පටාචාරාවයි ඈ
කෙටි කථාව
“මා විසින් මෙතැන් පටන් චේතිය එදිරිමාන්න මාගේ ස්වාමිපුරුෂයා ලෙස භාරගන්නා බව දිවුරා පොරොන්දු වෙමි...” දෙව්මි චේතිය දෙස බලා සොඳුරු සිනහවකින් මුව සරසාගෙන පවසන විට ඔහු ඇගේ අතින් අල්ලාගත්තා. විවාහයට අත්සන් කිරීම සඳහා පැමිණි ඔවුන් දෙදෙනාගේ මිතුරන්ගේ සුබ පැතුම් මැද දෙව්මි දෙනෙතේ වූ කඳුළු පිසගත්තා.
“ඔයා මනමාලියක් වෙන්න උන්නෙ මේ විදියට නෙමෙයි නේද සුදු නෝනා...මට සමාවෙන්න...” චේතියගේ දෙනෙතෙහි වූ පසුතැවිල්ල දෙව්මිගේ සිත දුකින් බර කලා.
“අනේ චේතිය...සාරංග එක්ක ලොකු හොටෙල් එකක උත්සවයක් අරන් ගන්න වෙඩින් එකකට වඩා ඔයා එක්ක හතර දෙනෙක් විතරක් ඉස්සරහ අත්සන් කරල ඔයාගෙම වුනු එක මට ගොඩක් වටිනවා...අද ඉඳන් මම සදහටම ඔයාගේම විතරයි...කාටවත් බෑ ආයෙ කවදාවත්ම අපිට කරදර කරන්න...”
“අපි එහෙනම් යනව මචී...උඹල දෙන්න පරිස්සමින් ගෙදර යමල්ලා...තව දවස් දෙක තුනක් යනකම් අපි කරදර කරන්න එන්නෙ නෑ....”
“දෙවව්මි අපි යනව කෙල්ලේ...ඔය දෙන්නගෙ අළුත් ජීවිතේ සාර්ථක වෙලා හැමදාම සතුටින් ඉන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා...” චේතියගේ සහ පහන්දිගේ මිතුරන් නික්ම ගිය පසු චේතිය ඇයව අතින් අල්ලාගෙන ත්‍රී රෝද රථයට නැගුනා.
“මනමාලිව පිටිපස්සෙන් තියන් මනමාලය ත්‍රී එකෙන් කැන්දන් යන පලවෙනි වතාව වෙන්න ඇති මේ...” ඔහු දෙව්මි දෙස බලා පවසන විට ඇය සොඳුරු මදහසක් නැගුවා.
ව්යාමපාරික පවුලක එකම දියණිය වූ දෙව්මි පියා නොමැති දවසක ඇයව උපකාරක පන්තියට ඇරලවීමට පැමිණි චේතිය හා ඇති කරගත් මිතුරුකම ආදරයක් දක්වාම දුර දිග ගිය අතර මේ බව දැනගත් පියා සහ මව ඇයට මෙන්ම චේතියටද දොස් පැවරුවා.
“චේතිය...මම තමුසෙව විශ්වාස කරලයි දූව එක්කගෙන යන්න පැවරුවේ...කන්න දුන්න අත හපා කන එකෙක් කියලනම් මම කවදාවත්ම හිතුවෙ නෑ...” දෙව්මිගේ පියා ඔහුට දොස් පවරන විට චේතිය බිම බලාගෙන සිටියා විනා කිසිවක්ම පැවසුවේ නැහැ.
“තාත්ති...එයාට බනින්න එපා...චේතිය මගෙ බලකිරීමටයි මාත් එක්ක යාළු වුනේ...අම්මිටයි තාත්තිටයි විරුද්ධ වෙන්න බෑ කියල එයා මාව රිජෙක්ට් කලා...ඒත් මම එයා නැතිවුනොත් මැරෙනව කිව්ව නිසයි මට ආදරේ කරන්න ගත්තේ...”
“දූ...ඔයා කටවහන් ඉන්න...ගෑනු ළමයෙක්ගෙ බොළඳකම ප්‍ර
යෝජනයට අරන් අපේ ගෙදරට රිංගන්න හැදුවනම් ඒ හීන කවදාවත්ම ඉෂ්ඨ වෙන්නෙ නෑ කියල හිතාගන්නවා...දුප්පත් එවුන්ගෙ තියෙන කපටිකම් මම හොඳට දන්නවා...අම්ම තාත්ත හරියට හදල නෑ තමුන්ව...”
“සර් මට ඕනෙම දෙයක් කියල බනින්න...ඒත් මගෙ අහිංසක අම්මවයි තාත්තවයි ගාවන්න එපා...ඒ දෙන්න මේ ගැන මොනවත්ම දන්නෙ නෑ...”
“මට තමුසෙ එක්ක තර්ක කරන්න ඕනකමක් නෑ...මීට පස්සෙ දූ දිහා නිකම්වත් බලල තිබුනොත් මම නරක මිනිහ කියන්න එපා...පවුල් පිටින්ම නැති කරල දානවා...”
“සර් මම ඔය තර්ජන වලට බය කොල්ලෙක් නෙමෙයි...ඒත් දෙව්මි කියන්නෙ ඔයාලගෙ එකම දුව...මට ඔය දෙන්නගෙන් එයාව වෙන් කරල පව් කාරයෙක් වෙන්න බෑ...දෙව්මි මම යනව කෙල්ලේ...ආයෙ කවදාවත්ම මා ගැන හිතන්න එපා...ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා...මං නිසා ඒක කාළකන්නි කරගන්න එපා...”
“චේතිය...මොනවද ඔයා මේ කියවන්නේ...මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ...අනේ මාව දාල යන්න එපා රත්තරං...” ඇය ඔහුගේ අතේ එල්ලීගෙන හඩන විට ඔහුගේ සිතට දරන්නට බැරි තරම් වේදනාවක් දැනුනා.
“අඩන්න එපා වස්තුවේ...ඔයා දැන් දුක් වුනත් ඉස්සරහට සතුටින් ඉඳියි...ඒත් මාත් එක්ක ආවොත් මුළු ජීවිත කාලෙම දුක් විඳින්න වෙයි...මට මේ වගේ සැප සම්පත් දෙන්න බෑ පැටියෝ...”
“ඔයා ඉන්න ඕනෙම තැනක මම සතුටින් ඉන්නව චේතිය...මාවත් එක්කගෙන යන්න...” ඔහු දෑතින්ම ඔහුව වැළඳගන්නා විට පියා පැමිණ ඇයව ඔහුගෙන් මුදවාගෙන ගේ තුලට රැගෙන ගියා.
“අනේ තාත්ති...මට මගෙ චේතියව දෙන්න තාත්ති...එයා නැතුව මට හුස්ම ගන්නවත් බෑ තාත්ති...” ඇය ඔහු වෙත දෑත් දිගු කරමින් හඩා වැටෙන අයුරු තව දුරටත් බලා සිටිය නොහැකි වූ චේතිය ත්‍රී රෝද රථය වෙත පැමිණ එයට ගොඩවුනා.
“මට සමාවෙන්න මගෙ සුදු නෝනා...ඔයා වෙනුවෙන් මම මේ දුක කොහොමහරි උහුලගන්නව රත්තරං...ඔයා කුමාරිකාවක්...මං වගේ හිඟන්නෙක් එක්ක ඇවිත් දුක් විඳින්න ඕනෙ කෙල්ලෙක් නෙමෙයි...” ඔහු කඳුළු පිරි දෙනෙතින්ම වාහනය පන ගන්වා පිටත්ව යන දෙස බැල්කනිය වෙත දිව ආ දෙව්මි බලා සිටියා. ඇයට අවට කැරකැවෙන්නාක් මෙන් දැනුනු අතර මව පිටුපසින් පැමිණ ඇයව වත්තම් කරගත්තා.
***********************************************************************
“චේතිය...මට දෙව්මිගෙ හොඳම යාළුව පවනිව හම්බවුනා...මාර කේස් එකක්නේ...”
“ඒ මොකක්ද චේතිය...මගෙ දෙව්මි හොඳින් ඉන්නව නේද...”
“මගෙ දෙව්මි...උඹම නේද ඒ අහිංසක කෙල්ල වැළහින්නක් වගේ විලාප තියද්දි කිසිම මනුස්සකමක් නැතුව දාල ආවේ...”
“ප්ලීස් අංජන...උඹවත් මාව තේරුම් ගනිං...මම ඒ හැමදෙයක්ම කලේ මගෙ කෙල්ලට තියෙන අසීමිත ආදරේ හින්දා...සැපට හැදුනු දෙව්මිට මාත් එක්ක ඇවිත් එක රැයක්වත් ඉන්න බැරිවෙයි...”
“දෙව්මි උඹට ආදරේ කලේ ඒ හැම දෙයක්ම දැනගෙන නේද...එහෙම දුක් වින්ද නිසාම දාල යනවනම් එතන අවංක ආදරයක් නෑ බං...ඇත්තටම ආදරේ එකියක්නම් උඹ වෙනුවෙන් ඕනෙම දුකක් විඳගෙන ඉඳියි...”
“දැන් කියපං බලන්න උඹ කියන්න ආව දේ...”
“දෙව්මිව බලෙන්ම බන්දන්න හදනවලු බං...සාරංග කියල බිස්නස්කාරයෙක්ට...මම දන්න විදියට මිනිහ හොඳ බේබද්දෙක් වගේම සල්ලාලයෙක්...ඌට දෙව්මි වගේ කෙල්ලක් ඕනෙ නෑ බං...අනිවා සල්ලි නිසා බඳිනව ඇත්තේ...”
“දෙවියනේ...අපි දැන් මොකද කරන්නෙ අංජන...”
“උඹ තීරණයක් ගනිං...කෙල්ලව එක්කගෙන එනවනම් අපි සපෝට් එක දෙන්නම්...සල්ලි කොයිතරම් තිබුනත් හිතේ සතුටක් නැත්තම් ඒ කිසිම දේකින් වැඩක් නෑ...”
“දෙව්මිගෙ ෆෝන් එක වැඩ නෑ මචං...මම හිතන්නෙ ගෙදරින් ඒක අරන් වගේ...”
“ඒ කියන්නෙ උඹ කෙල්ලට අරන් තියෙනව නේද...මේ මල්ලි උගුරට හොරා බේත් බොන්නෙ නැතුව හිත කියන විදියට වැඩ කරපං...අපි ජීවත් වෙන ටික කාලෙ අනිත් අයට ඕන විදියට නෙමෙයි අපේ හිතට සතුටක් දැනෙන විදියටයි ජීවත් වෙන්න ඕනි...”
“හරි...එහෙනම් අපි දෙව්මිව අරන් එමු...එයාව එක සැරයක් මට මුණ ගස්සන්න කියපං පවනිට...”
“ඒකිගෙ නම්බර් එක දීල ගියේ...උඹම කතා කරල කියපං...” අංජන පවනිගේ දුරකථන අංකය චේතියට දෙමින් පැවසුවා. ඔහු පවනිට ඇමතුමක් ගන්නා විට සිහින් ඉකිබිඳුමක් අසෙන්නට වුනා.
“හෙලෝ...පවනි මම චේතිය...ඔයා කොහෙද ඉන්නේ...කවුද ඔතන අඩනව ඇහෙන්නේ...මොකද වුනේ...”
“ඔයාම අහගන්නකො චේතිය...ඇය දුරකථනය කිසිවෙක් අතට දුන් අතර එම යුවතිය ඉකිබිඳිමින් සිටියා...”
“සුදු නෝනා...ඔයා අඩනවද රත්තරං...”
“අනේ මගෙ චේතිය...ඔයා ගිය දවසෙ ඉඳන් මම පිච්චනෙව මහත්තයෝ...ඇවිත් මාව මෙහෙන් අරන් යන්න...අම්මිල මාව සාරංග අයියට බන්දවන්න හදන්නේ...මට ඒ මිනිහගෙ මූන දකිද්දිත් අප්පිරියයි...ඔයා ආවෙ නැත්තම් ඔයාගෙ සුදු නෝන ජීවත් වෙන එකක් නෑ...මිනිය බලන්න ඇවිත් අඩන්නනම් එපා...”
“මොනවද මේ කියන්නෙ රත්තරනේ...ඔයා මැරෙනව බලන්නද මම ඔයාගෙන් වෙන් වෙලා මැරි මැරී ජීවත් වෙන්නේ...ඔයා මාත් එක්ක එන්න කැමතිනම් මම ඔයාව එක්කගෙන යන්න එන්නම්...”
“ඔයාගෙ කකුල් දෙක ළඟ වැටිල මැරුනත් දැන් මට සැපයි චේතිය...හෙට අම්මයි තාත්තයි සාරංග අයියලාගෙ ගෙදර යනවා...ඔයා ඇවිත් මාව මේ හිරකූඩුවෙන් අරන් යන්න මහත්තයෝ...”
“මම එනව මැණික...දැන් නාඩා ඉන්නකෝ...දන්නවනෙ මට සුදු නෝනගෙ ඇස්වල කඳුළු බලන්න බෑ තියලා...පරිස්සමින් ඉන්න...බුදු සරණයි...” ඔහු දුරකථනය විසන්ධිකර අංජන දෙස බැලුවා.
“අංජන හෙට තවත් එකෙක්ව අරන් රෙජිසට්‍රාර් ඔෆිස් එකට වරෙන්...මම දෙව්මිව මැරි කරනවා...”
“අන්න එහෙම ඉඳින්...ආදරේ කලානම් කාටවත් බයවෙන්නෙ ඇයි...සල්ලිනම් හම්බකරගන්න පුලුවන්...ඒත් ඒ වගේ කෙල්ලක් ලේසියෙන් හම්බවෙන්නෙ නෑ...සල්ලි වෙනුවෙන් කොල්ලන්ව අතාරින එකියො ඉද්දි කොල්ල වෙනුවෙන් සල්ලි අතාරින කෙල්ලෙක්ගෙ ආදරේ හැමෝටම හම්බවෙන්නෙ නෑ...එහෙනම් හෙට හැමදෙයක්ම විසඳමු...උම කිසිදේකට බයවෙන්න එපා...අපේ කොල්ලො සෙට් එක ඉන්නව ඕන දේකට...සාරංගය මොනව හරි ගේමක් ගහන්න ආවොත් ඌව අඩි හතරක් යටට යවල තමයි නවතින්නේ...”
“මට මලමිනී උඩින් දෙව්මිව එක්කගෙන එන්න ඕනෙ නෑ අංජන...අපි කලබලයක් නැතුව මේ දේවල් හෙමින් කරමු...” චේතිය පවසන විට අංජන හිස වනා ඔහුගේ උරහිසින් අතක් තැබුවා.
***********************************************************************
පහන්දි චේතියත් සමග ඔහුගේ නිවස වෙත යන විට මව සහ පියා ඔවුන් දෙදෙනාව පිළිගැනීමට සූදානම් වී සිටි අතර චේතියගේ මව දෙව්මිව වැළඳගෙන සිපගත්තා.
“ඇස්වහක් නෑ...හඳක් පායල වගේ...එන්න දුව ඇතුලට...” ඇයගේ ආදරණීය පිළිගැනීම දෙව්මිගේ සිතට අස්වැසුමක් වුනා. ඇය කිරිබත් සාදා තිබුනු අතර දෙව්මිට සහ චේතියට කිරිබත් කැබැල්ලක් ගෙන කැව්වා.
“මගෙ පුතාගෙයි දුවගෙයි ජීවිතේ හැමදාම සතුටින්ම ගෙවෙන්න ඕනේ...අපේ දුප්පත් ගෙදර දුවට ඉන්න අමාරු ඇති...ඉඩ මදි ඇති...ඒත් අපිට පුළුවන් හොඳම විදියට දුවව බලාගන්නවා...”
“අනේ අම්මා...මට ඒ කිසි දෙයක් ඕනෙ නෑ...චේතියටයි මටයි හෙමින් අපේ දේවල් ගොඩනගාගන්න පුළුවන්...මට ඔයාලගෙ මේ ආදරේ සැප සම්පත් වලට වඩා දහස් ගුණයක් වටිනවා...” ඇය මවට සහ පියාට වැඳ චේතිය සමග කාමරය වෙත පිවිසුනා. කාමර දෙකකින් කුඩා ආලින්දයකින් සහ මුළුතැන්ගෙයකින් සමන්විත චේතියගේ නිවස කුඩා වුවත් පිළිවලට සකසා තිබුනා.ඇය කාමරය වෙත ගොස් වට පිට බැලුවා. එය පිළිවෙලට අස්කර තිබෙනු අතර චේතිය සිනාසෙමින් සිටින අයුරු ඇය කැඩපතින් දිස්වූ ඔහුගේ රුව දෙස බලන විට දුටුවා.
“මොකෝ මේ කපටි හිනාවක් දාන්නේ...” ඇය ඔහු වෙත හැරී උරහිස මතින් දෑත් තබා මුහුණට එබුනා.
“මේ කාමරේ මෙච්චර දවසක් තිබුනෙ පිස්සන් කොටුවක් වගේ...ඔයා එන නිසා අම්ම ඊයෙ ඉඳන් මට බැන බැන මුළු කාමරේම අස් කලා...නයි පොලොංගු ඇරුනම අනිත් හැම සතෙක්ම උන්න කියල අම්ම කිව්වා...ඒක මතක් වෙලා හිනාගියේ...”
“අනේ...පේනව නේද තියෙන කපටිකම...පව් අර අහිංසක අම්මට කියල අස්කරවගෙන...”
“මම කොච්චර අස්කලත් කාමරේ අස් කලා වගේ පේන්නෙ නෑ සුදු මැණික...ගෑනු අතකින් තරම් පිළිවෙලක් පිරිමි අතකින් වෙන්නෙ නෑ...”
“දැන් මම ඉන්නවනෙ මගෙ මහත්තයගෙ ජීවිතේ පිලිවෙලට හදල ගන්න...අපි ලස්සන අනාගතයක් හදාගමු රත්තරං...” ඇය ඔහුගේ ළය මතින් හිස තබාගනිමින් පැවසුවා. චේතිය ඇයව දැඩි සෙනෙහසකින් තුරුළු කරගෙන හිස සිපගත්තා.
රාත්රීක ආහාරයෙන් පසු දෙව්මිත් සමග කාමරය වෙත පැමිණි චේතිය ඇගේ අතින් අල්ලාගෙන ඇඳ මත වාඩි වුනා.
“සුදු මැනික...අද ඉඳන් ඔයා මගෙ බිරිඳ...මම ඔයාට පොරොන්දු වෙනව මට පුළුවන් හැම සතුටක්ම දීල ඔයාව හොඳට බලාගන්නව කියලා...”
“ඔයාගෙ ආදරේ කවදාවත් අඩුවක් නොකර මේ විදියට තියෙනවනම් මට ඒ ඇති සුදු මහත්තයා...මමත් පොරොන්දු වෙනවා ඔයා මේ ජීවිතේදි තියන හැම පියවරකදිම මම ඔයා ලඟටම වෙලා හයියක් වෙනව කියලා...” දෙව්මි ඔහුගේ උනුසුමේ දෙනෙත් පියාගෙන මුමුණන විට චේතිය ඇගේ නලලසිපගත්තා.
අපි දෙන්න ජීවිතේ හදාගන්නකම් දරුවෙක් ගැන හිතන්නෙ නැතුව ඉමු...මට ඕන ඔයාටයි බබාටයි දෙන්නටම සැප පහසුව ඉන්න පුළුවන් විදියෙ ජීවිතයක් හදල දීල ඊට පස්සෙ ඒ හීනෙ බලන්න.
“නෑ චේතිය...අපේ දරුවොත් අපි විඳින සැප මෙන්ම දුක් විඳල හැදෙන විදියට හදන්නයි මම කැමති...ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි මනුස්සකම් ආදරය පිරුණු ලස්සන බැදීම් වලින් හැඩවුනු දෙයක් කියල මම එයාලට කියල දෙන්න ඕනේ...අනිත් එක...” ඇය කියන්නට ගිය දෙය නවතා ඔහුගේ දෑස් දෙස බැලුවා.
“කියන්න මැණික...ඔයාගෙ හිතේ තියෙන ඕනෙම දෙයක් මාත් එක්ක කියන්න...මම ඔයාව තේරුම් ගන්නම්...”
“අපිට බබෙක් හම්බවුනාම අම්මියි තාත්තියි අපිට සමාව දෙයි චේතිය...”
“ඔයාට ඒ දෙන්නගෙන් වෙන් වෙලා ඉන්න වුණු එක ලොකු දුකක් කියල මම දන්නව පැටියෝ...දරුවෙක් නිසා හරි එයාල ආයෙත් ඔයාට ලං වෙනවනම් මම ගොඩක් සතුටුයි...මට ඕනෙ ඔයාගෙ හිනාව දකින්න විතරයි මැණික...ඔය ඇස්වලින් කිසිම දවසක මං නිසා කඳුලක් වැටෙන්න දෙන්නෙ නෑ රත්තරං...” ඔහු ඇයව තදින්ම තුරුළු කරගත් අතර ඔහුගේ දෙතොල්වල පහස මෙන්ම සුසුම්වල උනුසුම ඇගේ මුව පුරා දැනෙන විට ඇය ඔහුව දෑතින්ම වැළඳගත්තා.
***********************************************************************
සතුටින් සහ සැනසීමෙන් ගෙවුනු දෙව්මිගේ සහ චේතියගේ ජීවිතය මවට තදින් අසනීප වීම නිසා අනෙක් පසට හැරුනා. ව්‍යාපාරයක් සඳහා චේතිය ඉතිරිකරගනිම්නි සිටි මුදල් සියල්ලම මවගේ අසනීපය වෙනුවෙන් වැය කිරීමට සිදු වූ අතර දෙව්මිද ඒ වන විට ගැබ්ගෙන සිටියා.
“සුදු නෝනා...අපිට බිස්නස් එක පටන්ගන්න තව කාලයක් යයි...අම්මගෙ අසනීපෙ හොඳ කරගන්නකම් මට කිසි දෙයක් හිතන්න බෑ...එයාට ඉන්න එකම දරුව මම...”
“චේතිය...අම්ම තරම් වටින කෙනකේ කොහෙවත් නෑ...අපි දෙන්න එයාව සනීප කරගමු...අපිට ආයෙත් හෙමින් සල්ලි ටිකක් ඉතුරුකරගන්න පුළුවන් වෙයි...” දෙව්මි චේතියගේ හිස අතගාමින් පැවසුවා.
“ඔයා බිරිඳක් විතරක් නෙමෙයි පහන්දි අම්ම කෙනෙක් වගේ...මොන දුකක් ආවත් ඔයාගෙ වචනවලට ඒ හැම දෙයක්ම නැතිවෙලා හිතට සැනසීමක් දැනෙනවා...මං වගේ අසරන දුප්පත් කොල්ලෙකුට ඔයා වගේ මැණිකක් ලැබුනෙ මගෙ පෙර වාසනාවකට වෙන්න ඇති වස්තුවේ...මං අම්මව බලල එන්නම්...ඔයා පරිස්සමින් ඉන්න...” චේතිය මව බැලීම සඳහා රෝහලට ගිය පසු දෙව්මි නිවසේ වැඩවල නිරත වෙමින් සිටින අතර වාහනයක් පැමිණ මිදුලේ නතරකරන හඩ ඇසුනා. ඇය ඉදිරියට ගොස් බලන විට පැමිණි සිටි රුව දුටු ඇයගේ සිතට දරාගත නොහැකි සතුටක් දැනුනා.
“අම්මි...” ඇය මව වෙත දිව ගොස් ඇයව වැළඳගත්තා. මව ඇගේ හිස පිරිමදිමින් ඇයව තුරුළු කරගෙන සිටින අතර පියා වාහනයෙන් බිමට බැස්සා. ඇය ඔහු වෙත යන්නට සැරෙසන විට අත දිගු කර නැවැත්වූ ඔහු උපැස් යුවල අතට ගෙන ඇය දෙස තියුණු බැල්මක් හෙළුවා.
“මේ ජීවිතේ ගෙවන්නද දූ ඔයා අපිවයි අර සේරම සැප සම්පත් ඔක්කොමයි දාල ආවේ...මට ඔයාව පේන්නෙ මගෙ දුව නෙමෙයි ගෙදර වැඩට ඉන්න වැඩකාර කෙල්ලක් වගේ...”
“තාත්තී...මගෙ චේතිය දුප්පත් තමයි...ඒත් එයා මාව ගොඩක් සතුටින් තියනවා...මට ගොඩක් ආදරේ කරනවා...ඒ ඇති මට...තාත්තිල කිව්ව විදියට මම සාරංග අයියව බැන්දනම් අද වෙද්දි ජීවත් වෙන්නෙ මළකඳක් වගේ...ඒ සැප සම්පත් වලට මැදුරුවලට වඩා මේ දුප්පත් ගෙදර මට දිව්ය ලෝකයක් වගේ...”
“ඔයාගෙ මුරණ්ඩු ගතියනම් තවම ඇරිල නෑ නේද...ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල අපිට ආරංචි වුනාම වාවගන්න බැරුව ගියා...ඒ නිසයි බලන්න ආවේ...බබා ලැබෙනකම් අපිත් එක්ක ඉන්න...මේ ගෙදර දරුවෙක් හැදෙන්න තරම් තත්වයක් නෑ...”
“තාත්ති... දරුවගෙ තාත්ත පොඩි කාලෙ ඉඳන්ම හැදුනෙ මේ ගෙදරනවනම් ඇයි එයාට බැරි...මගෙ දරුවන්ගෙ තාත්ත දුප්පත් කියන එක මට ලැජ්ජාවක් නෙමේ...ඒ වගේ ආදරණීය සුවාමි පුරුෂයෙක්ගෙ බිරිඳක් වුනු එක දරුවෙක්ගෙ අම්ම වෙන එක මට ආඩම්බරයක්...”
“ඒත් ඒ අපේ මණුබුරා...එයාගෙ සීය කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙලත් දුප්පත් පැලක හැදෙනවනම් අපිට තියෙන තත්වය මොකක්ද...”
“ඔයාලගෙ විතරක් නෙමෙයි තාත්ති...අර අහිංසක දුප්පත් අම්මගෙයි තාත්තගෙයි මුණුබුරත් එයා තමයි...ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ තත්වය ගැනනම් ඔයාගෙ දුව මැරුන කියල හිතාගන්න...”
“දූ...මොනවද ඔය කියවන්නේ...තාත්ති ඔයාගෙ හොඳට නේද කියන්නේ...”
“අම්මි...දැන් මම තනි කෙනෙක් නෙමෙයි...මට මහත්තයෙක් තව අම්මෙක් තාත්තෙක් ඉන්නවා...එයාලත් එක්ක තමයි මගෙ ජීවිතේ බැඳිල තියෙන්නේ...ඒ තමයි දැන් මගෙ ලෝකෙ අම්මි...”
“අපි කිව්ව දේ හොඳට හිතල බලන්න දූ...ඔයා වෙනුවෙන් ගෙයි දොර හැමවෙලාවෙම ඇරල තියෙන්නේ...ඔයා විඳවන හැටි බලන්න බෑ රත්තරනේ...” මව ඇයව සිපගෙන පියා සමගින් පිටව යන දෙස දෙව්මි කඳුළු පිරි දෙනෙතින් බලා සිටියා.
***********************************************************************
දැඩි අසනීපයෙන් පෙළුනු චේතියගේ මව රෝහලේ කාලයක් ගත කර අවසන් සුසුම් හෙලන විට දෙව්මිගේ කුසට නම මසක් පිරී තිබුනා. ඇය හැඩූ කඳුලින් මවගේ සිරුර අභියස හිඳගෙන සිටින විට චේතිය ඇය අසලට පැමිණ හිස පිරිමැද්දා.
“අඩන්න එපා රත්තරං...ඔයා ඔය විදියට හූල්ලන එක දරුවට හොඳ නෑ...ඇවිත් බත් ටිකක් කාල ඉන්න...අම්ම දැන් මේ ලෝකෙ නෑ කියන එක පිළිගන්නම වෙනවා...”
“මට බෑ චේතිය වාවගන්න...අම්ම නැතුව අපි කොහොමද මේ ගෙදර ජීවත්වෙන්නේ....එයාගෙ කතාව හිනාව මට හැම වෙලාවකම මැවිල පේනවා...එයා නැතුව අපි එකපාරටම අනාථ වුනා වගේ...”
“මට තියෙන වේදනාව ඔයා වගේවත් පිටකරගන්න විදියක් නෑ සුදු මැණික...මමත් වැටුනොත් මේ වැඩ කරන්නෙ කවුද...අනේ සීත නැන්දා මෙයාව එක්කගෙන ගිහින් මොනව හරි කවන්න...මෙහෙම උන්නොත් අසනීප වෙයි...” ඔහු දෙව්මි අසල සිටි කාන්තාවට පැවසුවා.
මවගේ අවසන් කටයුතු නිමවී කීප දවසකින් චේතියගේ පියාගේ මානසිකත තත්වය අවුල් වන්නට වුනා. ඔහු නිතරම තනියෙන් කියවන්නට වූ අතර දෙව්මි හෝ චේතිය නොමැති අවස්ථාවල ඔහු පාර දිගේ අසිහියෙන් ඇවිද යන අතර දකින අයෙකු ඔහුව නිවසට ගෙනත් බාර දී යෑම ඔවුන් දෙදෙනාට දරාගත නොහැකි වුනා. කෙතරම් බෙහෙත් කලද දවසින් දවස ඔහුගේ තත්වය නරක අතට හැරෙමින් තිබුනු අතර එක් දිනක් මාවත දිගේ ඇවිද යන අතර වාහනයක ගැටීමෙන් ඔහු අවසන් සුසුම් හෙළුවා. එක පිට එක එන කරදරර වලින් හෙම්බත් වී සිටි චේතියට සහ දෙව්මිට පියාගේ මරණය දැඩි පහරක් වුනා.
“මේ මොනවද මහත්තයො අපේ ජීවිතවලට සිද්ධ වෙන්නේ...සතුටින් තිබ්බ අපේ ලෝකෙ එහෙම්පිටින්ම කඩන් වැටුන නේද...මට තවත්නම් ඉවසන් ඉන්න බෑ මේ දේවල්...”
“සුදු මැනික...ඔයා ටික දවසකට ඔයාලගෙ ගෙදර යන්න වස්තුවේ...දැන් ඔයාට ඇඟට වගේම මනසටත් විවේකෙයක් ඕනේ...මං ඔයාව එක්කගෙන ඇවිත් ඔයාගෙ ජීවිතේ නාස්ති කලාද කියල හිතෙනවා...”
“චේතිය...ඔහොම දේවල් කියනවට වැඩියෙන් හොඳයි එකපාරම මාව මරල දාන එක...ඔයා එක්ක හැම දුකක් සැපක්ම බෙදාගන්නයි මම ආවේ...සතුටෙදි විතරක් ඔයා එක්ක ඉඳල දුකේදි දාල යන පව්කාරියක් කියල හිතුවද මම...මගෙ ආදරේ ඒ තරම් බාල්දු කරන්න එපා දෙයියෝ...”
“අනේ නෑ පැටියෝ...එහෙම හිතල කිව්ව නෙමෙයි...මට ඔයා ඉන්න තත්වයත් එක්ක ඔයා ගැන ගොඩක් දුකයි...ගෙදර ගියොත් ටිකක් හරි සැනසීමක් තියෙයි ඔයාට...”
“ඔයාගෙ අම්මයි තාත්තයි අපිව දාල ගියාට අපේ ආදරේ බලාපොරොත්තු අපි ළඟ තියෙනවනෙ චේතිය...අපි ආයෙත් නැගිටිමු...මම ඔයා එක්ක ඕනෙම දේකට ඉන්නව...” ඇය ඔහුගේ හිස ළයට තුරුළු කරගනිමින් පැවසුවා.
ත්රීළරෝද රථයේ වැඩ කරන අතරම චේතිය රැකියාවක් සෙවීමට වෙහෙසවුනු අතර ඔහුට ගොඩනැගිලි කොන්ත්රාත් සමාගමක රැකියාවක් හිමිවුනා. ඔහුට සේවකයන් මෙහෙයවීම බාරව තිබුනු අතර ඒ සඳහා ඔහුට ඉහළ වැටුපක්ද ගෙවීමට පොරොන්දු වී තිබුනා.
“මගෙ මහත්තයට තෙරුවන් සරණයි...පරිස්සමින් යන්න...ඔයාට කවදාවත්ම වරදින්නෙ නෑ...” ඔහු රැකියාවට පිටත්ව යන පළමු දින කිරිබත් කවා නළල සිපගත් දෙව්මි ඔහුට සමුදුන්නා.
“මම එනකම් පරිස්සමින් ඉන්න සුදු නෝනා...සීතා නැන්ද එයි ඔයාව බලාගන්න...දැන් දිනත් ළඟයි නේද...මට දාල යන්නත් ලෝබයි...”
“කෙල්ලක් වුනාම මේ තත්වෙට කොහොමත් මූන දෙන්න වෙනවනෙ මහත්තයො...මම පරිස්සම් වෙන්නම්...තෙරුවන් සරණයි...” ඔහු පිටත්ව ගිය පසු ඇයගේ තනියට පැමිණෙන අසල්වැසි කාන්තාව වන සීතා සමග නිවසේ වැඩවල නිරත වෙමින් සිටි දෙව්මිට දවල් ආහාරයෙන් පසු නින්ද ගොස් තිබුනා. කිසිවෙකුගේ විලාප හඩින් තිගැස්සී ඇහැරුණු ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්නට වුනා. ඇය ඇඳෙන් බිමට බැස ඉනට අතත් තබාගෙන අසීරුවෙන් පිටතට පැමිනියා. පුද්ගලයන් කීප දෙනෙක් මිදුලේ සිටගෙන සිටි අතර සීතා වැළපෙමින් සිටියා.
“සීත නැන්ද...මොකද වුනේ...” දෙව්මි බියපත්ව විමසන විට පැමිනි සිටි පිරිස ඇය දෙස අනුකම්පා දෑසින් බලා සිටියා.
“අනේ දුවේ...අපේ දරුවා...”
“කවුද...කාටද මොනවද වෙලා තියෙන්නෙ සීතා ඇන්ටි...”
“මිස්ගෙ මහත්තයද චේතිය කියන්නේ...” පැමිණි සිටි පුද්ගලයෙක් ඇගෙන් විමසුවා.
“ඔව්...ඇයි...එයාට මොකද වුනේ...”ඇය අඩපණ වී යන දෙපා සීරුවට තබාගනිමින් විමසුවා.
“එයා අද අළුත් බිල්ඩින් එකේ උඩම තට්ටුවෙන් වැටිල හොස්පිට්ල් අරන් ගියා...එයාට...” ඔහු කතාව අවසන් කිරීමට පෙර ඇය සිහිසුන්ව ඇදවැටෙන්නට ගිය අතර ඔහු වහා ඉදිරියට පැන ඇයව අල්ලාගත්තා.දෙව්මිට සිහිය එන විට රෝහත තුළ සිටි අතර ඇය දෙනෙත් හැර අසීරුවෙන් වට පිට බලා තම කුසට අත තැබුවා. ඇගේ කුස හිස්ව තිබූ අයුරු දැනුනු ඇය බියපත්ව නැගිටින්නට උත්සාහ කලා.
“මිස් ඔයාට දඟලන්න හොඳ නෑ...ඔහොම ඉන්න...හෙදියක් පැමිණ ඇයව අල්ලාගත්තා...”
“මගෙ දරුවා...කෝ එයා...මට එයාව බලන්න ඕනේ...අනේ මට එයාව ගෙනත් දෙන්න...”
“මිස් කලබල නොවී ඉන්න...ඔයා අරන් එද්දිත් බබා නැතිවෙලා උන්නේ...අපිට එයාව අයින් කරන්න සිද්ධවුනා...”
“ඔයා බොරු කියන්නේ...මගෙ දරුවට කවදාවත්ම එහෙම වෙන්න විදියක් නෑ...ඒ චේතියගෙයි මගෙයි හීනෙ...මාව දැන්මම දරුව ළඟට එක්කගෙන යන්න...චේතිය ආවොත් ඔයාල හැමෝටම බනියි...”
“චේතිය කිව්වෙ මිස්ගෙ මහත්තයද...” හෙදිය විමසන විට සීතා සෙමින් දෙව්මි අසලට පැමිනියා.
“සීතා නැන්දා...චේතියට දැන් සනීපයි නේද...අනේ එයාට එන්න කියන්න...මෙයාල කියනව මගෙ පුතා නැතිවෙලාලු...මගෙ රන් කැටියට එහෙම වෙන්න විදියක් නෑ...එයා මගෙ අත් දෙකට ගත්තෙවත් නෑ...තුරුළු කරන් කිරි පෙව්වෙවත් නෑ...එහෙම තියෙද්දි එයා කොහොමද අපිව දාල යන්නේ...මං චේතියට මොනවද කියන්නෙ සීත නැන්දා...මං පොරොන්දු වුනා එයාට එයා වගේම අහිංසක ඇස් දෙකක් තියෙන පුතෙක් දෙනව කියලා...මම එයාට බොරු කාරියක් වෙනව නේද...”
“අනේ මගෙ රත්තරනේ...මම කොහොමද මේව ඔයාට කියන්නේ...ඔය හිතට දරන්න පුළුවන් දේවල්ද මේ වෙන්නේ...”
“අනේ සීත නැන්දා...චේතියට එන්න කියන්න...මාව මෙහෙන් එක්කගෙන යන්න කියන්න...”
“චේතිය පුතා ආයෙ එන්නෙ නෑ මගෙ වස්තුවේ...එයා සදහටම අපිව දාල යන්න ගිහින්...ඒ දරුව වෙනුවට මේ නාකි මාව මාරයට අරන් යන්න තිබුනා...” ඇගේ වදන් ඇසෙත්ම දෙව්මිගේ හිස වේගයෙන් භ්‍රමණය වන්නට වූ අතර මුළු ලොවම අඳුරු වී යන්නාක් මෙන් දැනුනා.
***********************************************************************
දෙව්මි දෑස් විවිර කර වෛද්‍යවරයා දෙස බලා සිටියා. ඇයට තමන් සිටින පරිසරය හෝ තමන් වටා සිටින පිරිස පිළිබඳව කිසිදු දැනීමක් නොවූ අතර ඇය ඒ නාදුනන මුහුණු අතර අතරමංව වට පිට බැලුවා.
“දෙව්මි...දැන් ඔයාට සනීපයි දරුවෝ...මගෙ උත්සාහයේ ප්‍රථිඵල සාර්ථකයි...මාස තුනකට පස්සෙ ඔයා පියවි සිහියට ආවේ...” ඔහු පවසන විට ඇය බියෙන් මෙන් දෑස් විසල් කරගත්තා. ඇයට චේතිය සහ දරුවාව සිහිවුනා.
“චේතිය...මගෙ පුතා...” ඇය මුමුණන විට වෛද්‍යවරයා ඇගේ හිස පිරිමැද්දා.
“අපිට හිමි වෙන දේවල්වලට වැඩිය අහිමි වෙන දේවල් වැඩියි මේ ජීවිතේදි...හිත හදාගන්න දරුවෝ...දැන් ඒ එක්කෙනෙක්වත් මේ ලෝකෙ නෑ...ඔයාගෙ හිත ශක්තිමත් කරගන්න...”
“ඇයි මම විතරක් බේරුනේ...ඒ දෙන්නත් එක්ක මාවත් මැරුනෙ නැත්තෙ ඇයි...ඔයාල ඇයි මාව බේරගත්තේ...” ඇය වියරුවෙන් මෙන් කෑ ගසන විට වෛද්‍යවරයි ඇයව තුරුළු කරගත්තා.
“මටත් ඔයාගෙ වයසෙම දුවෙක් ඉන්නවා...ඔය දරුව මේ විදියට වේදනා විඳින එක මටත් දරාගන්න බෑ...ජීවිතේ කියන්නෙ අපිට ඕන වෙලාවට ඇති වෙන නැතිවෙන දෙයක් නෙමෙයි...ඒක තියෙන්නෙ අපේ පෙර පින් පව් මත දෛවය මත...ඔයාට මොකක් හරි හේතුවක් නිසා ජීවත් වෙන්න තවම කාලය තියෙනවා...ඒ නිසා මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්න හයිය ගන්න...දැන් නිදාගන්න...” ඔහු ඇයට බෙහෙතක් එන්නත් කල අතර ඇය යලිත් නින්දට වැටුනා.
දෙව්මි රෝහලෙන් පිටව නිවස වෙත එන විට එය වසා දමා තිබුනු අතර තුන්මසකට පෙර එල්ලන ලද සුදු කොඩිවැල් ඒ වන විටත් පෙනෙන්නට තිබුනා. ඇය නිවස ඉදිරිපිටට වී නිසල දෑසින් ඒ දෙස බලා සිටින විට චේතිය සමග ගෙවූ කාලය ඇගේ සිතේ එකින් එක දිගහැරෙන්නට වුනා.
“දෙව්මි... සුදු නෝනා...” ඔහුගේ හඩ ඇසෙන්නාක් මෙන් ඇයට දැනුනා. ඇයගේ දෙනෙතින් කඳුලු කඩා වැටුනු අතර ඇය බිම හිඳගෙන හඩා වැටෙන්නට වුනා. අසල්වාසීන් පැමින ඇය දෙස අනුකම්පාවෙන් බලා සිටි අතර සීතා ඇය අසලට පැමිණ ඇයව නැගිට්ටෙව්වා.
“දැන් හැම දෙයක්ස සිද්ධවෙලා ඉවරයි දරුවෝ...ඔයාගෙ කියන කිසිම කෙනෙක් මෙහෙ නෑ...ඔයා දැන් ගෙදර යන්න...අම්මයි තාත්තයි ඔයා එනකම් තවත් බලන් ඇති...”
“ඔව් සීත නැන්දා...මම එයාල ළඟට යනවා...ජීවිතේ ඉතුරු ටික කාලෙ එයාලව බලාගෙන ජීවත් වෙනවා...මගෙ චේතිය වෙනුවෙනුයි දරුව වෙනුවෙනුයි පින් දහම් කරනවා...දැන් මට ඉතුරු එච්චරයි...මම ඉස්පිරිතාලෙ ඉද්දි කවුරුවත් මාව බලන්න ආවෙ නැද්ද සීත නැන්දා...”
“ඔය දරුවව ඉන්දියාවට අරන් ගියා කියලයි අපිට ආරංචි වුනේ...”
“නෑ සීත නැන්දා...ඉන්දියාවට යවන්න ඉද්දි තමයි මාව සනීප කරපු දොස්තර මහත්තය මගෙ ලෙඩේ සනීප කරන්න බාර අරන් තියෙන්නේ...එයාගෙ පෞද්ගලික සායනයට අරන් ගිහින් තමයි මට ප්රීතිකාර කරල තියෙන්නේ...ඒ නිසා කාටවත්ම දැනගන්න බැරිවෙන්න ඇති...අම්මියි තාත්තියි මා ගැන හෙව්වෙ නැති එකනම් පුදුමයි...එහෙනම් සීත නැන්ද මම යන්නම්... ඒ මතකයන් බලාපොරොත්තු හැම දෙයක්ම අරන්...” ඇය සීතාට වැද නිවස බලා පිටත් වුනා. නිවස අසලට යන විට එහි කිසියම් වෙනසක් ඇති බව ඇයට පෙනුනා. එහි පිරිසක් රැස් වී සිටි අතර ඇය සෙමින් ඒ අසලට ගියා.
“මෙතන මොකද වෙන්නේ...මේ කට්ටිය කවුද...” ඇය අසල සිටි අයෙකුගෙන් විමසා සිටියා.
“අද මේ ගේයි ඉඩමයි වෙන්දේසි කරනවා...අතන ඉන්නෙ ඒ සම්බන්ධව ආව ඔෆිසර්ස්ල...”
“වෙන්දේසි කරනවා...එතකොට මේ ගෙදර අයිති අය...”
“එයාල දැන් මාස තුනකට කලින් ඇක්සිඩන්ට් එකකින් නැතිවුනා...දෙන්නම වාහනේ ගමනක් යද්දි ලොරියකින් හප්පලා...එතනමයිලු...උන්න එකම දුවත් කාලෙකට කලින් ගෙදරින් ගිහින්...එයත් ආවෙ නැති නිසා රජයෙන් ඉඩම වෙන්දේසියට දැම්මා...” දෙව්මිට හිස කරකැවෙන්නාක් මෙන් දැනුනු නිසා ඇය අසල වූ පුටුවකට බර වුනා.
“ඇයි දරුවො...ඔයාට අසනීපයක්ද...මේ වෙන්දේසියටද ආවේ...මම දන්න විදියට ගොඩක් වටින දේපළක්...”
“ජීවිතේ වටිනම දේවල් හැම දෙයක්ම නැති වෙච්ච මට මේ දේපළ කියන්නෙ දූවිල්ලක් විතරයි...” එසේ පැවසූ ඇය දිගු සුසුමක් හෙලා ගේට්ටුවෙන් පිටතට පැමිණියා. කිසිදු හැඟීමකින් තොරව ඈත මාවත දෙස බලා සිටි ඇයට කසාවතක් දවටාගෙන බිම බලාගෙන සන්සුන්ව විඩින මෙහෙණියක් ඇස ගැටුනා.
“බැඳීම් නැති දුක නැති ජීවිතයක්...” තමන්ටම මුමුණාගත් ඇය මෙහෙණිය වෙත ගොස් දෙපා වැන්දා.
“මෑනියනි මට නිවෙන්න ඕනේ...” ඇය පවසන විට මෙහෙණිය ඇගේ හිස පිරිමැද්දා.
“නිවෙන්න තියෙන එකම මග බුදුන්ගෙ මග විතරමයි දරුවෝ...ඒ මාවතේ යන අයගෙ ජීවිත කවදාවත්ම වරදින්නෙ නෑ...මාත් එක්ක එන්න...” දෙව්මි දෙනෙත් බිමට හරවාගෙන මෙහෙණිය අනුව ඇයගේ පිටුපසින් පා නගන්නට වුනා.
- හිමාලි -
No comments:
Post a Comment