භවයෙන් භවේ පතා ආ ආදරේ

#භවයෙන් #භවේ.... #පතා #ආ #ආදරේ....

කුරුල්ලෝ කීචි බීචි ගානව වගේ මගේ එලාම් එකේ සද්දෙට මං ඇහැරිලා ඒක ඕෆ් කලා. හිහ්... තනියෙනුත් හිනා යනව මගෙ මැට්ටිගෙ වැඩ වලට. එය⁣ා තමයි මේ එලාම් ඔරලෝසුව මට අරං දුන්නෙ. එයා මට දීපු පලවෙනි තෑග්ග...
ඔයා දන්නවද මැට්ටො....
ම්... මොකක්ද....
උදේට නැගිටින්න ඕනෙ මිහිරි සද්දෙකින්... ඒකයි මං ඔයාට මේ එලාම් එක ගෙනාවෙ. මේක අනිත් ඒවා වගේ නෙමෙයි. මේකෙන් කුරුල්ලන්ගේ සද්දයක් ඇහෙන්නෙ. ඔයා හැමදාම මේ එලාම් එකට ඇහැරුනොත් ඔයාගෙ දවසම ලස්සන වෙයි. මාවත් ඒ වෙලාවට මතක් වෙයි....

එයා එ්ක මට දීලා එහෙමයි කිව්වේ .
හිහ්....පිස්සු මැට්ටි...

මගේ පපුව උඩින් අතකුත් තියාගෙන තාමත් නිදාගෙන ඉන්න මගෙ මැට්ටිගෙ නලලට බොහොම පරිස්සමට හාදුවක් දුන්නෙ ඇයට නොතේරෙන්න.
ඊට පස්සේ මං හිමීට ඇඳෙන් නැගිටල බාත් රූම් එකට ගියා. තාම වෙලාව පහ මාරයි. සීතලම සීතල වතුරෙන් මූනත් සෝදගෙන මං බොටම් එකයි ස්කිනි එකයි ඇඳගෙන ⁣ශූස් දෙකත් දාගෙන ලෑස්ති වුනේ ජොගින් යන්න.

ඒක තමයි මගෙ දින චර්යාවෙ පලවෙනිම අංගය.

අපේ ගෙදර තියෙන්නෙ දියවන්නාව පාර්ක් එකට කිට්ටුව. හැමදාම උදෙට පැයක් විතර පාර්ක් එකේ ජොගින් යන එක මගෙ පුරුද්දක්..

එයා තාම නිදි. ඒ මූණ හරිම අහිංසකයි. එයා දිහා ටික වෙලාවක් බලන් ඉඳලා හිස අතගාල බෙඩ් ශීට් එකත් පොරවලා මං ⁣පහලට ගිහින් දොර ඇරියා.
එලියට යන්න කකුල තියනකොටම මගෙ කකුලට මොකක්ද පෑගුනා...

ම්ම්හ්හ්... මේ මොකක්ද.. ලෙටර් එකක්....
මගෙ බඩ පපුව පත්තුවෙලා ගියේ ලියුමෙ තිබුණු සීල් එක දැකල....

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්......එකෙන්. ආරධ්‍යා සිතුවිලි වීරවර්ධන ට.. ඒ කියන්නෙ මගෙ මැට්ටිට...

මේක අපි දෙන්නම බලාපොරොත්තුවෙන් ඉඳියෙ. ඒත් මෙච්චර ඉක්මනට....
පිට කරන්න තේරෙන්නේ නැති මොකක්ද ලොකු දුකකින් මගෙ පපුවෙ වම් පැත්ත රිදෙන්න ගත්තා.... හරියට කවුරුහරි පහුරුගානව වගේ....
මට දැන් ජොගින් යන්න තරම් හිතට නිදහසක් නෑ. මම ආයෙත් දොර වහල අපේ කාමරේට ගියා.
එයා තාම හොඳට නිදි. මං එයාගෙ එහා පැත්තෙන් වාඩිවෙලා එයා දිහා හුඟක් වෙලා බලං ඉඳියා.

මං ඊට පස්සෙ එයාගෙ කැමතිම ඇඳුම් ටිකයි ක්‍රීම්, ලිප්ස්ටික්ස්, ශූස්, පර්ෆියුමස් සේරම පිලිවෙලකට පැක් කරල එයාගෙ ඇඳුම් වලට එයා ආසම ඕඩික්ලෝන් වලින් ටිකකුත් ඉස්සා. එයාගෙ බැගේජස් රෙඩි කරල ඊටපස්සෙ මං ඩ්‍රයික්ලීන් කරල අල්මාරියෙ කොනක එල්ලල තිබුණු එයාගෙ යුනිෆෝම් එක අරං බැගේජ් එක උඩින් තිබ්බා ..... ඊටත් උඩින් අර ලියුම තියල මං ඇඳට ගිහින් එයාව හිමීට තුරුලු කරගත්තා....

එයත් නින්දෙන් ම මගෙ පපුවට තව තවත් තුරුල් උනේ හරියට පුංචි දරුවෙක් එයාගෙ තාත්තගෙන් උණුහුම හොයනව වගේ.
මමත් තව තවත් ලෝබ කමින් එයාට නෙ⁣ාරිදෙන්න එයාව මගෙ පපුවට තද කරගත්තා. මට ඒ වෙලාවෙ මහ අහේතුක දුකක් දැනුනා . ඒ අහිංසක මූණ දිහා බලං ඉන්දැද්දි මහා ආදරයකින් මගෙ මුළු හිතම පිරිල ඉතිරිල යනව වගේ හැඟීමක් මගෙ හිතට තේරුණ.

---------------------------------------------

මම අනූප රන්දුනු වීරවර්ධන . මං ව්‍යාපාරිකයෙක්.

තාත්තගෙ හදිසි මරණයෙන් පස්සෙ එයාගෙ බිස්නස් සේරම හැන්ඩ්ල් කරන්න වුනේ මට. මං බාර ගන්නකොට අන්තිම අඩියටම වැටිල තිබුණු බිස්නස් එක කොහොමහරි කලින් තිබුණු විදියට ගොඩගන්න එක තමයි ඒ දවස්වල මගෙ එකම අරමුණ වුනේ. තාත්තගෙ මරණෙ නිසා ඇතිවුණ ෂොක් එකත් එක්ක මගෙ ඔළුවෙ තාත්තගෙ අරමුණු ඉටුකරන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. හැබැයි මගෙ සම්පූර්ණ ජීවිතේම කනපිට පෙරළුනා එක්තරා ගුවන් ගමනකදි. එයාව... ඒ කියන්නෙ මගෙ මැට්ටිව මං මුලින්ම දැක්කෙ මං කොන්ෆරන්ස් එකකට මෙල්බන් යනකොට ෆ්ලයිට් එකේදි .

එයා ෆ්ලයිට් එකේ එයාර්හොස්ටර් කෙනෙක්.

ගොඩක් ආදර කතාවල වගේ පලමු බැල්මෙන්ම මට එයා ගැන ආදරයක් ඇති වුනේ නෑ.ඒක ඇති වුනේ ටික ටික... එයා ගොඩක් ලස්සන කෙනෙක්. ඒත් මගෙ හිත නැවතුනේ එයාගෙ රූපෙ ලඟ නෙවෙයි. එයාගෙ ගතිගුණ ලඟ.
එයා මගීන්ට සලකපු විදිය.... ඒ අයත් එක්ක ගනුදෙනු කරපු විදිය.... හරිම සුන්දරයි. ඒ සුහදශීලීත්වය හැම ගුවන්සේවිකාවකටම පොදුයි තමයි. ඒත් එයාගෙ පිලිවෙත ඊටවඩා හදවතට සමීප බවක් දැනුන. හරියට තමන්ගෙම කෙනෙක් වගෙයි . වයසක අයත් එක්ක පොඩි දරුවො එක්ක එයා හරියට හැසිරුණේ තමන් ගොඩ කාලෙක ඉඳන්ම දන්නා හඳුනන අයත් සමග වගෙයි. හරිම මිත්‍රශීලීයි.

" එක්ස්කියුස් මී සර්..... ප්ලීස් ෆෝන් එක ස්විච් ඕෆ් කරන්න. දැන් ෆ්ලයිට් එක ෆ්ලයි කරන්නයි හදන්නෙ '

මීටින්ග්ස් වගයක් ගැන මං මගෙ සෙකට්‍රි එක්ක ලොකු කතාවක ඉඳියෙ. වැදගත් කෝල් එකක් වුනත් මං එයාට අවනත වුණේ ඒ හඬේ තිබුණු ලෙන්ගතු කම නිසා. ඇත්තටම මට මාවම පාලනය නැති වුනා. වෙන වෙලාවක නම් මට අණදෙන්න ආවොත් කවුරුහරි මං එයාට බැනගෙන බැනගෙන යාවි. ඒත් එදා ඒ හඬේ තිබුණු ලෙංගතු කමට එයාට බනින්න මගෙ දිව නැමුනෙ නෑ.

මට මං ගැනම ගොඩක් පුදුම හිතුණා . එයා මගෙ මුළු හිතම හොල්ලල.

එහෙම ඇරඹුණු මගේ ආදරේ නිසා මාව සම්පූර්ණයෙන් ම වෙනස් වුණා. අරමුණු වලින් පිරිල තිබුණු මගෙ හිත ආදරයෙන් පිරුණ .

ශ්‍රී ලංකන් එකේ ඉඳපු මගෙ යාළුවකුගෙ මාර්ගයෙන් මං එයාගෙ ඩීටේල්ස් හොයාගත්ත. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. පුංචි කාලෙ ඉඳන්ම හැදිල තියෙන්නෙ කොන්වන්ට් එකක.

මං ඒ කොන්වන්ට් එකේ සිස්ටර්ව හම්බවෙන්න ගියා මගෙ අම්මත් එක්ක. කොහොමහරි සිස්ටර්ගෙ මාර්ගයෙන් මට ආරධ්‍යා එක්ක කතාකරන්න පුළුවන් වුණා . මං මගෙ හිතේ තියෙන හැම දේම එයාට කිව්වා.

එයා කිව්ව අපි ටිකක් දැන හඳුනගෙන ඉමු කියල. ජීවිතේ ඉස්සරහට සාර්ථකව ගෙනියන්න නම් අවබෝධය ගොඩක් වැදගත් කියල එයා කිව්වා.

අපි ගොඩක් කල් ආශ්‍රය කලා. එයා ගොඩක් වෙලාවට රටින් පිට ඉඳියෙ. ඒත් ඒක අපේ ආදරේට කොහොමටවත් බාධාවක් උනේ නෑ . එයා මට ගොඩක් ආදරේ කරනව. සමහරක් විට මං එයාට ආදරේ කරනවටත් වඩා එයා මට ආදරේ කරනව ඇති. අපි ගොඩක් ආදරේ වින්දා. නිතර එකට ඉන්න බැරි වුනත් පුළුවන් වෙච්චි ගමන් අපි දෙන්න ගොඩාක් ආදරේ වින්දා. වයසින් මුහුකුරා ගිහිල්ලා ඉඳියත් අපි හරියට ආදරේ කලේ පාසල් වයසෙ ළමයි වගේ.

රංඩු වෙවී යාළු වෙවී එයාව අවුස්සලා එයාගෙ ආදරේ විඳින්න මං හරි ආසයි. එයත් හරියට පොඩි එකෙක් වගේ.

මං කොහොමහරි එයාව මගේම කරගත්තා . අපි දෙන්න කසාද බැඳල හරියටම තාම සති තුනයි. ඒත් මට එයා මේ සති තුනට ආත්ම තුනක සතුටයි සැනසීමයි දීල තියෙන්නෙ. මගෙ මැට්ටි.....
එයා මාව මැරි කලාට පස්සෙ ජොබ් එකෙන් අස්වෙනව කිව්වා. ඒත් මං ඒකට කැමති වුනේ නෑ. ඒක තමයි එයාගෙ පුංචි කාලෙ ඉඳලම හීනෙ වෙලා තිබුණේ . එයා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තිබුනා. කැපකිරීම් කරල තිබුණ. මං දන්නව එයා ජොබ් එකෙන් අයින් වෙන්න හිතුවෙ මං ගැන මගෙ සතුට ගැන හිතල. ඒත් මං කැමති වුනේ නෑ මගෙ සතුට නිසා එයාගෙ සතුට කැප කරනවට. එ් මොකද කියනවනම් මගෙ සතුටත් තියෙන්නෙ එයාගෙ සතුට ලඟ. ඒ වගේම මට ඕන නෑ බිරිඳව යුතුකම් කියන රාමුවෙන් කොටු කරල ගෙදර වගකීම් වලට හිර කරල ඇයගෙ අයිතීන්ට වලට අගරු කරන සාම්ප්‍රදායික ස්වාමිපුරුෂයෙක් වෙන්න...

අනික අපි දෙන්න හමු වුනෙත් ⁣එයාගෙ ඒ රැකියාව නිසා. ඒත් එයා නම් කැමති නෑ මගෙන් දුරස් වෙලා ඉන්න. එයාටත් වඩා මට බෑ එයාගෙන් දුරස් වෙලා ඉන්න මොහොතක්වත්. ඒත් මං ආත්මාර්ථකාමී වෙලා බෑ.

අද තමයි එයාගෙ වැකේශන් පීරියඩ් එක ඉවර වෙල⁣ා ආයෙත් වැඩට එන්න කියල ලෙටර් එක ආවෙ.

මං එයාව එහෙම්මම තුරුල් කරන් ඉඳියා.දන්නෙම නැතුව එහෙමම මට ආයෙත් නින්ද ගිහිල්ලා.
මගෙ මැට්ටි ජනේලෙ ඇරල තිර රෙද්ද දෙපැත්තට කරාම ම⁣ෙග මූනට ඉර එළිය වැටුණා.

ගුඩ් මෝර්නින්ග් මගෙ මැට්ටෝ..... අද බබා ජොගින් ගියෙ නැද්ද...?

නෑ පණ ..... අද ගොඩක් සීතලයිනෙ.... ඉතිං මං මගෙ මැට්ටිට තුරුල් වෙලා සනීපෙට තව ටිකක් නිදා ගත්තා.....

ආ... ඇත්තද මැට්ටෝ.... හොර ගෙඩියා..... ඉන්නවකෝ මම සනීපෙ පෙන්නන්න..
එහෙම කියල ඇය කොට්ටෙකුත් අරං එනව මට ගහන්න. ඕක තමයි ඉතිං සෙල්ලම.

ඊට පස්සෙ අපි දෙන්නම කොට්ට වලින් ගහගන්නව හරියට බබාල වගේ. එතන එකම පුළුන් ලෝකයයි.
මේ වෙනදට නම් පැය කාලක් විතර දිගට යන රංඩුවක්. මගෙ මැට්ටිව ලොක් වෙලා යන්න මං පෙරලගෙන කිස් එකක් දුන්නම තමයි මේක ඉවරයක් වෙන්නෙ.
ඒත් අද ඒ සෙල්ලමට එච්චර ආයුෂ තිබුණේ නෑ.
එයා මට ගහන්න හදපු ගමන් කොට්ටෙත් උස්සගෙන බයවෙලා වගේ මගෙ පිටුපස දෙස බලාගෙන සිටියා.
මටත් එවෙලෙ පිටුපස බැළුනෙ නිතැතින්ම .
ඕහ්.... ඉවරයි. එයා මං රෙඩි කරල තිබුණු බැගේජස් දිහයි බලන් ඉඳල තිබුණේ . මං පිටුපස හැරුණු ගමන් එහෙමම ඉඳියෙ දැං එයාගෙ මූණ දිහා බලන්න ශක්තියක් නැතුව.

ඒත් එයා මාව එකවරම පිටුපසින් දැඩිව බදා ගත්තා. ඒ හුස්ම වැටෙන හඬ මගෙ පිටට දැනෙනව. ඊට පස්සෙ මාත් එයාව එහා පැත්ත හැරිල එහෙමම තුරුලු කරගත්තා. ⁣අපි එහෙමම හුඟක් වෙලා ඉඳියා. ඒත් එයාටවත් මටවත් එක වචනයක්වත් කතාකරන්න තරම් හයියක් තිබුණේ නෑ.
අවසානයේ මේ නිහඬ බව දරා ගන්න බැරුව එය⁣ා නිහැඬියාව බින්දා....

මම යන්නම ඕනද සුදු මහත්තයො..

හ්ම්ම්... මගෙ මැට්ටි තරම් ඒ වැඩේ කරන්න හොඳටම ගැලපෙන වෙන කවුරුත් ම නෑනෙ සුදු නෝනෙ... ඉතිං ඒක නිසා ඔයා යන්නම ඕනෙ....

එතකෙ⁣ාට ඔයා පව්නෙ සුදු මහත්තයො...

එයා කිව්වෙ හැඬුම් බරව මගෙ බාහුවක් මෘදුව සිඹින ගමන්.

හ්ම්... මාත් පව් ඉතිං. ඒත් මටත් වඩා පව්නෙ අර මිනිස්සු. එයාලට තමයි ඔයාව ඕනම...
මං එහෙම කිව්වෙ එය⁣ාගෙ හිත හැදෙන්න. ඒත් මං හිතින් පිච්චෙන තරමක් ඔයාට කියන්නෙ කොහොමද ?

ඔයාට පුළුවන්ද මැට්ටො මං නැතුව මාස එකහමාරක්ම ඉන්න... ආහ්....

බැහැ.. ඒත් මට ඔයා වෙනුවෙන් ඔයාගෙ සතුට වෙනුවෙන් ඊටත් වැඩි කාලයක් වුනත් බලං ඉන්න පුළුවන් . දන්නවද මැණික... ඔයා හිතනවටත් වඩා මේ හිත ගොඩක් හයියයි.
මං කිව්වෙ එයාව මගෙ පපුවට තවත් ලං කර ගනිමින්.

ඒත් ඔයාගෙන් ඈත් වෙලා මට එච්චර කල් ඉන්න බෑ මැට්ටො....
ඇය කීවේ නොකීකරු දරුවකු මෙන් ම⁣ගේ පපුවට ගසමින් .

මේ අහන්න සුදු නෝනා....ආදරේ කියන්නෙ එකටම ඉන්න ඕන කියන එක නෙමෙයි. ඇත්ත ආදරේ ජීවිත කාලෙම දකින්න බැරි වුනත් එහෙමම තියෙනව හරියට ගලේ කෙටුව අකුරක් වගේ.එකිනෙකා කවදාවත් නොදැක්කත් පණටත් වඩා ආදරේ කරන අය මේ ලෝකෙ කොයිතරම්නම් ඉන්නවද. අපි ඊට වඩා වාසනාවන්තයිනෙ මැණික....අනික තව දවස් තියෙනවනෙ අපිට..

එයා මගෙ කතාව අහන් ඉඳිය මිසක් මුකුත්ම කිව්වෙ නෑ .

ආයෙත් අපි අතරෙ ඒ ගැන කිසිම කතාවක් ඇති වුනේ නෑ. ⁣මං එයත් එක්කම ඉඳියා හැම වෙලාවෙම.

ඒ ටිකේ මං ඔෆිස් යන්නෙත් නැතුව එයත් එක්කම ඉඳියෙ එයාව සතුටින් තියන්න ඕන නිසා. ඒත් එයා තව ටික දවසකට මගෙන් ඈත් වෙනව නේද කියල දැනෙනකොට මාව පිච්චිලා යනව වගේ. එයාටත් එහෙමම ඇති. මං ඒ ගැන හිතන්නවත් කැමති නෑ .

කෙ⁣ාහොමහරි එයා යන්න ඕන දවසත් ළං වුනා. මං කඳුළු නවත්තන් ඉන්නෙ බොහොම ආයාසයකින්. මං එයාගෙ හිත හැදෙන්න කොයිතරම් දාර්ශනික වදන් කිව්වත් අද මටම ඒවා ප්‍රැක්ටිකල් නෑ.

එයා නිල් පාට ඔසරියට අද හරිම හැඩයි. මට වෙනදටත් වඩා ලස්සනක් පේනව අද මගෙ මැට්ටිගෙන්. ඒ වගේම මට ගොඩක් ආඩම්බරයි මගෙ බිරිඳ ගැන. මං ⁣එයාගෙ නම ගහපු ප්ලේට් එක සාරියෙ ගැහුවෙ ආඩම්බරෙන්.

එයා නම් සද්ද නෑ. දුකින් මගෙ දිහා බලන් ඉන්නව ඇරෙන්න. ම⁣ටත් දුකයි ගොඩක්. ඒත් මං ඒව හිරකරන් අමාරුවෙන් හිනාවුනේ එයා නිසා.

මං එයාවත් අරන් කටුනායක එයාර්පෝට් එකට ගියේ හිතින් වැලපෙමින් . මට යන්න පුළුවන් දුර එයත් එක්ක ගියා. අන්තිමේ මට නවතින්න සිද්ධ වුනා. ඔයා ඇඬුවෙත් නෑ. ඒත් ඔයාගෙ ඇස් තෙත් වෙලා බව මට පෙනුන. ඇත්තටම ඔයා හිත හයිය කෙල්ලෙක්.
ඔයා අඬන්නෑ මට දුක හිතෙයි කියල. මං අඬන්නෑ ඔයාට දුක හිතෙයි කියල.

ඇත්තටම අපි දෙන්නගෙ ආදරේ ගැන මට ගොඩක් ආඩම්බරයි . මෙහෙම පරිත්‍යාගයන් කරන්න හැම ආදරවන්තයන්ටම බෑ.

අපිදෙන්නා අපේ උණුහුමේ ගුළි වෙලා ගොඩක් වෙලා ඉඳියා අවසාන නිවේදනයත් ඇහෙනකල්ම. ඊටපස්සෙ ඔයා ගියා.
මං දන්නව ඔයාගෙ ගත විතරයි ඔයා අරන් ගියේ. හිත මං ලඟ දාලා. ඒත් මගෙ හිත නම් ඔයත් එක්ක ආවා.
ඔයා නොපෙනී යනකල්ම වීදුරුවට එපිටින් ඉඳන් මං අත වැනුව පුංචි එකෙක් වගේ. ඔයත් එහෙමයි. අඩි දෙකක් ⁣යනව... ආපස්ස බලනවා....

ඉක්මනට ම එන්න මගෙ මැට්ටි...
ඔයා නොපෙනී යන විට මගෙ හිත මිමිණුවා.

::::::- නිමි -::::::

Wrote by රාවන් (RV)

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment