~~~ බෝතලේ ~~~
අර ඈතින් ඇහෙන හේවිසි හඬ... මුළු හිතම සුවපත් කරවන සන්සුන් ගමන... ඒ පිළිවෙලට වඩින මහා සංඝරත්නය දෙපා දොවලා පිළිගත්තෙ මගේ එක කුස උපන් බාල සහෝදරයා, මගෙ මල්ලි...
මං අමිල අභිෂේක කරුණාසේන... රන්දෙනිගම කියන ලස්සන ගම්මානයේ ඉපදුන කොල්ලෙක්... ජීවිතේ පුංචි කාලෙ ඉඳලම සුන්දර විදිහට මං මේ ගමත් එක්ක මගෙ යාළුවොත් එක්ක ජීවත් වෙද්දි ආදරේ කියන අමුතු හැඟීම මගේ හිතටත් ඇතුළු උනේ සයුරි මහේෂිකා වික්‍රමරත්න නිසා... ආදරෙන් බැඳුණ අපි විවාහ උනේ දෙමවුපියන්ගෙත් ආශිර්වාදය මැද... එදා මට එයාව තියන්න මගේම කියලා ගෙයක් දොරක් තිබුණෙත් නෑ... ඒත් මගේ කෙල්ල කිසිම බයක් නැතිව මාව විශ්වාස කරලා මාත් එක්ක ආවා... ඔව්... මං මගේ බිරිඳගෙ විශ්වාසෙ කවදාවත්ම කඩ කෙරුවෙ නෑ... පෞද්ගලික ආයතනයක අළෙවි සහයක විදිහට වැඩ කරලා පොඩි ණයකුත් අරගෙන මං අපේ පුංචි කැදැල්ල තැනුවා... කපරාරු නොකරපු අපේ පුංචි නිවහනට සයුරි අඩිය තිබ්බෙ හිතේ තිබුණ අපිරිමිත සතුටකුත් එක්ක... එදා රෑ කෙල්ල මාව තුරුළු කරගෙන ආදරෙයි අයියෙ ගොඩාක් කියලා මගේ නළලට දීපු හාදුවේ උණුහුම මට තාම මතකයි...
අද අපේ ඒ පුංචි නිවහනේ දානමය පිංකමක්... ඊයෙ රෑ ඉඳලම මුළු ගෙවත්ත පුරාම රැවු දීපු පිරිත් හඬත් එක්ක මං මේ හැමෝම දිහා හොඳට බලන් හිටියා... සුදු පාටින් සැරසිලා හැමෝම මං වෙනුවෙන් ගෙදරට එකතු උනේ මූණෙ හිනාවක් රඳවා ගෙන... ඒ මං වෙනුවෙන් පින් දෙන්න...
එහෙම කිව්වම ඔයාලා පැටළුනාද මන්දා... ඔව්... මං... මං... මං මේ ඇවිත් ඉන්නෙ පින් අරන් යන්න... මං වෙනුවෙන් මගේ සයුරි, මගේ දෙමවුපියෝ, සහෝදර සහෝදරයො මං මිය ගිහින් තුන් මසක් පිරෙන තැන දෙන පින් අරන් යන්න...
අර ලහි ලහියෙ එහෙට මෙහෙට දුවන ගමන් හැම වැඩක්ම හරියට උනාද කියලා බලපු සුදු පාට ඇඳගෙන හාමුදුරුවන්ගෙ දෙපා නමදින කෙල්ල තමයි මගේ පණ ටික උනේ... ඔව් ඒ තමයි සයුරි, මගේ බිරිඳ...
"අනේ අයියෙ ඔය බීම නවත්තන්න... මං කැමති නෑ ඔයා බොනවට... ඇයි ඔයා ඔහොම කරන්නෙ? මං අඬනවට ඔයා ආසද? ඔයාට ගානක්වත් නැද්ද මං දුක් උනාට..." ඒ මං බීලා ආපු හැම දවසකම වගේ සයුරිගෙ මුවින් පිට වෙන පළවෙනි වචන ටික...
"මං හැමදාම බොන්නෙ නෑනෙ සයුරි... අනික මං බිව්වා කියලා කාටවත් කරදරයක් නෑනෙ. මං මගේ පාඩුවෙ ඉන්නවා... ඔයා ඔය ඔළුවෙ තියාගෙන ඉන්නෙ වැඩකට නැති දෙයක්නෙ... මෙතන ඕන නැති දේවල් හදාගෙන ප්‍රශ්න ඇති කරන්න එපා..." මං ඇයට තේරුම් කරන්න උත්සහ කලත් සයුරි කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ... මං යාළුවො එක්ක හැමදාම බිබී ඇවිදපු කෙනෙක් නෙවෙයි... ඉඳලා හිටලා යාළුවො එක්ක සෙට් වෙනවා විතරයි... ඒත් එහෙම කරලත් සයුරි මට කතා කරන්නෙ හරියට මං බේබද්දෙක්ගෙ ගානට දාලා... මට ඉවසන්නම බැරි ඒක...
බීලා ආපු හැමදාම දවස් දෙකක්වත් යනකම් සයුරි හිටියෙ හොටු පෙර පෙරා අඬන ගමන්... මට කෙල්ලගෙ කඳුළු දකින්න ශක්තියක් නැති උනත් මේ පොඩි දෙයක් ලොකු කරගෙන බොරුවට නාහෙන් අඬද්දි මට තරහත් ගියා... සයුරිගෙ කන්කරච්චලේ ඉවසන්න බැරිම තැන මං එයාට පොරොන්දු උනා මාසෙකට එක සැරයක් විතරක් බොන්නම් කියලා... ඒත් සයුරි මාව තේරුම් ගත්තෙ නෑ... එයාට ඕනි උනේ මං නොබීම ඉන්නවා බලන්න... ඒත් මං කොහොමද ඒක කරන්නෙ... මට යාලුවෙක් කතා කලාම අනේ බෑ කියලා උන්ට පින්සෙන්ඩු වෙන්න පුලුවන්ද... මගේ තත්ත්වෙ මොකක්ද එතකොට උන් ලඟ... උන් මට හිනාවෙයි ගෑණිට බයේ මූ දැන් බොන්නෙ නෑ කියලා... මට සමාජෙම හිනාවෙයි ගෑණිට යටත් වෙලා බීම නවත්තලා කියලා... මං පිරිමියෙක්... මේක මගේ ගම... මට යාළුවො ඉස්සරහා විහිළුවක් වෙන්න ඕන නෑ... සයුරි කවදාවත් ඒ දේවල් තේරුම් ගත්තෙ නෑ...
මේ පුංචි දේ ලොකු කරගෙන සයුරි හැමදාම අඬ අඬා මාත් එක්ක රණ්ඩු උනා... ආදරේ කරද්දි හිටපු අහිංසක කෙල්ල නෙවෙයි ඒ ඉන්නෙ කියලා මට නොහිතුණා නෙවෙයි... සයුරි මාව තේරුම් ගත්තෙ නෑ... එයා මගේ යාළුවන්ටත් බැන බැන මගෙත් එක්ක රණ්ඩු උනා...
"ඇයි ඔයාට ඕක නවත්තන්න බැරි? මට දුක් දෙන්නෙ ඇයි? තමුසෙ බොරු කිය කියා මාව රවට්ටනවා එක එක යාළුවො එක්ක බිබී... ඔය යාළුවො කියන උන් නිසා තමයි තමුසෙ බොන්නෙ... මට උන්ව පේන්න බෑ..."
"කතා කරන්න ඉගෙන ගන්නවා ඉස්සර වෙලා... තමුසෙ කතා කරන්නෙ මං හැමදාම බොන බේබද්දෙක්ගෙ ගානට දාලා... කන පැලෙන්න දෙන්නෙ තව මොනාමහරි කිව්වොත්...එක දවසක් බිව්වා කියලා තමුසෙට වෙන අඩුව මොකක්ද... මං පාරවල් ගානෙ වැටිලා ඉන්නෙ නෑනෙ..."
"ඔව් ගහනවා... ඒක විතරයි අඩු දැන්... බොරු ආදරේ ඔයාගෙ... ඔයාට මං වෙනුවෙන් ඔය බීම නවත්තන්න බෑ... එක දවසක් බිව්වත් දවස ගානෙ බිව්වත් බොන්නෙ තමුන්නෙ... තමුන්ගෙ ඇඟටනෙ හොඳ නැත්තෙ... තමුසෙට මොනවහරි උනොත් දුක උන්ට නෙවෙයි මට... බල්ලෙක් එක්ක උනත් තමුසෙ බොයි ගෑණිට මේ ගෙදර එනවා කිය කියා බොරු කියලා..."
"ඔව් තමුසෙ බලන් ඉන්නෙ මං මැරෙනකම් තමයි... ඔව් බල්ලෙක් උනත් ඌ මගේ යාළුවෙක්නම් මං ඌ එක්ක බොනවා... අනවශ්‍ය ප්‍රශ්න දාගන්නෙ නැතිව ඉන්නවා... තමුසෙට මං ආයෙ කියන්නෙ නෑ... මං මේ දවසක් බිව්වා කියලා මෙතන බොරුවට එල්ලෙනවා... මං කොහොමද ඕයි යාළුවො ලඟ නාහෙන් අඬන්නෙ අනේ මට යන්න ඕනි බන් බොන්න බෑ කියලා... උන් ලඟ හිඟාකන එකෙක් වගේ පින්සෙන්ඬු වෙන්න පුලුවන්ද මට..."
"ඇයි තමුසෙට කියන්න බැරිද මචං මං බොන එක නැවැත්තුවා උඹලා බීපල්ලා කියලා... තමුසෙට කොන්ද පණ නැද්ද එහෙම කියන්න..."
"ඔව්... මට කොන්ද පණ නෑ තමයි... ඒකයි උඹ වගේ එකියෙක්ට ආදරේ කරන්නෙ... උඹලා වගේ ගෑණුන්ට ආදරේ කරද්දි පිරිමින්ට ඒක වෙනවා..." මගේ මුවින් එහෙම පිට වෙද්දි සයුරි කඳුළු පුරවගෙන කාමරේට දුවගෙන ගියා... හැමදාම උනේ ඔහොමයි...
ඒත් එක දවසක්... සුපුරුදු කතාවම ඇති උනා... එදා අන්තිමට කෙල්ල මට කිව්වෙ...
"හරි... ඔයාට ඕනි බොන්නනේ... මං ඔයාට ආදරේ නෑනෙ... හරි ඔයා බොන්න අයියේ... ඇති තරම් බොන්න... ආයෙ කවදාවත් කියන් නෑ බොන්න එපා කියලා... සමාවෙන්න ඔයාට කරදර කලාට..."
යක්ෂණියක් වගේ මාත් එක්ක රණ්ඩු කර කර හිටපු සයුරි ටික වෙලාවක් සද්ද නැතිව ඉඳලා සන්සුන්ව එහෙම කියලා කාමරේට ගියා...
"තෑන්ක්ස් නංඟි ලොකු උදව්වක්..." මං හයියෙන් කාමරේට ගිය සයුරිට ඇහෙන්න එහෙම කිව්වා...
එදායින් පස්සෙ සයුරි කියපු විදිහටම හිටියා... මං බීලා ආවත් සද්ද නැතිව බත් ටික බෙදලා දීලා හැමදේම හරියට කරලා නිහඬව හිටියා... මට සමහර වෙලාවල් වලට කෙල්ල පව් කියලත් හිතුණා... ඒත් ඉතින් මං හැමදාම බොන කෙනෙක් නෙවෙයිනෙ... ඉතින් එයා මේ බොරුවටනෙ ඉස්සර කලබල වෙලා දැඟලුවෙ, රණ්ඩු උනේ...
ඉතින් එක දවසක්... මීට මාස තුනකට කලින්... එහා ගමේ තිබුණ මියුසිකල් ශෝ එකකට අපි යාළුවො ටික ගියේ කාලෙකින් ෆන් එකක් ගන්නවත් සෙට් වෙන්නවත් බැරි උන නිසා වෙනසකටත් එක්ක... සංගීත සංදර්ශනයෙ මිහිරියාව අපි වින්දෙ මධුවිතකුත් තොල ගාන ගමන්...
ඔය අතර මට මතක් උනේ මගෙ කෙල්ලගෙ මූණ... ඉබේටම ඔරලෝසුව දිහා බැලුණා... වෙලාව රෑ නවය හමාරයි... කෙල්ල මං එනකම් බලන් ඇති... එහෙම හිතපු මං යාළුවන්ට ගෙදර යන්න කතා කලා... උන් එකෙක්ටවත් ගෙදර යන්න උවමනාවක් තිබුණෙ නැති නිසා මං තනියම යන්න තීරණය කරලා උන්ගෙන් සමු අරගෙන සෙනඟ මැදින් යද්දි බීමතින් නටමින් හිටපු කොල්ලෙක්ගෙ ඇඟේ මං හැප්පුනේ වැරදීමකින්...
"සොරි මචං..." මං එහෙම කියද්දිම මගේ කමිසයෙන් ඇදලා අරගත්තු කොල්ලා මගේ බඩට එකක් ගැහුවෙ අවසිහියෙන් හිටපු නිසා... ඉවසන්න බැරිම තැන මගෙනුත් පහරක් ඔහුට වදිද්දි ටිකෙන් ටික රණ්ඩුව දුර දිග ගියා... පොලීසිය අපෙ ලඟට දුවගෙන ආවා මට මතකයි... සෙනඟ මැද මගේ බඩ පාසාරු කරගෙන පිහියක් ගියා මට මතකයි... ගිලන් රථයක මාව රැගෙන ගියාත් මට මතකයි... ඒ අතරමඟ මගේ අවසන් හුස්මපොද විශ්වයට මං මුදාහැරියාත් මතකයි... මිය ගියාට පස්සෙ මං මගේ ශරීරය දිහා ටික වෙලාවක් බලන් හිටියා...
රුධිරය වැගිරුණ සිරුර සනසන්න ජීවිත කාලෙම මිරිඟු පස්සෙන් දුවපු දුක මට වැටහුණා... අනේ මට එක පාරටම මතක් උනේ මගේ කෙල්ලව... මං ගෙදර ගියා...
සයුරි... මං එනකල් සාලෙ පුටුවකට වෙලා මග බලන් ඉන්නවා... කෙල්ල බඩගින්නෙ... ඒ බලන් හිටියෙ මං ඇවිත් කනකම්... මගේ පපුව හෝස් ගාලා ඇවිලිලා ගියේ ඈනුම් ඇර ඇර මට බනින කෙල්ලව දැකලා...
"කොහෙ ගිහින්ද මන්දා.... කීයෙ ඉඳන්ද එනවා කිව්වෙ... තාම නෑ... බි බී ඇති යාළුවො එක්ක... මං එපා කිව්වට අහන්නෙත් නෑනෙ... මොනවාහරි උනාම තේරෙයි... ඕවා කියද්දි මට කියන්නෙ මැරෙනකම් බලන් ඉන්නෙ කියලනෙ...මොනවා කරන්නද සද්ද නැතිව ඉන්නවා ඇරෙන්න..."
ටික වෙලාවකින් ගෙදරට ත්‍රී විලර් එකෙන් ආවෙ අම්මයි තාත්තයි මල්ලියි... මං මියගියපු බව අහපු කෙල්ල එතනම සිහිසුන්වෙලා ඇදගෙන වැටුණා... ගෙදරට ගමේම මිනිස්සු ටිකෙන් ටික එකතු උනා... ගෙදරම අස්පස් කෙරුණෙ මං වෙනුවෙන්... මගෙ යාළුවො ඔක්කොම මං වෙනුවෙන් එකතු උනා... උන් ගොඩක් දුක් උනා... ගමේ සමහරු තැන් තැන් වල කතා උනේ ගෑණිගෙ මූසලකමකට තමයි අගේට හිටපු කොල්ලා නැති උනේ කියලා... මගේ කෙල්ල මූසල නෑ... ඒකි මගේ පණ... ඒ කතා කියන උන්ට මට කනට ගහන්න ඕනි උනා... මං උන් ලඟට ගිහින් අත දිග ඇරලා කම්මුලට ගැහුවෙ මගේ සයුරි මූසල නෑ යකෝ කියලා කෑ ගහලා...
ඒත්... ඒත් ඒ ගහපු පාරක්වත් ඒ කාටවත් දැනුණෙත් නෑ... මං කෑ ගැහුවට එයාලට ඇහුණෙත් නෑ...
"පලයන් මෙතනින්... මගේ අමිල අයියව මරාගත්තෙ උඹලා..." ගේ ඇතුලෙන් සයුරි යටිගිරියෙන් කෑ ගහන සද්දෙට මං ඉක්මනින්ම එතනට ගියා... දෙන්නෙක් කෙල්ලව අල්ලගෙන... සයුරි අත් දෙකින් පපුවට ගහගන්න ගමන් අඬ අඬා කෑ ගහනවා... මිනිය ලඟ හිටියෙ මගෙ යාළුවො ටික... උන් මොකුත් කිව්වෙ නෑ... සමහරවිට උන් සයුරි ඉන්න තත්ත්වෙ තේරුම් ගන්න ඇති...
"පලයල්ලා... දැන් මොනවද බලන් ඉන්නෙ... අමිල දැන් නෑ... ඇයි බොන්න එක්ක යන්නද ආවෙ... ඔය ඉන්නෙ... නිදි... අහරවලා එක්ක යන්න... මං මොකුත් කියන් නෑ... මට මගේ අමිලව ඕනි... අනේ මගේ මහත්තයා මට ගෙනත් දෙන්න දෙයියනේ... මං කොහොමද මේ දුක ඉවසන්නෙ අනේ... අහරින්න මගෙ අයියේ ඔයාව බලන්න මේ හැමෝම ඇවිත් ඉන්නෙ දෙයියනේ..."
මං කොහොමද මගෙ කෙල්ල අඬනවා බලන්නෙ... මාස තුනකුත් ගෙවිලා... සයුරිගෙ ඇස් තාමත් තෙතයි... මට කෙල්ලගෙ ඇස් වල කඳුළු පිහදාන්න ඕනි... මං සයුරි ලඟට ගියා... ඒත් මට කෙල්ලගෙ ඔළුව අතගාලා පපුවට තුරුළු කරගෙන ඒ ඇස් වල කඳුළු පිහදාන්න බෑ...
අනේ මං එදා මගෙ කෙල්ලගෙ කඳුළු පිහදැම්මානම් අද මේ කෙල්ලගෙ මූණෙ තියෙන්නෙ හිනාවක් නේද...
මගෙ යාළුවො මගේ මරණෙදිත් මත්පැන් බිව්වා... ඊයෙ පිරිතෙදිත් බිව්වා... අදත් බොයි හෙටත් බොයි... මචං ඒ පුංචි වෙලාවකට දැනෙන සැනසීමක් වෙනුවෙන්...
ඒත්...
මගේ කෙල්ල මං ලඟ නැති දුකට එදත් බිව්වා... අදත් බොනවා... හෙටත් බොයි මචං... මධුවිත නෙවෙයි කඳුළු බන්...
~ නිමි ~
සුද්දි. (D.N)
No comments:
Post a Comment