🌹💕අහසෙ දෙවියො නෑ 🌷💕
ඔව්.මට හොදට මතකයි.එදා මං බැහැගෙන යන ඉර දිහා පැයක් විතර බලාගෙන හිටියා.මුහුදෙ රළ ගහන සද්දෙ කවියෙක්ට විරිතක් උනාට මට නම් ඒක මට නිදහසේ හිතන්න ඉඩ නොදීපු තවත් එක ඝෝශාවක් විතරයි.උඩින් පියාඹලා යන කුරුල්ලොන්ට කෑගහන්නැතුව යන්න බැරි ඇයි කියලා මං මගෙන්ම ඇහුවා.
කුරුල්ලොන්ගෙ සද්දෙ දාර්ශනිකයෙක්ගේ හිත සැනසුවාට උන්ගෙ සද්දෙට වඩා ප්‍රයිවට් බස් එකක හෝන් සද්දෙ කොයි තරම් මිහිරියිද කියලා මට හිතුනා.මේ වගේ විකාර අදහස් මගේ ඔලුවට ආවෙ ඒ වෙලාවෙ මම කල්පනා කරමින් හිටියෙ මේ ලෝකෙ විකාරම දේ ගැන හින්දා.ඒ තමා ජීවිතය.
දුක කියලා වචනයක් මේ ලෝකෙ තියනකොට ජීවිතය කියලා වචනයක් ආයෙත් එකතු කරේ අහවල් දේකටද කියලා මට හිතෙනවා.සමහර විට මගෙ ජීවිතය දුකක් වුනාට අනිත් අයගෙ ජීවිත එහෙම නැතුව ඇති කියලා මම හිත හදාගන්නවා.ඔහොම හිතනකොට මටත් නොදැනිම මගේ හිත ජීවිතේ වැඩි පුරම දුක් වුන දවසට ඇදිලා යනවා.
උසස් පෙළට යාලුවො හැමෝම කරනවා වගේ මමත් කරේ මැත්ස්.කැම්පස් යන… ඉංජිනේරුවෙක් වෙන… හීනයක් අවුරුදු දෙකක් පුරාවට දැකලා හීනෙන් අවදිවුනේ විභාගය ලියපු දවසෙයි.එදා නම් හිතුනේ සමත් වීමට වඩා වැදගත් ඉදිරිපත් වීමයි කියලා.A/L results ආව දවසෙ ඉන්ටනෙට් එකෙන් රිසල්ට් බලනවා ලාවට වගේ මතකයි.
රිසල්ට් එක බලලා වටේ හිටපු කාගෙ වත් මූන බලන්න තරම් ධෛර්යක් තිබ්බෙ නැති හින්දා ජනේලෙන් එලියෙ ඈතින් පෙනුන අහස දිහා බැලුවා.එතකොට මට හිතුනා ඒ අහසෙ දෙවියෙක් කියලා කෙනෙක් නෑ කියලා.එතකොටම ෆෝන් එකට කෝල් එකක් ආවා.ඒ මාත් එක්ක අවුරුදු දෙකේදිම පිස්සු නටපු මගේ හොදම යාලුවගෙන්.ඌ කියනවා අද රෑ පාටියට එන්නලු.ඌ A තුනක් අරන් පාස්වෙලාලු.ෆෝන් එක කට් උන ගමන් මම ආයෙත් අහස දිහා බැලුවා.ඔව්.මට ඒක ප්‍රත්‍යක්ශ වුනා.අහසෙ දෙවියෙක් තියා දෙවියෙක්ගෙ බල්ලෙක්වත් නෑ.
රිසල්ට්ස් ඇවිත් මාස හයකට පස්සෙ අනාගතයක් තියා ඒකෙ හෙවනැල්ලක් වත් පේන්න තිබුනෙ නැති හින්දා තමයි මං එදා ඒ බැහැගෙන යන ඉර දිහා බලාගෙන හිටියෙ.උඩින්ම පාස් වුන එවුන්ට නෑදෑකම් කියන්න ගොඩක් අය හිටියත් අනෙක් උන්ට හිටපු නෑයොත් නැති වෙලා අවජාතක වුනේ බලාගෙන ඉද්දිමයි.කෑ ගහලා අඩන්න තරම් ආත්මානුකම්පාවක් ඇති උනත් මම ආයෙත් ඉර තිබුන දිහා බැලුවා.ෆේල් වුන එකෙක්ට ඉරවත් පායන්නෙ නෑ කියන්න වගේ ඉරත් ශේප් එකේ අහසින් මාරු වුනා.ඉර බැස්සට කමක් නෑ.
මට කවදාහරි හද පායයිනෙ කියලා හිතලා මම ආපහු හැරිලා අහස දිහා බැලුවම හදේ පලුවක් වත් නෑ.ඒ අමාවක දවසක්.තරුවක් විතරක් මට ඔච්චමට වගේ දිලිසි දිලිසි තිබුනා.මං ආපහු මුහුද දිහා බලන්න හැරෙද්දි අතේ මොකක් හරි වැදුනා.බලද්දි නිකම්ම නිකන් ගිනිපෙට්ටියක්.ඇයි කියන්න මම තාමත් දන්නෙ නෑ.නිකමට වගේ මම ඒක ඇරලා බැලුවා.ඒකෙ තිබුනේ එකම එක ගිනිකූරයි.ඒකත් ඔලුව ලගින් දෙකට කැඩිලා.මං ඒක අතට අරගෙන ටිකක් වෙලා බලාගෙන හිටියා.ඒකත් මං වගේමයි.තනිවෙලා.අනාගතයක් නෑ.
කිසිම කෙනෙකුට වැඩක් නැති දෙයක්.මං ඒක පැත්තකට විසික් කලා.හැබැයි ඒක වැටුනේ ටිකක් අමුතු තැනකට.ඒක වැටිලා තිබුනේ තවත් ගිනිකූරු හතරක් ලගට.ඒ ගිනිකූරු හැම එකක්ම කැඩිච්ච නැති කෙලින් ගිනිකූරු.හැබැයි ඒ හැම එකම පිච්චිලා තිබුනා.දෙකට කැඩුන ගිනිකූර විතරක් පිච්චිලා තිබුනේ නෑ.මං අර ගිනිපෙට්ටියට ඒ සේරම ගිනිකූරු ටික දාගත්තා කියලා මට මතකයි.
යාන්තමට ඇහුන හෝන් සද්දෙ එදා හැන්දෑව ගැන තිබුන මගේ සිතුවිලි දාමය බිදලා දැම්මා.ඇක්සිඩන්ට් එකක් වෙලාද කියලා මම ඩ්‍රයිවර්ගෙන් ඇහුවා.”නෑ සර්.කැම්පස් කොල්ලො වගයක් උද්ඝෝෂණයක් කරන නිසා ට්‍රැෆික් එක කියලා” එයා..කියනවා.කැම්පස් කියපු ගමන්ම මට මතක් වුනේ ඉස්කෝලෙ හිටපු හොදම යාලුවාව.මිනිහත් A 3ක් අරන් කැම්පස් ඇවිත් මෙහෙම කට්ටක් කන්න ඇති නේද කියලා මට හිතෙනවා.
මිනිහා දැන් ලංකාවෙ ප්‍රථම ජංගම දුරකථන සමාගමේ විධායක ඉංජිනේරුවරයෙක්.හැබැයි ඉතින් මම තමයි ඒකෙ අයිතිකාරයා.මිනිහා file එකත් අරන් මගේ office එකට ආපු හැටි.මිනිහගෙ බොස් මමයි කියලා දැනගත්තු වෙලේ ඇස් ලොකු වුන හැටි මට තාම මතකයි.ඒ වෙලාවෙ මගේ මූන දිහා බලන්න බැරුව මිනිහා මට පිටිපස්සෙන් තිබුන ජනේලෙන් ඈත පේන අහස දිහා බැලුවා.ඊට පස්සෙ මොනාද හිමීට මිමිනුවා.ඒ වෙලාවෙ මට මතක් වුනේ ඒලෙවල් රිසල්ට්ස් ආපු දවස.මං මොකුත්ම කියන්නෙ නැතුව මගෙ මේසෙ උඩ තිබුන decoration කරපු glass block එක ඇතුලේ පේලියට හයි කරලා තිබුන ගිනිකූරු දිහා බැලුවා.
පිච්චුන ගිනිකූරු මැදින් අහසෙ දෙවියො හොයන යාලුවගෙ මූන මට පෙනුනා.අහසෙ දෙවියො නෑ යාලුවා.දෙවියො ඉන්නෙ අපි ගාවමයි කියලා කියන්න මට හිතුනත් මම එහෙම කිව්වෙ නෑ.තාමත් පිච්චිලා නැති කැඩිච්ච ගිනිකූර දිහා බලපු යාලුවා පරාජිත හිනාවක් එක්ක වැඩ භාරගන්න යනවා මට බොඳ වෙලා පෙනුනා.
~~~~~නිමි~~~~
dilan wimukthi athauda
උපුටා ගැනීමකි
meloooo rahak naaa e kathaawanam kisima therumakata naa
ReplyDeleteDescribe karala nam madi yalu.but eken ganna dewal godak thynawa
ReplyDelete