-කෙටි කතාව-
"රන්දූ..උඹ රෙඩී නේද?
වෑන් එක තව විනාඩි 10 න් එනවා කිව්වා....''
උදේ පාන්දරම මේකිගෙ ටකරං වොයිස් එකෙන් බෙලිකටු මල්ල හොල්ලන්න පටන් ගත්තා..
"හරි හරි නිම් මෙන්න මේ සාරි කටුව ගහපන්කෝ කෑ නොගහා මං රෙඩි වෙලා ඉවරයි.."
"අපෝ උඹෙන් තියන වදයක් වරෙන වරෙන් ඉක්මනට මෙහාට නැත්නම් අර ශශිකයා අපේ ඔලුව කයි...."
"ආ අන්න වෑන් එක ආවා යමු යමු..."
මම හෂිනි රන්දිකා කරලියැද්ද...
එතකොට උදේ පාන්දරම බෙලිකටු මල්ල හෙල්ලුවෙ මගේ ප්‍රාණ සම මිතුරිය නිමානි ගරුසිංහ...
අපි දෙන්න ම පේරාදෙණිය මහ රෝහලේ සීමාවාසික වෛද්‍යවරියෝ...අපරාදෙ කියන්න බෑ ඩොක්ටර් කෙනෙක් උනා කියලා නිම්ගෙ කට නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ.... බෙලෙක්කෙ වගේ හැම වෙලේම කියවන එකමයි වැඩේ...
එතකොට අද අපි මේ යන්නෙ අපේ බැජ් එකේ යාලුවෙක් ගෙ වෙඩින් එකට...එයා ආලියා...
දැන්ම බඳින්න අදහසක් තිබුනෙ නැති උනත් එයාගෙ පවුලෙ අයගෙ බලපෑම නිසා එයා තීරණය කලා බඳින්න...
ආලියා පදිංචි වෙලා හිටියෙ අම්පාරෙ...ඉතින් බැජ් එකෙන් පේරාදෙණියේ හිටපු අය තීරණය කලා වෑන් එකක් කතා කරගෙන වෙඩින් එකට යන්න...
අපි වෑන් එකට නැගපු ගමන් ම ශශිකයා කියවිල්ල පටන් ගත්තා...අම්පාරට යනකම්ම ඉතින් දෙයියනේ කියලා පාලුවක් නෑ දැන්..😜
"නිම් ඊළඟට උඹලා තමයි ඉතින්...ඉක්මනට බැඳපල්ලා අපිටත් වෙඩින් එකට එන්න...."
"හරි බං නිම් නම් බඳියි.. ඒත් ඉතින් රන්දුගෙ වෙඩින් එකට නම් උඹට හීනෙන් තමයි යන්න වෙන්නෙ ශශිකයා..."
එහෙම කිව්වෙ පසිඳු
"ඇත්තටම රන්දූ උඹ සදාකාලිකවම තනිකඩ ව ඉන්නද අදහස...කැම්පස් එකේදිවත් කොක්කක් ගැහුවෙ නෑ....දැන්වත් කාත් එක්ක හරි යාලු වෙයන් බං...නැත්නම් අර උඹේ පස්සෙ ඇඹලයා වගේ එන සචින්තයට වත් කැමැත්ත දීපන්...ඌ ෆස්ට් ඉයර් එකේ ඉඳලා උඹේ පස්සෙන් එන්නෙ..."
ශශික සීරියස් මූණක් හදාගෙන එහෙම කියද්දි මං නිහඬ උනේ මට ඒකට දෙන්න උත්තරයක් නැති නිසා...
මගෙන් ප්‍රතිචාරයක් නැති නිසාම ශශික ඒ කතාව නැවැත්තුවා...
**********************
කොහොමින් කොහොමින් හරි අපි අම්පාරට ආවා...කවදාවත්ම මුස්ලිම් වෙඩින් එකකට ගිහින් නැති නිසා අපි කට්ටියම හරිම කුතුහලයෙන් තමයි හෝල් එකට ගියේ.....
ඇතුලට ගියාම මට පුදුම හිතුනා...හරිම ලස්සනයි...
ආලියාගෙ තාත්තා අපිව පිලි අරගෙන හෝල් එක ඇතුලට එක්ක ගෙන ගියා....
අපි හෝල් එකට යද්දි චාරිත්‍ර ඉවර වෙලා තිබුනු නිසා අපේ සෙට් එක කෑම කන්න පටන් ගත්තා.
වැඩිය ලොකු බඩගින්නක් නොතිබුනු නිසා මම ඉක්මනට කෑම කාලා ඉවර උනා....නිම් නම් තාම කනවා මේකිට කන්න ගියාම මාවත් අමතකයි...
මං කාලා ඉවර නිසා ආලියා එක්ක කතා කරන්න කියලා හිතාගෙන සෙටි බැක් එක ළඟට යද්දි චූටි ගෑණු ළමයෙක් ඇවිත් මගේ ඇඟේ හැපුනා...
මං ඒ බබා එක්ක හිනා වෙලා කතා කරන්න හදද්දිම..
"ශහී...දුවන්න එපා දූ අන්න අම්මි ඔයාව හොයනවා අපි යමු ඉක්මනට"
එහෙම කිව්වෙ මට ගොඩක් පුරුදු කට හඬක්...මම ඒ චූටි බබාවත් වඩා ගෙන කට හඬ ආපු පැත්තට හැරෙද්දි මං දැක්කෙ ආයේ ජීවිත කාලෙටම දකින්න එපා කියලා මං ප්‍රාර්ථනා කරපු ඒ මූණ...
ආදිල්...
එයා පුදුම වෙලා මගේ දිහා බලන් ඉද්දි මාව මීට ඇදිලා ගියේ අතීතෙට...
#අවුරුදු 9 කට පෙර...
"ඉස්සරහට යන්න...එක තැනම හිර වෙලා ඉන්නෙ නැතුව....තව අනිත් මිනිස්සුත් මේකෙ යන්න ඕන"
උදේ පානදරම කොන්දොස්තර අංකල් ගෙ සුපුරුදු වචන සෙට් එකත් අහගෙන මම බස් එකට නැග්ගෙ කෙමෙස්ට්‍රි ක්ලාස් එකට යන්න
වෙනදාට මෙච්චර සෙනග නැති බස් එකේ අද මෙච්චර සෙනග කොහෙන්ද කියලා හිතන ගමන් මං ඉස්සරහට ගියා...
අතේ තිබුනු පොත් බෑග් එක ළඟ සීට් එකේ කෙනෙක් ට දීලා සීට් එකේ ඇන්දෙන් අල්ල ගෙන ඉස්සරහ බලන් ඉද්දි එක පාරටම මට ලොකු නිදිමතක් ආවා..සමහර විට රෑ වෙනකම් පාඩම් කරපු නිසා වෙන්න ඇති...
නිදිමත නිසාම ඔලුව පහලට කඩා ගෙන වැටෙද්දි මගේ බෑග් එක ගත්තු පිරිමි ළමයා මගේ අතට තට්ටු කරලා කිව්වා ඔයා වාඩි වෙන්න කියලා.....නිදිමත් වැඩි කමටම මාත් ඉතින් වාඩි වෙලා හොඳ නින්දක් දාගෙන ආවා..
ක්ලාස් එක ඇරිලා ආයෙ බස් ස්ටෑන්ඩ් එකට එද්දි බස් එක ඇවිත් තිබුනා...
යද්දිත් හිට ගෙන යන්න වෙයි කියලා හිතාගෙන බස් එකට නැග්ග මං දැක්කා එකම සීට් එකක් හිස් වෙලා තියනවා...
ඒකෙ වාඩි වෙලා හිටියෙ උදේ මට සීට් එක දුන්නු පිරිමි ළමයා..මාත් දෙපාරක් හිතන්නෙ නැතුවම ගිහින් එතනින් වාඩි උනා....😉😉
මං වාඩි වෙලා බැලුවෙ මගේ එහා පැත්තෙ හිටපු පිරිමි ළමයා දිහා....
අඩි 6 ක් විතර උස,ඒ තරමට ගැලපෙන්නම මහත තිබුනු එයා ඇඳන් හිටියෙ ඩෙනිම් කලිසමකුයි අත් වැලමිට ගාවට නවපු සුදු පාට ෂර්ට් එකකුයි..."එයා හරිම ලස්සනයි නේ.."
කියලා මට හිතෙද්දිම එයා මගේ දිහා බලලා හිනා උනා..
සිකේ වස ලැජ්ජාව මං බලන් ඉන්නවා දැක්කද දන්නෙ නෑ.....😬
එයා මාත් එක්ක හිනා වෙලා කතා කලා...එයාගෙ නම කසුන්...මැත්ස් කරන්නෙ...බස් එකෙන් බහිද්දි අපි හොඳ යාලුවො වෙලා තිබුනා...
ඊළඟ දවසෙ බස් එකට නගිද්දි කසුන් මට ඉඩ තියා ගෙන තිබුනා...
මේ විදියට දවසෙන් දවස මගෙයි කසුන් ගෙයි යාලු කම ඉස්සරහට යද්දි අපිටත් ආදරයක් වෙලා තිබුනා...
අපි ගොඩාක් ආදරේ කලා...අපෙ හමුවීම් බස් එකට විතරක් සීමා උනත් මට දැනුනා කසුන් මට ගොඩක් ආදරේ කරනවා කියලා...
ගොඩාක් අය මට කතා කලේ රන්දු කියලා..තවත් සමහර යාලුවො මට හශී කිව්වා...
ඒත් කසුන් මට කතා කලේ වෙනස්ම විදියකට..එයා මට කිව්වෙ "ශහී" කියලා....
මෙහෙම කාලේ ගත වෙලා යද්දි මට සමහර වෙලාවට කසුන් අමුතුයි කියලා නොහිතුනාමත් නෙමෙයි...එයා සමහර සිංහල වචන උච්චාරණය කලේ ටිකක් අපහසුවෙන්...මං හිතුවා ඒ එයා ඉන්ග්ලිෂ් මීඩියම් වලින් ඉගෙන ගත්තු නිසා කියලා...
ඒත් දවසක් අපි බස් එකේ යද්දි එයාට කෝල් එකක් ආවා...ඒ නම්බර් එක සේව් කරලා තිබුනෙ වෙනම භාෂාවකින්...
මං එයා දිහා බලන් ඉද්දි එයා කෝල් එක කට් කලා...ඒත් දිගින් දිගටම කෝල් ආව නිසා එයා ෆෝන් එක ආන්සර් කරලා කතා කරන්න පටන් ගත්තා....ඒත් එයා කතා කරපු විදියට නම් මට හිතුනේ එයා කියපු දේවල් ලයින් එකේ හිටපු කෙනාට තේරුනේ නෑ කියලා...
එයා කෝල් එක කට් කලාට පස්සෙ මං මෙච්චර කල් මගේ හිතේ තිබුනු දේ ඇහුවා...
"කසුන් ඔයා සිංහල නෙමෙයිද??"
"ශහී මං...." කියලා කසුන් කියද්දි ම බස් එක අපේ හෝල්ට් එකේ නැවැත්තුවා...මං කසුන්ට රෑට කෝල් එකක් ගන්න කියලා කියන ගමන් ම බස් එකෙන් බැස්සා..
මං ගොඩාක් රෑ වෙනකම් බලාගෙන් හිටියා කසුන් කෝල් කරනකම්...එයාගෙන් කෝල් එකක් ආවෙ උදේ තුනට විතර...මට ෆෝන් එකෙන් ඇහුනෙ එයා අඬනවා වගේ...එයා අඬ අඬම මට කිව්වෙ මේ වචන ටික...
"ශහී....මට සමාවෙන්න මං ඔයාට ගොඩක් බොරු කලා...ඔයා හරි මං සිංහල නෙමෙයි.මං මුස්ලිම්..මගේ නම කසුන් නෙමෙයි ආදිල්..."
දෙවියනේ මට මේ ඇහෙන්නෙ ඇත්ත ද??
ඒ කියන්නෙ කසුන් මට බොරු කියලද..
එහෙම හිතෙද්දි මං ඇඳේ වාඩි උනේ තවදුරටත් හිටගෙන ඉන්න ශක්තියක් තිබුනෙ නැති නිසා...
කසුන් එහෙමත් නැත්නම් ආදිල් දිගටම කතා කලා..
"ශහී..මං ඔයාව දැකපු දවසෙ ඉඳන්මයි ඔයාට ආදරේ කලේ...හැමදාම ඇත්ත කියන්න ඕනි උනත් ඔයාව මට නැතිවෙයි කියලා බයට මං ඇත්ත නොකියා හිටියා...ශහී මං දන්නවා ඔයාට මට සමාව දෙන්න බෑ කියලා...මං තීරණයක් ගත්තා ශහී......මේකට අපේ ගෙවල් වලින් කවදාවත්ම කැමති වෙන එකක් නෑ...මං කැමති නෑ ඔයාගෙ හිත රිද්දන්න...අපි මේක නවත්තමු ශහී...මට සමාවෙන්න"
මට දැනුනු මගේ දෙපා ළඟ අකුණක් පුපුරලා ගියා වගේ....
"ඒත් කසුන්..."
මං අඬ අඬම කියද්දි කසුන් කිව්වෙ මේ වගේ දෙයක්...
"ශහී මං දන්නවා ඔයා මට ඇත්තටමයි ආදරේ කලේ කියලා...ඒ ආදරේට මගේ ආගම බලපාන්නෙ නැති බවත් මං දන්නවා...ඒත් කවදාහරි මං නිසා අම්මලාට පිටු පාන්න ඔයාට බෑ....එදාට ඔයාට මීට වඩා දුකක් දැනෙයි...අපි දැන්මම මේ සම්බන්ධෙ නවත්තමු ශහී..."
කසුන් එහෙම් කියද්දි මං ඇහුවෙ එක දෙයයි...
"කසුන්..ඔයා මට ආදරේ කලේ නැද්ද..?"
මට ආයෙත් ඇහුනෙ ඉකි ගහන සද්දයක්..
කසුන් අඬනවා....
එයා මට මෙච්චර ආදරේ නම් ඇයි මෙහෙම කියන්නෙ...
ටික වෙලාවකින් කසුන් ආයෙ කතා කලා...
"ශහී ඔයා මගේ පලවෙනි ආදරේ...මං ඔයාට අදටත් ආදරෙයි...
ඒක ඉස්සරහටත් එහෙමම තමයි..
ඒත් අපිට මේ දේ කරන්නම වෙනවා...
හෙට ඉඳන් මං ඔයාගෙ ඉස්සරහට වත් එන්නෙ නෑ ශහී එතකොට ඔයාට හිත හදාහන්න ලේසි වෙයි....."
"සතුටින් ඉන්න....පාඩම් කරන්න දිගටම...මෙඩිකල් ෆැෆැකල්ටි යන්න.. මං ආදරෙයි ශහී..."
ආයෙත් ඉකි බිඳුම් සද්දයක් ඇහෙද්දිම කසුන් ෆෝන් එක කට් කලා....
මං ඇඬුවා...ගොඩාක් ඇඬුවා..
එයා කිව්වත් වගේම මගේ ඉස්සරහට වත් ආවෙ නෑ...ෆෝන් නම්බර් එක් පවා මාරු කරලා තිබුනා...
පස්සෙයි මං දැන ගත්තෙ අපේ සම්බන්ධෙ එයාලාගෙ ගෙදරට ආරංචි වෙලා කියලා....එයාලාගෙ තාත්තා ආදිල්ට තර්ජනය කරලා මේක නැවැත්තුවෙ නැත්නම් මාව මරනවා කියලා....
එදායින් පස්සෙ ආදිල් ව මතක් වෙන හැම වෙලාවෙම මං කලේ පාඩම් කරපු එක...මහන්සි වෙලා පාඩම් කරපු නිසාම මට පළවෙනි පාරම මෙඩිසින් සිලෙක්ට්වෙන්න පුලුවන් උනා...
ආදිල්ගෙ මතකෙ නිසාම....
මගේ හිතා තවමත් ආදරේ ආදිල්ට විතරක් නිසාම කැම්පස් එකේදි කොච්චර ප්‍රේමාරාධනා ආවත් මම ඒ එකක් වත් පිලි ගත්තෙ නෑ..
*****************
ඒත් අද මගේ අතීතෙ මගේ ඉස්සරහට ම ඇවිත්...මං ආදිල් ට කතා කරන්න හදද්දිම එතනට ආවෙ ආලියා..
"රන්දූ...ඔයාට අපේ ශහීව හම්බ උනාද.."
"ඒයි දඟමල්ල ආන්ටි ගෙ අතෙන් බහින්න...ආන්ටි පව් නේ..."
ආලියා එහෙම කිව්වෙ මගේ අතේ හිටපු චූටි ගෑණු ළමයට...
එතකොට මේ බබාත් ශහීද??එහෙම හිතන ගමන් මං ආදිල් ඉන්න පැත්තට හැරෙද්දි ආදිල් ළඟින්ම තව ලස්සන ගෑණු කෙනෙක් හිටියා..
ඒ ගෑණු කෙනා දැකපු ගමන්ම මගේ අතේ හිටපු චූටි දූ අම්මී කියන ගමන් මගේ අතෙන් බිමට පැනලා එයා ළඟට දුව ගෙන ගියා..
ඒත් එක්කම වගේ මගේ ළඟට ආපු ආලියා මට ආදිල් ව හඳුන්වලා දුන්නා....
"රන්දු..මේ ඉන්නෙ මගේ ලොකු අම්මගෙ පුතා ආදිල්...
මේ ඉන්නෙ එයාගෙ වයිෆ් සාරා...
එයා අතේ ඉන්නෙ ඒ දෙන්නගෙ දඟමල්ල ශහීදා..."
ඒත් එක්කම වගේ සාරාටයි ආලියා ටයි ආලියාගෙ අම්මා කතා කරපු නිසා එතනින් යන්න උනා...
"ශහී ඔයාට කොහොමද??"
ඒ ආදිල්..
"ශහී ඔයා දැන් මැරි කරලද?"
මං උත්තර දෙන්නෙ නැතුව ගොලු වෙලා ඉද්දි ආදිල් ආයේ ඇහුවා...
මං බොහොම අමාරුවෙන් නෑ කියලා කියද්දි ආදිල් මගේ ළඟට ආවා.......
ශහී..මං දන්නවා ඔයා මට තාම ආදරෙයි කියලා..
ඒත් ඔහොම ඉන්න එපා...
ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙමෙයි...
ඔයා දිගටම මේ විදියට හිටියොත් එදා මම කරපු දෙයින් වැඩක් නැති වෙනවා.....
අම්මටයි තාත්තාටයි දුකක් දෙන්න එපා ශහී...
එයාලා ඔයාගෙ කසාදෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියා ගෙන ඉන්නෙ...එයාලා කැමති කෙනෙක්ව බැඳලා සතුටින් ඉන්න ශහී.
"මං හැමදාමත් ආදරෙයි...
ලබන ආත්මෙදී වත් ඔයාව මට ම දෙන්න කියලා විතරයි මං මං දෙවියන්ගෙන් ඉල්ලන්නෙ....
හැමදාම සතුටින් ඉන්න..."
එහෙම කියපු ආදිල් යන්න ගියා...මං තුෂ්නිම්භූත වෙලා වගේ බලා ගෙන ඉද්දි එතනට ආවෙ නිම්....
"රන්දූ මොනාද බං ගල් ගිල්ලා වගේ බලං ඉන්නෙ වරෙන් සෙල්ෆියක් වත් ගහන්න යන්න..."
එහෙම කියපු නිම් මාවත් ඇදගෙන යද්දි මට මතක් උනේ ආදිල් ඉස්සර හැමදාම ෆෝන් එකෙන් මට ඇහෙන්න කියපු සින්දුවක්....
"කාටත් කලින් මාගෙ වෙන්න ආයේ ලබන ජන්මයේ...."
-අශී-
------------------------------------------------------------------------
No comments:
Post a Comment