙයක් ජනුමිට දැනගන්න අවශ්‍ය උනේ නෑ.

"ඔයයි මායි මේ විදියට ආත්ම ගානක් ඉන්න ඇති..." ජනුමි හැමදාම වගේ එදත් කිව්වා.

"මාත් ඒක විශ්වාස කරනවා. එහෙම නැත්නම් ලංකාවෙ එක කෙළවරක ඔයා ඉඳලා තව කෙළවරක මම ඉඳලා එකම එක බැල්මකින් ආදරේ කරන්න පටන් අරන් කසාදත් බැඳලා... අද තව චුට්ට වෙලාවකින් අපි අපේම වෙනවා. එහෙම වෙන්නෙ පතාගෙනම ආව නිසා තමයි." අංජන ජනුමිව තුරුල් කරගත්තා. ඒ රාත්‍රියේ සදහටම තවත් ආත්ම ගණනාවකට ජනුමියි අංජනයි එකිනෙකාට හිමි උනා...

මේ තමයි ජනුමි හැමදාම ප්‍රාර්ථනා කරපු ජීවිතේ.. ආදරේ කරන කෙනා තමන්ව හොඳින් තේරුම් ගන්න එක.. ඕනම විහිලුවක් කරලා දෙන්නට හිනාවෙන්න පුලුවන් එක... දෙන්නම එකතු වෙලා ජීවිතේට එන ප්‍රශ්න වලට මූණ දෙන එක... ලංකාව වටේම මෙහෙම ඇවිදින එක... මේ තමයි ඇගේ හීන... අද ඉඳන් ඇගේ ඒ හීන එකින් එක ඉටු වෙනවා.. අංජන ඇයව තේරුම් අරන් තියෙන තරම් ඒ වගේම අංජනගෙ ආදරේ තරම් තමයි ඒ..

මෙච්චර කාලයක් හිතේ විතරක් තිබුණ හීන සේරම අද අංජනත් එක්ක ජනුමි බෙදාගන්නවා.. ඒ හැම හීනයක්ම හැබෑ කරන්න අංජන අද ඔහුටම පොරොන්දුවක් වෙලා.. ඉතින් මේ තමයි ආදරය... නිකන්ම නිකන් ආදරේ #විඳවපු ජනුමි අද පතාගෙන ආව ආදරේ හරිම ලස්සනට #විඳිනවා.

අවසානයි...

තෙරුවන් සරණයි!
Sherangi Shanika.

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment