පහන් තාරකාවී
කෙටි කථාව
හදිසියේම පිබිදුනු තාරුකී නාන කාමරය වෙත ගොස් ඉක්මනින් මූන සෝදාගෙන පැමිණ නිල් ඩෙනිම් කලිසමට උඩින් ඔෆිස් ටීෂර්ට් එක ඇඳගෙන සපත්තු දෙක දාගන්න සූදානම් වන අතර මව කාමරයට පැමිණියා
“චූටි දූ මේ කිරි එකවත් බීල යන්න ළමයෝ...හැමදාම යන්න විනාඩි පහකට කලින් නැගිටල නැට්ට ගිනි ගත්ත හනුම වගේ දඟලනවා...ඔය ළමය වෙලාවට කන්නෙ නැතුව දැන් ලෙඩ වෙනවා…”
“අම්මී...මේ විදියට සැපට ඉන්න තියෙන්නෙ බඳිනකම් විතරයිනේ...කවුද දන්නෙ අරන් යන මිනිහ හරියට කන්න අදින්න නිදාගන්නවත් දෙන්නෙ නැති වෙයිද කියලා...”
“ඔය වගේ කියෙව්වොත්නම් චූටිට දවස් දෙකෙන් ගෙදර එන්න වෙයි තමා...අනේ ඇත්තට මේ කෙල්ලෙක්ව හැදුවට වඩා හොඳයි...”
“අම්මී...ඔයා ඔහොම කිව්වට මම දන්නවනෙ මට පන වගේ ආදරෙයි කියලා...මං වගේ කොලු කෙල්ලෙක් හැමෝටම හම්බවෙන්නෙ නෑ...ආයෙ දන්නවනේ...දහයක් ආවත් ගහල බිම දාන කෙල්ලක් මං...”
“පණ්ඩිතකම් ඇති...මේක බීල යන්න ලෑස්ති වෙන්න...ඉගිල්ලෙනව එහෙම නෙමෙයි බයික් එකේ...මම දැක්ක ගිය සතියෙත් ළමයෙක් බයික් එකෙන් වැටිල අතකුත් කඩන් හොස්පිට්ල් එකේ ඉන්නවා...අද කාලෙ කොල්ලන්ට කෙල්ලන්ට කියල වෙනසක් නෑනේ...පුදුම විසයක් තියෙන්නේ...”
“ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නෑ එන්නේ...නේද අම්මී...උම්මියා මගෙ අම්මියෝ...ඔන්න ඒනම් මං ගියෝ...හවසට එද්දි මට කන්න ලැවරිය තම්බල තියන්න හොඳේ...” ඇය ස්කූටිය වෙත දිව ගොස් එය පන ගන්වා මවට අතවනමින් පිටත් වන දෙස මව සිනාසෙමින් බලා සිටියා. පුතුන් දෙදෙනෙකුට පසුව ඉපදුණු දඟකාර දියණිය වන තාරුකී පවුලට සිරියාව රැගෙන ආවා. සහෝදරයන් දෙදෙනෙකු සමග හැදී වැඩුණු ඇයටද කුඩා කළ සිටම පිරිමි ළමයෙකුගේ ගති ස්වභාවය පිහිටා තිබුනත් ඇගේ සුන්දර පෙනුම හා මෘදු බැල්ම ඇගේ නාරි ලාලිත්යස විදහා පෑවා. පිරිමි ළමුන් කොතෙකුත් ඇයගෙන් ආදරය ඉල්ලාගෙන පැමිණියද ඔවුන් පිළිබඳව සව සහ පියා සමග මෙන්ම සොයුරන් සමග කියමින් සිනා සුනා ඇරෙන්න ඇයගේ සිත ගැනීමට කිසිදු තරුණයෙකුට නොහැකි වුනා.
තාරුකී ස්කූටිය අතුරු මාර්ගය ඔස්සේ රැගෙන ගොස් ප්‍රධාන මාවතට හරවන්නට සූදානම් වන විට මිනිසුන් කීප දෙනෙකු වට වී යම් දෙයක් දෙස බලා සිටි බැයින් ඇයට වාහනය ඉදිරියට ගැනීමට නොහැකි වුනා. ඇය වාහනය නතර කර එතනට යන විට ඇය අඳුනන තරුනයින් සහ තරුණියන් කීප දෙනෙක් එ් අසල සිටියා.
“මොකක්ද මචී වෙලා තියෙන්නේ...මිනිහෙක්වත් මරල දාලද...” ඇය තමන් අසල වූ තරුණයාගේ උරහිසට අත තියා විමසුවා.
“තාරු අක්කී...ඔයා වෙලාවට ආවේ...මිනිහෙක් මුනින් අතට වැටිල ඉන්නව උදේ ඉඳන්...පොලිසියට කිව්වත් තවම ආවෙ නෑ...අත තියන්නත් බයයි...”
“අපෝ උඹලත් කොල්ලොද බං...කෙල්ලන්ට ටෝක් කරන්නයි බූට් කාල වැළපෙන්නයි තමයි දන්නෙ...කෝ ඉන්නව මම බලන්න...” ඇය සෙනග අතරින් ගොස් එබී බලන විට වටිනා ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු මුණින් අතට වැටී සිටි අතර ඔහු අසලම නවීන පන්නයේ මෝටර් රථයක් නවතා තිබුනා. තාරුකී පහත් වී ඔහුගේ උරහිසින් අල්ලා පෙරලන්නට සැරසුනත් ඇයට ඔහුව පාළනය කිරලත නොහැකිව ඔහුගේ සිරුර මත ඇද වැටුනා. එදෙස බලා සිටි පිරිස සිනාසෙන්නට වූ අතර ඇය නැවතත් කෙලින් වී ඔවුන් දෙස බැලුවා.
“ඒයි පාන්ඩුවා...ඔතෙන්ට වෙලා දත් තිස් දෙක එළියෙ දාගෙන ඉන්නෙ නැතුව වරෙන් මෙහාට...මේ මනුස්සය බාර් එකක් වගේ...පුදුම ගඳක්නෙ තියෙන්නේ...” ඇය අඳුනන තරුණයෙකුට අඩගැසුවා. ඔහු ඇය අසලට පැමිණි පසු දෙදෙනාම එක්ව ඔහුව අනික් පසට හැරෙව්වා.
“තාරු අක්කී...මේ අර...”
“පාන්ඩුවා...මේ ඉන්නෙ ෆේමස් සින්ගර් මහීෂ තේනුවර නේද...මිනිහ මෙතන මේ විදියට මොකද...කවුරු හරි වතුර එකක් දෙන්න...” ඇය පිරිස දෙස බලන විට පාසැල් යන යුවතියක් තම බෑගියේ වූ වයතුර බෝතලය ඇය අතට දුන්නා. ඇය ඉන් ස්වල්පයක් ගෙන ඔහුගේ මුහුණට ඉසින විට ඔහු කෙදිරියක් නගමින් දෑස් හැර බැලුවා. තමන් දෙස බලා සිටින පිරිස දුටු ඔහු එක්වරම නැගිටින්නට සූදානම් වන විට ඔහුව අල්ලාගෙන සිටි තාරුකී නැවතත් ඔහුගේ සිරුර මත ඇදගෙන වැටුනා.
“පේන්නෙ නැද්ද මනුස්සයො මම මෙතන තමුන්ව අල්ලන් ඉන්නවා...” ඇය විමසන විට ඔහුගේ තියුණු ඇස් දෙක ඇගේ දෙනෙත් අතර මදකට නතර වුනා. ඒ බැල්ම ඇයට වෙන කිසිදු අයුරකින්වත් නොවුනු ආකාරයේ තිගැස්මක් ඇති කලා.
“කෑව බිව්වනම් ගෙදර යන්නෙ නැතුව මේ විදියට පාරවල් ගානෙ ඉන්න ලැජ්ජ නැද්ද...මෙච්චර ප්‍රසිද්ධ දක්ෂ කෙනෙක් වෙලත් මේ විදියට තමන්ගෙ නම කැත කරගන්න හදන්නෙ ඇයි...”
“දිස් ඉස් මයි ලයිෆ්...මට කාගෙවත් අවවාද අහන්න ඕනෙ නෑ...කරපු උදව්වට තෑන්ක්ස්...” ඔහු සාක්කුවෙන් ගත් මුදල් පසුමිබියෙහි වූ පන්දහසේ නෝට්ටුවක් ඇයට දිගු කලා. ඔහුලේ කම්මුල හරහා පහරක් ගැසීමට පැමිණි ආවේගය පාළනය කරගත් තාරුකී නැගී සිටියා.
“මේ මිස්ට මහීෂ...ඕව දෙන්න ඔයාගෙ වටේ ඉන්න නැට්ටිච්චියන්ට...මනුස්සකමට උදව් කලාම ඒක හෑල්ලු කරන්න හදන්න එපා...අරක්කු වලින්ම වෙන්න ඇති මම හිතන්නෙ මොලේ පිරිල තියෙන්නේ...ඒ හින්ද තමයි ඔය විදියට හිතන්නේ...යන්න කලින් දෙයක් කියන්නම්...පිනට හම්බවුනු ජීවිතේ පව්කාර විදියට ගෙවල නාස්ති කරගන්න හදන්න එපා...” ඇය මද වෙලාවක් ඔහු දෙස බලා සිට ස්කූටියට නැග පිටත් වුනා. ඇය හිතේ වූ ආවේගයෙන්ම වාහනය නවතා බිමට බැස කාර්යාලය තුළට ගියා. අතේ වූ යතුර මේසය මත දමා ගැසූ ඇය පුටුව මතට කඩා වැටුනා.
“ඒයි තාරු...මොකද මේ උදෙන්ම පන්දම අතට අරන්...අද මායම් වෙන්නද යන්නේ...” ඇය අසලට පැමිණි යෙහෙළියක් විමසන විට තවත් කීප දෙනෙක් එතෙන්ට පැමිණියා. ඇය උදෑසන තමන් මුහුණ දුන් සිදුවීම පවසන විට සියලුම දෙනා විමතියෙන් අසා සිටියා.
“අප්පට සිරි...මේකි පාට් එක දාල ඇවිත් තියෙන්නෙ ලේසි එකෙකුට නෙමෙයිනේ...උඹ මේ පාරනම් කනව දුවේ...”
“අනේ පලයං ශාලිත...මම ඒ ඔටුවට උදව් කරා ඇරෙන්න වරදක් කලේ නෑනේ...අනිත් එක ෆෑන්ස්ල විදියට අයිතියක් තියෙනව අපිට හරි වැරැද්ද කියන්න...”
“මගෙ අම්ම ඉතින් සමාජ සේවිකාවනේ...ඔහොම යං එහෙනම්...උමේ අනාගතය පැහැදිලියි...” ඇගේ මිතුරියක් පවසන විට තාරුකී ඇයව පසෙකට තල්ලුකලා.
“මං එහෙම තමයි...කවුරු වුනත් වැරැද්දනම් වැරැද්ද කියන්න ඕනේ...”
“මං දන්න විදියට මිනිහගෙ ලව් එකක් බ්රේදක් වෙලා තියෙනවා...පට්ට සීරියස් එකක්...ඒ සිද්ධියෙන් පස්සෙ තමයි මිනිහ බොන්නයි ගැනු පස්සෙන් යන්නයි පටන් අරගෙන තියෙන්නේ...” හෙහෙළියක් පැවසුවා.
“ඔව් බං...මම හිතන්නෙ මිනිහ හොඳ ෆැමිලි එකක එකම පුතා...මියුසිකල් වලට යන්නෙත් කන පැලෙන්න බීගෙනලු...ගෑනු කරන වැඩ නිසා පිරිමින්ට වෙන දේවල් පේනව නේද...”
“අනේ ශාලිත...උඹ අහගන්න එපා මගෙන්...එතකොට තෝ දැන් අර කෙල්ලො දෙන්නෙක්ට එකපාර ලව් කරන්නෙ උන්ගෙ අනාගත සුබ සිද්ධිය ගැන හිතල වෙන්න ඇති...මම හරි ආසාවෙන් ඉන්නෙ උම උන් දෙන්නට එක සැරේට මාට්ටු වෙලා ගුටි කනව දකින්න...නදී යමුද කන්න...අදත් විනාඩි පහට නැගිටල දුවන් ආවේ...කන්න වෙලාවක් තිබුනෙ නෑ...” ඇය යෙහෙළියන් සමග ආපනශාලාව වෙත යමින් පැවසුවා. කාර්යාල වේලාව තුළදී මෙන්ම නිවසට එන අතරත් ඇයට උදෑසන සිදුවීම මතකයට ආවා. ඔහුගේ බැල්ම ඇගේ සිතේ තදින්ම ඇදී තිබෙන අයුරු ඇයටද පුදුමයක් වුනා.
**********************************************************************
පසුදින ඉරුදිනක් වූ බැවින් ඇය මව සමග සාප්පු සවාරියක් යෑමට සූදානම් වුනා.
“පොඩි අයියා අපිත් එක්ක ෂොපින් යමුද...ලොකු අයියගෙ වාහනේ සර්විස් එකට දාලලු...” ඇය තම බාල සොයුරාගේ කරවටා අත් දෙක දමාගෙන හිස මතින් නිතට තබාගත්තා.
“මේ චූටියො...ගෑණු එක්ක ෂොපින් යනව කියන්නෙ ටේකින් ඇනිඩ් ඊටින් තමයි...තනිකරම ඉල්ලගෙන කෑමක්...ඒ හින්ද මගෙ සුකිරි බටිල්ලි මටනම් කතා කරන්න එපා මැණික...”
“අපෝ අම්මී...මේ ගෙම්බො දෙන්නටම එන්න බෑලු...අම්මට තිබුනෙ මේ වගේ පුතාල දෙන්නෙක් වෙනුවට තව දුවල දෙන්නෙක් හදාගන්න...”
“ඔව්...එහෙම උනානම් තුන්දෙනාට ෂොපින් කරන්න යන්න මේ ගේත් උකස් තියල තාත්තියි අම්මියි පාරට තමයි බහින්නේ...තමුසෙ ගිය සතියෙත් ෂොපින් ගියා නේද...”
“ඒ සපත්තු දෙකක් ගන්න...”
“ඈ යකෝ...සපත්තු දෙකක් ගන්නද උදේ නමයෙ ඉඳන් හවස දෙක තුන වෙනකම් ටවුමෙ ඇවිද්දේ...”
“දෙක තුන වෙනකම් නෙවෙයි හය හත වෙනකම් හරි ඇවිදල තමන්ට ඕන දේ එපැයි අරගන්න...අම්මි අපි දෙන්න ස්කූටි එකේ යමු...කාගෙවත් ලොකුකම් බලන්න ඕනි නෑ...ඉන්නවකො මම කාර් එකක් තියෙන මහත්තයෙක් හොයාගෙන ෂොපින් යද්දි ඔයාලට ගොඩක් සිදෙයි ඈ...”
“ආහ්...කියද්දිත් පපුව රිදෙනව නගේ...ඒ අහිංසකය ගැන හිතලා...” සොයුරා පවසන විට ඇය ඔහුට විරිත්තා මව සමග යන්නට පිටත් වුනා. ඇය ස්කූටිය පදවාගෙන යන අතර ඉදිරියෙන් පැමිණි රථයට අයින් කරන්නට සැරසෙත්ම එය වේගයෙන් ඔවුන් ඉදිරියේ නතර වුනා. එයින් බැස ආ පුද්ගලයා දුටු ඇයගේ සිත ගැහෙන්නට වුනා.
“මහීෂ...මෙයා මොනාටද එන්න හදන්නේ...බලමුකෝ...මට මොනව හරි කියන්න ආවොත් හොම්බ කැඩෙන්න එකක් දෙන්නේ...” ඇය එසේ සිතමින් ඔහු දෙස බලා සිටින විට ඔහු තම දෙනෙත් ඇයගේ දෙනෙත් වෙතම රඳවාගෙන ඇය සමීපයට ආවා.
“එක්ස්කියුස්මී මිස්...මාව මතකයිද දන්නෙ නෑ...”
“හොඳට මතකයි...මම ඊයෙ තමයි ඔයාට සිගින් වලට අමකරව ස්පෝට්ස් කරන්නත් පුළුවන් කියල දැනගත්තේ...”
“ඒ කිව්වේ...”
“ඔයා තුන්ඉරියව් ක්‍රීඩකයෙක් නිසා...ඊයෙ උන්න විදියට හොඳටම තේරුනා...” ඇගේ කතාවට ඔහුට මහ හඩින් සිනා නැගුනු අතර තරුකීගේ මව ඔවුන් දෙදෙනා දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.
“අම්මී..මේ තමයි මහීෂ...මම ඊයෙ අම්මට කිව්වෙ...” මව ඔහු දෙස අසතුටින් මෙන් බලන අයුරු දුටු මහීෂට ලැජ්ජාවක් දැනුනා.
“ඊයෙ වුනු දේට සමාව ඉල්ලන්නයි මම ආවේ...අහම්බෙන් හරි හම්බවුනු එක හොඳයි...අද රෑට මගෙ මියුසිකල් එකක් තියෙනවා...ඔයා ගෙදර අයත් එක්ක එනවනම් සතුටුයි...” ඔහු ඇයට ප්‍රවේශ පත්‍ර කීපයක් පිරිනමමින් පැවසුවා.
“තෑන්ක්ස් මිස්ට මහීෂ...මම එන්න උත්සාහ කරන්නම්...ඒත් ප්‍රොමිස් වෙන්නම් බෑ...”
“ඕකේ...ඒත් මම බලන් ඉන්නවා...බායි සීයූ...” ඔහු වාහනය වෙත යන අයුරු ඇය දෑස් අයාගෙන බලා සිටියා. දහස් ගණන් තණියන් සිහින දකින තරුණයෙකු වූ මහීෂ තමන් අසලට පැමිණ එලෙස ඉල්ලීමක් කිරීම ගැන ඇයට සියුම් ආඩම්බරයක්ද දැනුනා. මව සමග අවශ්‍ය දේ මිලට ගත් ඇය නිවසට ගොස් ප්‍රවේශ පත්‍ර අත තබාගෙන කල්පනා කරන්නට වුනා.
“යන්නත් හිතෙනවා...අම්මනම් එන එකක් නෑ...ලොකු අයියට පාර්ටි එකක්...පොඩි අයියනම් මේවට කොහොමවත් කැමති නෑනේ...මොකද කරන්නේ...බලමු කාට හරි කතා කරලා...” ඇය අහළ පහළ සහ කාර්යාල මිතුරු මිතුරියන්ට කතා කිරීමෙන් අනතුරුව කීපදෙනෙක් ඇය සමග යෑමට කැමැත්ත පළ කලා. බොහෝ බල කිරීමෙන් අනතුරුව මවගෙන් සහ පියාගෙන් අවසර ලබාගත් ඇය මිතුරන් සමග සංගීත සංදර්ශනය බැලීම සඳහා පිටත් වුනා. ඔවුන් යන විට එය ආරම්භ වී තිබුණු අතර මහීෂ ගීතයක් ගායනා කරමින් සිටියා. ඔහු සිටින ඉරියව්ව අනුව මත්පැන් පානය කර ඇති බව වැටහුනු තාරුකීට ඔහු ගැන තරහක් ඇති වුනා.
“මේ මිනිහනම් කවදාවත් හැදෙන කෙනෙක් නෙමෙයි...බලන්නකො සිංදු කියන්නෙත් කෙලින් ඉන්න බැරි තරම් බීල...”
“සින්ගර්ල කවුරුත් එහොම තමයි පහන්දි...අද කාලෙ නොබී සින්දු කියන්නෙ කවුද...ඔක්කොම කරටි කැඩෙන්න ගහල තමයි ඉන්නේ...”ඇගේ යෙහෙළියක් පැවසුවා.
“ඒ වුනාට මහීෂ වගේ කෙනෙක් ඒ විදියට දකිද්දි කළකිරීමක් දැනෙනවා...ලස්සන උගත්කම දක්ෂකම හැමදේම තිබිලත් විහින් විනාශ වෙනවා...කෙහෙල්මල් ආදරයක් හින්දා...ගිය එකීට යන්න දීල තමන්ගෙ වැඩක් කරන් උන්නනම් ඉවරයිනේ...”
“තාරුකී...උඹ ඔහොම කියන්නෙ ලව් කරල නැති නිසානේ...ඒ වලට බැහැලම බලන්න ඕනේ...ගොඩ එන්න ලේසි නෑ...” ඔවුන් සමග සිටි තරුණයෙක් පැවසුවා.
“උඹ වලේ බැහැල ජබු ගගහනෙ ඉන්නේ...කවදහරි බූට් කාල අඩන්න තියාගත්තොත් තෝව මරනවා...” ඇය වේදිකාව දෙස බලා පවසන විට මහීෂගේ නෙත් තාරුකීගේ නෙත් සමග ගැටුනා. ඔහු ගායනා කරන අතරම ඇයට අත වැනුවා. අනිත් පිරිස ඇය දෙස බලන විට ඇයව ආඩම්බරය මුසු ලැජ්ජාවක් දැනුනා. ගීත ගායනයෙන් පසු වේදිකාවෙන් බිමට පැමිනි මහීෂව වටකරගත් රසිකයින් ඔහුගෙන් සමරු සටහන් ගන්නට සහ ඔහු සමග ෆොටෝ ගන්නට සැරසුනා. ඔවුන් අතරින් සෑහෙන වෙලාවකින් පසු මිදුණු මහීෂ තාරුකී සහ යහළුවන් අතරට පැමිණියා.
“ආවට තෑන්ක්ස්...මං හිතුවෙ එන්නෙ නැති වෙයි කියලා...හායි ගයිස්...” ඔහු පිරිස සමග සාමීචියේ යෙදෙන අතර තාරුකී දෙස වරින් වර බලන හැම මොහොතකම ඇයගේ සිතෙහි තිගැස්මක් ඇති වනු අයුරු ඇයට දැනුනා.
“ඔයාල කැමතියිනම් පුළුවන් මාත් එක්ක ඩිනර් එක ගන්න...” ඔහු පවසන විට තාරුකී යහළුවන් දෙස බැලුවා. ඔවුන්ගේ මුහුණුවල එයට කැමැත්තක් තිබුනද ඇයට එම ඉල්ලීම පිළිගන්නට නොහැකි ලෙසින් දැනුනා.
“තෑන්ක්ස් මිස්ට මහීෂ...අපි දැන් යන්න ඕනේ...ගෙවල්වලින් අපි එනකම් බලන්න ඇති...”
“ඕකේ...එහෙනම් වෙන දවසක මීට් වෙමු...මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන්ද...” ඔහු විමසූ ආකාරයට ඇයට එය ප්‍රතික්ෂේප කළ නොහැකි වූ බැවින් ඇය ඔහුට දුරකතන අංකය ලබා දී පිටත් වීමට සැරසුනා.
“පරිස්සමින් යන්න...ගුඩ් නයිට් තාරු...” ඔහුගේ වදන් තාරුකීගේ හදවත පතුලටම දැනුනා. ඇයද පෙරලා ඔහුට සුබ පතා නික්ම යන අතර යහළුවන් ඇයට නොයෙක් විහිළු කරන්නට වුනා.
“තාරුකී අක්කිටත් මල්සරා විද්ද එහෙනම් ඈ...ලේසි කෙනෙක්ද ඉතිම්...කාටද ආඩම්බර...”
“මේ මගෙන් ගුටි නොකි හිටු පාන්ඩුවො...ඒ වගේ දකින දකින කෙල්ලො පස්සෙන් යන මිනිහෙක් එක්ක යාළු වෙන්න මගෙ මොලේ හොඳ නෑ කියල හිතුවද...පව්කාර ජීවිත...” ඇය එසේ පැවසුවද තමන්ද හිතට හොරා ඔහු ගැන සිතන බව ඇයට දැනෙමින් තිබුනා.
***********************************************************************
තාරුකීට කාර්යාලයේ වැඩ කරන අතර නාදුනන අංකයකින් ඇමතුමක් පැමිණියා. ඇය කාර්ය බහුලව සිටි බැවින් එය කනෙහි තබාගෙනම පරිගණක තිරය දෙස බලා සිටියා.
“හෙලෝ...” එහා පසින් අසුණු හඩ ඇයගේ සවන් මත වැදී හදවතටම දැනුනා.
“මහීෂ...”
“එහෙනම් ඔයා මාව අඳුනගත්ත නේද...මේ වෙලාවෙ ඔයා බිසීද...ටිකක් එළියට එන්න පුලුවන්ද...මම ඔයාගෙ ඔෆිස් එක ළඟ ඉන්නේ...” ඇයට ඔහු පවසන දේ වටහාගැනීමට මොහොතක් ගතවුනා. ඇය ජනේලය අසලට පැමිණ තිරය මෑත් කර බලන විට වාහනය නවතා එයට පිටදී සිටින මහීෂව දුටුවා.
“ටිකක් ඉන්න...” ඇය දුරකථනය විසන්ධි කර කුමක් කළ යුතුදැයි කල්පනා කලා. මිතුරන්ට පැවසුවහොත් ඇයව බයිට් කරන බව දන්නා බැවින් ඇය බැංකුව වෙත යන බව පවසා පිටතට පැමිණියා. ඇයව දුටු මහීෂ මුව පුරා ඇඳනු සිනාවෙන් ඇයව පිළිගත්තා.
“මිස්ට මහීෂ...ඇයි මේ වෙලාවෙ...”
“මට දෙයක් කරන්න හිතුනොත් වෙලාවක් කලාවක් බලන්නෙ නෑ...ඔයාව බලන්න හිතුන නිසා ආවා...මාත් එක්ක ටිකක් එළියට යමුද...” ඔහු වාහනයේ දොර විවර කරන අතර විමසුවා. ඇය මද වෙලාවක් කල්පනා කර එයට ගොඩවූ අතර වාහනය ටික දුරක් ගොස් පාළු ස්ථානයක නැවතුනා. මහීෂ තාරුකී දෙස බලා ඇයගේ අතින් අල්ලාගන්නට සැරසෙන විට ඇය අත පසුපසට කරගත්තා.
“මොකද මේ බයවෙලා වගේ...මට හම්බවුණු කෙල්ලන්ගෙන් ඔයා තමයි දැකපු චණ්ඩිම කෙල්ල...ඉතින් මම ඔයාට කැමතියි...” ඔහුගේ ඇස්වල ඇති බැල්ම වටහා ගැනීමට තාරුකීට අපහසු වුනේ නැහැ. ඇය හැකි වෙර යොදා ඔහුගේ කම්මුලට වේගවත් පහරක් එල්ල කළ අතර ඔහුගේ දෙනෙත් පුදුමයෙන් සහ කෝපයෙන් විසල් වුනා.
“තමුන් හිතුවද කමුන් වටේ ඉන්න අනිත් ජරා ගෑනු වගේ කියල මම...මේ බලනව...ඔහේ මාත් එක්ක කතා කලේ මේ විදියෙ පහත් සිතුවිල්ලකින් කියල දන්නවනම් මම මූනවත් බලන්නෙ නෑ...ජනප්‍රියත්වය ඔය විදියට පහත් දේවල් වලට යොදාගන්න තමුනුයි ඇඟ විකුණන ගණිකාවකුයි අතර කිසිම වෙනසක් නෑ...මටම ලැජ්ජයි මේ විදියට මේ වාහනේ ආව එකට...තමුන්ට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඉන්නව නේද...එයාලට මේ වගේ දරුවෙක් හැදුව සාපය වදින්න තියන්න එපා...මනුස්සකමක් ටිකක් හරි තියනවනම් කල්පනා කරල බලන්න...” ඇය වාහනයේ දොර ඇරගෙන බිමට බැස පාර දිගේ යන අයුරු මහීෂ දෙනෙත් විසල් කරගෙන බලා සිටියා. මේ වන තෙක් තමන් කැමති ඕනෑම තරුණියක් තමන්ගේ වසඟයට ගත් අතර ඔවුන්ද ඔහුට කිසිදු පැකිලීමකින් තොරව තමන්ට නතු වූ බැවින් තාරුකීවද එලෙස තමන්ට අවනත කරගැනීමට හැකි වෙනු ඇතැයි ඔහු සිතුවා. ඔහුගේ අවංක ආදරය වූ මනීෂා ඔහුව රවටා වෙනත් තරුණයෙතු සමග විවාහ වූ දින පටන් ඔහු තරුණියන්ට වෛර කළ අතර ඔවුන්ව සෙල්ලම් බඩු මෙන් සළකා ඇසුරු කරන්නට පටන් ගත්තා.
“තාරුකී...ඇත්තටම ගොඩක් වෙනස්...” ඔහු තමන්ටම මුමුණාගත්තා. වාහනය පාරට ගත් ඔහු නිවස බලා පිටත්වුනා. දවස් ගාණකින් මව සහ පියා නොදැක සිටි ඔහු නිවසට යන විට ඔවුන් දෙදෙනාගේ දෙනෙත්වලට කඳුළු පිරුනා.
“මෙච්චර දවසක් කෝල් එකක්වත් නැතුව කොහෙද දරුවො උන්නේ...අපි ගිනි පත්තුවෙලා ඉන්නෙ ඔයා හින්දා...”
“මට සමාවෙන්න අම්මා...මම ආයෙ ඔය දෙන්නගෙ හිත රිද්දන්නෙ නෑ කියල පොරොන්දු වෙනවා...” ඔහු තම කාමරය වෙත ගොස් වටපිට බැලුවා. හිස් බෝතල් සිගරැට් කොට සහ බියර් ටින් තැන තැන විසර තිබුණු අතර ඇඳුම් සහ බඩු මුට්ටු අපිළිවෙලට දමා තිබුනා. ඔහු කාමරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර හොඳින් නාගත්තා. ඉන්පසු තමන් ළඟ වූ මනීෂාගේ පරණ මතකයන් සියල්ලම ඉවත් කර දුරකථනයේ වූ ඔහු ඇසුරු කළ කාන්තාවන්ගේ අංකද මකා දැමුවා. දවල් ආහාරය ගෙන නින්දට පිවිසි මහීෂ හවස අවදි වී සුදු ඇඳුමකින් සැරසී පිටතට ආවා.
“අම්මා...තාත්තත් එක්ක ලෑස්ති වෙන්න පන්සල් යන්න...” මව තම පුතුගේ වෙනස දෙස පුදුමයෙන් බලා සිටි අතර මහීෂ ඇය අසලට පැමිණ හිස සිපගත්තා.
“මං අද ඉඳන් මේ හැම දෙයක්ම අතෑරල හොඳ පුතෙක් වෙනව කියල පොරොන්දු වෙනව අම්මා...අම්මගෙ ඉස්සර පු.තා ආයෙමත් ආව කියල හිතන්න...”
“අනේ රත්තරනේ...මට ඊට වඩා සතුටක් නෑ...මේ ජීවිතේ මේ දවස වෙනකම් මම කොයි තරම් ඇඩුවද...” මවගේ කඳුලු පිස දැමූ ඔහු ඇයව තදින් තුරුලු කරගත්තා. පන්සල වෙත් ගොස් පැමිණි මහීෂට කිව නොහැකි තරම් සැනසිල්ලක් හිතට දැනෙමින් තිබුනා. ඔහු දුරකථනයේ වූ තාරුකීගේ අංකය දෙස බලා සිටියා. මේ මොහොතේ ඇමතුමක් ගතහොත් ඇය පිළිතුරු නොදෙන බව පැහැදිලිව දැන සිටි ඔහු එය පසෙකින් තබා ඇගේ මුහුණ සිතින් මවාගත්තා.
“තාරුකී...මගෙ ජීවිතේට පන දෙන්න පුළුවන් ඔයාට විතරයි කෙල්ලේ...මට සමාවෙන්න...මම දැන් ඔයාගෙ ආදරේ වෙනුවෙන් බලන් ඉන්නවා...” ඔහු නින්දට යන විටද ඇයගේ මතකය හිත පුරාම සැරිසරමින් තිබුනා.
***********************************************************************
“තාරුකී...ඔයාව හම්බවෙන්න අමුත්තෙක් ඇවිත් ඉන්නවා...” ආයතන ප්‍රධානියා පැමිණ පවසන විට තාරුකී වාර්තාවක් සකසමින් සිටියා. එය හදිසි එකක් වුනු බැවින් එම පණිවිඩය ඇයට වදයක් මෙන් දැනුනා.
“සර්...මම හදිසි රිපෝට් එකක් හදනවා...කවුද ඇවිත් ඉන්නේ...”
“මම කියනවට වැඩිය හොඳයි ඔයාම ගිහින් බලන එක...ඒක ඔයාට සප්රතයිස් එකක් වෙයි...” ඇය කුතුහලයෙන් යුතුව ප්‍රධානියා දෙස බැලූ අතර නැගී සිට අමුත්තන් සඳහා වෙන්වූ ලොබිය වෙත පියමැන්නා. එහි වූ පුද්ගලයා දුටු තාරුකීට පුදුමයක් මෙන්ම තරහක්ද ඇතිවුනා.
“මේ මිනිහ එහෙනම් ගේම අතෑරල නෑ වගේ...මාව බිලී බාගෙනම තමයි නවතින්න හදන්නේ...මිස්ට මහීෂ ඔයා තවම දන්නෙ නෑ මේ තාරුකී කියන්නෙ කවුද කියලා...මම හොඳට හොඳයි වගේම නරකට ඊටත් වඩා නරකයි...” ඇය ඔහු අසලට පැමිණි පසු මහීෂ නැගිට ඇයට සිනාවක් පෑවා. ඇය ඔහු දෙස අමනාපයෙන් බලමින් ඉදිරියෙන් වාඩි වුනා.
“මිස්ට මහීෂ...මම මේ වෙලාවෙ ගොඩක් බිසී...ඔයා ආව කාරණය කියල ඉක්මනට යනවනම් හොඳයි...”
“තාරු...” කෙතරම් කෝපයෙන් සිටියද ඔහුගේ මෘදු හඩ ඇගේ සිත සසල කිරීමට සමත් වුනා. ඇය ඒ බවක් නොපෙන්වා දැඩි බැල්මෙන් ඔහු දෙස බලා සිටියා.
“මේ අහන්න තාරු...මම ආවෙ ඔයාගෙන් සමාව ගන්න...ඒ වගේම ස්තූති කරන්න...”
“ඒ මොනවටද...”
“ඔයා නිසා මම ජීවිතය තේරුම් ගත්ත තාරුකී...මේ තරම් දවසක් මම ගෙවල තියෙන්නෙ තිරිසන් ජීවිතයක් කියල මට හොඳටම තේරුනා...මම අම්ම තාත්තව උනත් අමතක කරල මගෙ සල්ලාල බේබදු ජීවිතේ ලොකු කරන් තමයි ජීවත් වුනේ...ඒත් ඔයාගෙ වචන නිසා මම මාවම වෙනස් කරගත්තා...දැන් මට දැනෙනව ජීවත් වෙනව වගේ...” ඇය ඔහු පවසන දේ පුදුමයෙන් යුතුව අසා සිටියා. ඔහු පවසන්නේ සැබෑවක් විය හැකිදැයි ඇය කල්පනා කලා.
“ඔයා කියන විදියට ඇත්තටම හැදිලනම් මම ඒ ගැන සතුටු වෙනවා...ආයෙත් පරණ දේවල් වලට පුරුදු නොවී ඔය විදියටම ඉන්න...ඕල්ද බෙස්ට්...” ඇය යන්නට සැරසෙන විට මහීෂ ඇගේ ඇගිල්ලකින් අල්ලාගත්තා.
“තාරු...මට මේ දේත් කියන්න ඕනේ...මම ඔයාට ගොඩක් ආදරේ කරනවා...මාත් එක්ක ජීවිත කාලෙටම ඉන්න කැමතියිද ඔයා...” ඔහු විමසන විට තාරුකී ඇගිල්ල ඉවතට ඇදගත්තා.
“ඔයා ආයෙමත් ඇවිත් තියෙන්නෙ වෙන විදියකින් මාව අල්ලගන්න නේද...මිස්ට මහීෂ ඔයානම් කවදාවත්ම හැදෙන කෙනෙක් නෙමෙයි...ඔයා එක්ක කතා කරල මගෙ කාලය අපරාදෙ නාස්ති වෙනව විතරයි...” ඇය ඔහු දෙස රවා බලා පිටව ගිය අතර මහීෂගේ දෙනෙතට කඳළු නැගුනා.
“මං දන්නව රත්තරං...ඔයා දැන් මාව විශ්වාස කරන එකක් නෑ...ඒත් මං ඔයාට මගෙ පනටත් වඩා ආදරෙයි...මට ඔයා නැතුව ඉන්න බෑ කෙල්ලේ...” ඔහු කඳුළු පිරි දෙනෙතින්ම කාර්යාලයෙන් පිටව වාහනයට ගොඩවුනා. හිතේ වූ කැළඹිල්ල සමගින් වාහනය රැගෙන ගිය මහීෂට එක්වරම පාර මාරුවන පුද්ගලයෙකු ඇස ගැටුනා. ඔහු වැරදි ස්ථානයකින් පාර මාරු වුනද මහීෂට ඔහුව බේරා ගැනීමට වාහනය පාරෙන් ඉවතට ගැනීමට සිදුවුනා. එක්වරම ඉවතට හැරවූ වාහනය මහා ශබ්දයක් සමග ගසක හැපී නතරවුනා.
**********************************************************************
“තාරුකී...නිව්ස් ඇහුවද...දන්නවද මොකද වෙලා තියෙන්නෙ කියලා...”
“ඇයි නදී...සුනාමියක්වත් එනවද...” තාරුකී තමන් සිටි කාර්යේ නිරතවන අතරම විමසුවා.
“සුනාමියක් වගේ තමයි...අද උඹව මීට් වෙන්න ආව ෆේමස් සින්ගර් මහීෂ ඇක්සිඩන්ට් වෙලා...ගොඩක් අමාරුයිලු...” නදීගේ වචන සවනට ඇසෙත්ම තාරුකී එක්වරම අසුනෙන් නැගිට නදීගේ දෙවුරින් අල්ලාගත්තා.
“උඹ ඔය කියන්නෙ ඇත්තමද නදී...එයාට ගොඩක් අමාරුයිද...”
“මට පේන විදියටනම් දෙන්නගෙ මොකක්ම හරි අවුලක් වගේ...හොඳම යාළුව වෙලත් උඹ මටවත් කිව්වෙ නෑනේ...”
“ඒව ගැන පස්සෙ කියන්නම්...මට දැන්මම යන්න ඕනේ හොස්පිට්ල් එකට...” තාරුකී නදී සමග රෝහල වෙත යන විට මහීෂව සැත්කමක් සඳහා ශල්‍යාගාරයට රැගෙන තිබුනා. ඇය ඒ අසලට වී කඳුළු සලමින් සිටින අතර ඇය අසලට පැමිණි පියා ඇගේ අතින් අල්ලාගත්තා.
“තාත්තා...ඔයා කොහොමද මේ වෙලාවෙ මෙතන...”
“මාව බේරගන්න ගිහින් තමයි ඒ පුතා ඇක්සිඩන්ට් වුනේ...මගෙ වැරැද්ද...හරියට පාර බලන්නෙ නැතුව මමයි වැරදි තැනින් පාර පැන්නේ...” ඔහු පවසන විට තාරුකීගේ ඇඩුම වැඩිවෙන්නට වුනා.
“අඩන්න එපා කෙල්ලේ...එයාට මොනවත්ම වෙන්නෙ නැති වෙයි...රිලැක්ස් වෙන්න...”
“දූ ඔයා මේ අඩන්නෙ මහීෂ පුතා නිසාද...ඒ කියන්නෙ ඔය දෙන්නා...” පියා විමසන විට ඇය කිසිවක් නොපවසාම පියාගේ පපුවට තුරුළුව ඉකිබින්දා.
“නාඩ ඉන්නකො මැණික...ඒ දරුව තෙරුවන් සරනින් සනීප වෙයි...” ඔවුන් සෑහෙන වෙලාවක් ඒ අසලට වී සිටි අතර ඔහුගේ දෙමවිපියන් සහ නෑදෑ හිත මිතුරන් මෙන්ම මාධ්‍ය ආයතනවලින්ද රෝහල වෙත පැමිණියා. ශල්‍යාගාරයේ දොර විවර වූ පසු සියළුම දෙනොගේ දෙනෙත් නොසනුසුන්ව තිබුනා. තාරුකී පපුවට අත තබාගෙන හද ගැස්ම පාළනය කරගන්න වෙහෙසුනා.
“කවුද මෙතන තාරු කියන්නේ...” වෛද්‍යවරයා පවසන විට තාරුකී ඔහු අසලට ගිය අතර අනෙක් පිරිස ඇය දෙස කුතුහලයෙන් බලා සිටියා.
“මහීෂට දැන් සිහිය ආවා...ඔයාගෙ නම තමයි කියවන්නේ...ඔය දරුව ඇතුලට ගිහින් බලන්න...” තාරුකී සෙමින් අඩි තබමින් ඔහු වෙත යන විට ඔහුගේ ඔළුවේ සහ අත් පාවල බැන්ඩේජ් දමා තිබුනා. ඔහු සිටි ආකාරය දුටු ඇයට හැඩුම පාළනය කරගත නොහැකි වුනා. ඇය ඔහුගේ අතින් අල්ලාගෙන කඳුළු සලන දෙස බලා සිටි මහීෂ ඇගේ අත තදින් අල්ලාගත්තා.
“අඩන්න එපා වස්තුවේ...මට මේ දේ වුනේ හොඳකට කියලයි මටනම් හිතෙන්නේ...නැත්තම් ඔයා මට මේ තරම් ආදරෙයි කියල මම දැනගන්නෙ නෑනේ...කියන්න තාරු...ඔයා මට ආදරෙයි නේද...”
“ඔව් මහීෂ...ඔයාව දැකපු දවසෙ ඉඳල මම ඔයාට ආදරේ කරනවා...ඒත් ඔයාගෙ හැසිරීම නිසා මට ඔයාව එපා වෙලයි උන්නේ...ඒ වුනාට ආදරේ හැමදාම හිතේ තිබුනා...මමත් ඔයාට ආදරෙයි මහත්තයෝ...” ඇය ඔහුගේ නළල සිපගනිමින් පැවසුවා.
***********************************************************************
ලංකාවේ ඉහළ පෙලේ හෝටලයක පැවැත්වුණු මහීෂගේ සහ තාරුකීගේ විවාහ උත්සවයට රටෙහි ජනප්‍රිය පුද්ගලයන් රැසක් සහභාගි වුනා. තාරුකීගේ දෙනෙත්වල පිරුණු ආදරය විඳිමින් ඇයගේ දෙනෙත් වලට එබීගෙන සිටි මහීෂ ඇයගේ අතින් අල්ලාගත්තා.
“මගෙ චණ්ඩි ආඩම්බර කෙල්ල...මම බයේ උන්නෙ මේ අත මට කවදාවත්ම හම්බවෙන එකක් නෑ කියලා...ඔයා තරුවක්ම තමයි තාරුකී...මගෙ ජීවිතේට පායපු පහන් තරුව...”
“මටත් ගොඩක් සතුටුයි මහීෂ...ඔයාගෙ ආදරේ මගෙම කරගන්න පුළුවන් වුනු එකට...පරන දේවල් හැම දෙයක්ම පැත්තකට විසි කරල අපි අළුතින්ම ජීවිතේ පටන් ගමු...ඒ ජීවිතේදි ඔයාව ගොඩක් සතුටින් තියනව කියල මම පොරොන්දු වෙනවා...” මහීෂ ඇගේ මුහුණ දෙස දැඩි සෙනෙහසින් බලා සිටියා. නිවේදකයාගේ හඩින් හිස ඔසවා බැලූ ඔහු ගීතයක් ගායනා කිරීමට කල ආරාධනය පිළිගෙන තාරුකීගේ අතින් අල්ලාගෙනම වේදිකාව වෙත ගියා.
“අද මගෙ ජීවිතේ දෙවෙනි උපත කියල කියන්න මම කැමතියි...මම උන්න විදිය මෙතන ඉන්න කාටවත් රහසක් නෙමෙයි කියල මම දන්නවා...මාව ඒ ජීවිතෙන් මුදවගත්ත මගේ පහන් තරුව වෙනුවෙන් තමයි මේ ගීතය...” ඔහු තාරුකීගේ උරහිස වටා අත යවා තුරුළු කරගෙන ගීතය ආරම්භ කලා.
“අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පන ගැනුනේ
රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පන ගැනුනේ
ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් බවයේ
මහිම ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පන ගැනුනේ”
ගීතය අවසන් කර ඇගේ නෙත් දෙස බැලූ මහීෂ එහි කිසිදිනක නිමානොවන ආදරය දිදුලමින් ඇති අයුරු දුටුවා.
- හිමාලි -
උපුටා ගැනීමකි
No comments:
Post a Comment