හැරයාම්

හැරයාම ...

“කපිල අය්යා... අද අපේ ගොයම් කපනවා ..හවස කොළ(කපා අවසන් වූ ගොයම්) ටික පාගන්න මැෂින් එක ගන්න පුළුවන් නේද ..”

“ආ ..කසුන් මලයා ...උබට කොහොම බෑ කියන්න ද? එත් මං නැන්දම්මගෙන් අහලා කියන්නම් ...”

කපිල කුමාර යනුවෙන් අපි ඔහු හදුන්වමු. සහෝදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක තෙවැන්නා ඔහු විය.කුඩා කාලයේ සිට ඔහු හැදී වැඩුනේ දෙමාපියන් සමග නොවේ. එනම් ඔහුගේ පියාගේ සහෝදරියකගේ නිවසේයි. මේ ඔහු නැන්දම්මා යනුවෙන් හදුන්වන්නේ ඇයයි. ඇය විශ්‍රාම ලත් පාසල් ගුරුවරියකි.ඇගේ සැමියා මිය ගොස්ය. දරුවෙක් නොවූ  ඇය කපිලව හදා වඩා ගත්තේ තමාගේම දරුවෙකු ලෙසිනි.ඇයත් ඔහුත් පමණක් වූ නිවසේ ගම්වැසියන් නිතර ආ ගිය ගමේ කාගේත් ආදරයට ලක් වූ පවුලක් විය.ගොඩ ඉඩම් මෙන්ම මඩ ඉඩම් ද අඩුවක් නොවූ මෙම නිවසේ මඩ ඉඩම්වල වගා කලේ වී වගාවයි.එම කටයුතු වල පහසුව සදහාම අත් ට්‍රැක්ටරයක්, ගොයම් පාගන මැෂිමක් ගෙන එහි කටයුතු කපිල වෙත පැවරුවා ය.

“නැන්දම්මා මේ අර ඉහළගෙදර ගොයම් කපනවලු අද..හවස පාගන්න එන්න බැයිද ඇහුවා ...”

“කවුද පුතා ඇහුවේ..”

“ඒ ගෙදර පිරිමි ළමයා ..කසුන් ..”

“හ්ම්ම් ..පාගලා දීලා එන්න ..ඒත් ඉතීන් සල්ලි නම් දෙන්නේ නැති වෙයි ..”

“නැන්දම්මා ..අපේ මුළු යායේම ගොයම් කපන්න එන්නේ ඔය මිනිස්සු පවුල් පිටින් .. ඒ ඔක්කොටම සල්ලි දෙනවද දැන් නැන්දම්මා ..”

“අනේ උබේ පණ්ඩිත කතා ..වරෙන්කො මගෙන් සල්ලි ඉල්ලන්..”

“අය්යෝ නැන්දම්මා ඒ මිනිස්සු පව් ..අපි නිකම් කරලා දෙමු ..අනික ගොඩක් නෑ ..වී ලාස්(වී මනින මිනුමක් ) 5 ක් වගේ ඇති..”

“හ්ම්ම්...කැමැත්තක්.. ඒක නෙවේ ..මන් පුතාගෙන් අහන්නමයි ඉදියේ .. පුතා අර අමුණේ ගෙදර ගෑණු ළමයත් එක්ක මොකක් හරි පලහිලව්වක් තියේද ..”

“මොකක් .. කවුද සමනලී ද ..”

“සමනලියක්ද මැස්සියක් ද කියන්න මම දන් නෑ ... තියනවනම් අත් ඇරපන් ..මේ නැන්දම්මා ඉන්නකම් ඕවා වෙන් නෑ ...”

“ඒ මොකද අප්පා ..කවුද ඔය කේලම් කිවේ ..”

“කවුරුත් කිව කෙහෙම්මලක් නෑ ..මම දැක්කා උබලා ළිද ළග මුකුළු කරනවා ..”

“ඇයි නැන්දම්මා එපා ..කියන්නේ ..එයා හරී හොදයි ..කොන්ඩේ ත් දිගයි ..අනික ලස්සනයි .. ගතිගුණත් හොදයි ..”

“මේ උඹ නොදැන වගේ අහන්නේ .. උන් අඩු කුලේක ..අනික උඹ මෙහෙ උන්නට මම වග කියන්න එපැයි උඹලගේ ගෙදර අයට .”.

“නැන්දම්මා මොනාද අප්පා ගුරුවරියක් නේද ..ඔය කුලේ ලේ වල තියේ ද ..ඇයි නැන්දම්මා අපි හැමෝම මිනිස්සු ...”

“ඇති ..තවත් එපා ..උඹ ඕක නවත්තපන් එච්චරයි ..”

ඒ ඇගේ අවසන් නිවේදනයයි.
...............................................................................................................
“මොකද බං ..උඹ හැමදාම බොන්නේ ඔහොම ...” ඒ කපිලගේ යාළුවා සුගත්  ය.

“මට බෑ බං ඒකිව අමතක කරන්න ...අනික් අතට නැන්දම්මා ...”

“ඉතින් උඹ දුක් වෙන්නේ මොකද ..ඒකි වෙන එකෙක් බදින්න යනවානම් උඹත් නැන්දම්මා කතා කරලා තියෙන කෙල්ලට කැමති වෙයන් ...”

“උඹලට තේරෙන් නෑ බං ..මට ටිකක් ඉන්න දීලා පලකො යන දිහාවක ...”

“හරි මන් යන්නම් ඇති ..බීවා ගෙදර යමන් බං ....”

“මට කොහෙද ගෙදරක් යකෝ ..පොඩි කාලේ ඉදන් අම්මා තාත්තගේ ආදරයක් වින්දේ නෑ ..ඒ අම්මා තාත්තා ජීවත්ව ඉදිද්දිම උන් මාව ඈත් කළා ..මන් දන් නෑ ඒ මොන වගේ හැගිමක්ද කියලා ...මට පාඩුවේ ඉන්න දීලා පලයන් බං යන්න ..”.

අරක්කු මතින් කියවන කපිල දිහා සුගත් බලාගෙන උන්නේ හින් සිනහවක් සමගයි.

“කපිල අය්යේ කපිල අය්යේ මන් ගියා නැන්දම්මා හොයන්න එහෙට ..නැන්දම්මා බිම වැටිලා ඔලුව පැලිලා ..ගේත් කරුවලයි ..ලයිටුත් නෑ ..මට බයයි ...මන් අවා දුවගෙන ...”

“මොකක් ..”

ක්ෂණිකව වෙරි මත පහව ගියා සේ නැගිට්ට කපිල ගෙදර දිවේ ඊයක වේගයෙනි . ඔහු යනවිටත් අසල්වැසියන් කිහිපදෙනෙක් නිවසේ සිටි අතර ඒ වන විටද නැන්දම්මා මියගොස් තිබුණි .

“අනේ ..නන්දම්මේ ..නැගිටින්නකෝ ...”
වචනවලින් පිට කල නොහැකි වේදනාව කදුලුවලින් ගලා ගියේ අවට සිටියවුන්ගේ ද දෑසට කදුළක් එක් කරමිනි ..

මළගෙදර වැඩ අවසන් වුවද අසල්වැසියන් සිටියද සමනලී මළ ගෙදර නො ආවාය. මළ ගෙදර තිබූ දින ටිකේද ඈ ආවේ නැත . ඒ අතර තුර සුගත් රට යනවා යැයිද පවසා නැන්දම්මා මිය ගිය දිනට පහුවදා නිවසින් පිට විය . සුගත් කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තු වූ රට රැකියාවට යෑම නිසා කපිලගේ දුක බෙදා ගන්නවත් කෙනෙකු නොවිය. මළ ගේ අවසන්ව සති 2ක් ඉක්ම ගිය ද  සමනලී නො ආ නිසා ඒ  ගැනද හිතේ දුකක් තිබූ හෙයින්  ඔහු ඇය සොයා නිවසට ගියේ ය.

“ආ ..මේ ළමයා නොවැ .. එන්න වාඩි වෙන්න .” ඒ සමනලී ගේ මවය .

පුටුවේ හිද ගනිමින් ...”කෝ අම්මා සමනලී ...”

“සමනලී රට ගියා ..”

“ මොකක් ...ඒ කවද්ද .. මට කීවෙත් නෑනේ ..”

“කියන්නේ මොනාද ... කිවා කියලා මේ ළමයට මගේ කෙල්ල කසාද බදින්න කියලායෑ.. නැන්දම්මා නැති උනත් ඔය ළමයාගේ අම්මා මෙතන දැන් මාසෙකට උඩදී දෙස් දෙවොල් තියලා ගියා මතකයි මට ...”

“ඇයි අම්මේ එහෙම කියන්නේ ... අවුරුදු 3ක් මන් යාළුවෙලා හිටපු කෙල්ල ..ඇයි මට මෙහෙම කලේ .. නොකියා ගියේ ..”

“සමනලී ගියේ සුගත් පුතාව කසාද බැදලා ..”

“මොකක් ... මේ සුගත් ..මගේ යාළුවා ..හොදම යාළුවා ..සුගත් ..”

“ඔව් ඒ සුගත් තමයි ..”

හිද සිටි පුටුවෙන් නැගිට ගත් ඔහු අරමුණක් නොමැතිව කාටවත් දොස් නොකියා යන්නට ගියේ කලකිරීමක් පමණක් හිත රදවා ගෙනය.
නැන්දම්මාගේ මරණින් පසු බොහෝ දුකින් සිටි කපිලට සමනලී හැර යාමද වේදනාවක් විය. ඊටත් තම හොදම මිතුරාගේ බිරිද වී ... ඔහු ඔහුට කොතැනක හෝ වැරදුනු බව තේරුම් ගත්තේය .
.................................................................................
අදටත් සමාජයේ පවතින කුල බේදය නිසා අසරණ වූ තරුනයෙක්ගේ කතාවක් ..ඒ වගේම තවත් දෙයක්...ගොඩක් වෙලාවට තමන්ට වල කපන්නේ තමන් විශ්වාස කරන් ඉන්න ආදරේ කරන් ඉන්න මිනිස්සුමයි . කෙටියෙන් කිවොත් ලගින් ඉන්න මිනිස්සුමයි. ඒ වෙලාවට හැමදේම අත් හැරලා යන්න හිතුනත් අපි කල යුත්තේ යථාර්ථය තේරුම් ගැනීම පමණයි.

  
-මනෝජා-

උපුටා ගැනීමක්

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment